ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලාව 5.

ලිපි මාලා අංක – 21:

අසුර අපාය

අසුරයන් යනු දේව නමින් හඳුන්වන පිරිසටත් ප්‍රේත නමින් හඳුන්වන පිරිසටත් අතරමැද ජීවත් වන පිරිසක් ලෙසය. ඔවුන් දෙවියන් තරම් පුණ්‍යවන්ත හා සෘද්ධි සම්පන්න නොවන අතර ප්‍රේතයන් මෙන් දුක්ඛිත හා කටුක ස්වභාවයන්ට ද පත් නොවන පිරිසකි. මොවුන් ඇතැම් විට සැප විපාක ද තවත් විටෙක දුක් විපාක ද අනුභව කරති. එබැවින් මේ පිරිස පෙර අත් භවයන්හි පුණ්‍ය ක්‍රියා මෙන්ම පාප ක්‍රියා ද කළ අය බව හඳුනාගත හැකිය
මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ආචාර්ය 
ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

නවම් පුර පසළොස්වක පෝදා ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර එන තිරිසන් අපායේ දුක්ඛිත ස්වභාවය හා කටුකත්වය පිළිබඳව කරුණු පහදා දීමටයි. තිරිසන් අපායේ ස්වභාවය තේරුම්ගැනීමට එය ප්‍රමාණවත්වේයැයි සිතමි. එබැවින් අද ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ සතර අපායන් අතුරින් සිව්වැනි ස්ථානයෙහිලා ගැනෙන අසුර අපාය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමටයි.
අසුර යන වචනයෙහි තේරුම (න + සුර = අසුර) සුර නොවන යන්නයි. එනම් දෙවියන් නොවන පිරිසක් යන්නයි. අසුරයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සංස්කෘත සාහිත්‍යයේද එයි. අසුරයන් හා දෙවියන් අතර ඇති වූ යුද්ධ පිළිබඳ අවස්ථා ගණනාවක්ම බෞද්ධ සාහිත්‍ය තුළින් ද පැහැදිලි වෙයි. පිරිත් පොතේ එන ධජග්ග සූත්‍රය ද එබඳු අවස්ථාවකි. එය බුදුරජාණන් වහන්සේ පෙර වූ කතාවක් ලෙස භික්ෂූන් වහන්සේලාට මෙසේ කියා දෙයි. ‘භූතපුබ්බං භික්ඛවේ දෙවා සුරසංගාමෝ සමූපබ්බුළ්හෝ අහෝසි’ යනුවෙනි. එහිදී දෙවියන්ගේ පිරිසට නායකත්වය ලබා දී ඇත්තේ ශක්‍රදේවේන්ද්‍රයාය. අසුරයන්ගේ පිරිසට නායකත්වය ලබා දී ඇත්තේ "වේපචිත්ති" නම් අසුරේන්ද්‍රයාය.
පිරිත් පොතේ සඳහන් එන චන්ද හා සූරිය පරිත්ත වලින් රාහු නම් වූ අසුරේන්ද්‍රයෙක් චන්දිම දිව්‍ය පුත්‍රයා හා සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලීමට පැමිණි බවත් ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගොස් සිටි නිසා එසේ නොකොට ආපසු හැරී ගිය බවත් එහි තවදුරටත් විස්තර වෙයි. අටුවාවට අනුව මේ රාහු අසුරේන්ද්‍රයාගේ උස යොදුන් ගණනකි. එමෙන්ම මුවද යොදුන් ගණනකි.
පෙළෙහි එන අසුරයන් පිළිබඳ කරුණු ඇතුළත් තථාගත භාෂිතයන් හා සංසිද්ධීන් පසු ලිපිවලින් සාකච්ඡා කෙරෙන අතර පළමුව මේ අසුරයන්ගේ ස්වභාවයන් හඳුනාගැනීම වැදගත්යැයි, සිතමි. ඒ අනුව අටුවාවේ අසුර නිකායන් පහක් ගැන සඳහන් වෙයි. එනම්,
01. දේවාසුර
02. විනිපාතිකාසුර
03. ලෝකන්තිකාසුර
04.ප්‍රේතාසුර
05. වේමානිකාසුර යනුවෙනි.
දේවාසුර යනු මුලින් සඳහන් කළ වේපචිත්ති අසුරේන්ද්‍රයා ප්‍රධාන කොටගත් ඔහුගේ නායකත්වය යටතේ දෙවියන් සතුරන් සේ සලකා කටයුතු කරන පිරිසයි. දෙවියන් හා නිතර නිතර යුද්ධ ඇතිකරගෙන ඇත්තේ මේ පිරිසයි. දෙවියන්ට මෙන් මොවුන්ටද යම් සෘද්ධිමය බලයක් තිබුණ ද දෙවියන් තරම් සම්පත්තියෙන් ආඪ්‍ය නොවන පිරිසකි. එමෙන්ම බලයෙන් හා පුණ්‍යවන්ත භාවයෙන් ද දෙවියන් හා සම නොවේ.
විනිපාතික අසුරයන් දේවාසුරයන්ට මෙන් සෘද්ධිමය බලයක් නො තිබුණ ද යම් යම් දේ මවා පෑමට තරම් ශක්තියක් ඇති පිරිසකි. පේතවත්ථුවේ සඳහන් පියංකරමාතු හා උත්තරමාතු වැනි ප්‍රේත කොට්ඨාසයෙන් මේ ගණයෙහිලා සැලකේ. ලෝකන්තරික අසුර කොට්ඨාසයට අයත් අසුරයන් නරක ප්‍රේත තිරිසන් යන ලෝක තුන අතර වසන්නෝය. ඔවුන්ට ද යම් යම් දේ මවා පෑමට තරම් සෘද්ධිමය ශක්තියක් ඇත. එහෙත් තමාගේ අභිලාෂයන් ඉටුවන්නේ කලාතුරකිනි. වේමානික අසුර යනුවෙන් හඳුන්වන පිරිස තමන් විසින් මවා ගන්නා ලද විමනක ජීවත් වෙයි. යම ලොව ප්‍රධානියා වන යම රජු ද මේ වේමානික අසුර කොටසට අයත් බව සැලකේ.
මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ අසුරයන් යනු දේව නමින් හඳුන්වන පිරිසටත් ප්‍රේත නමින් හඳුන්වන පිරිසටත් අතරමැද ජීවත් වන පිරිසක් ලෙසය. ඔවුන් දෙවියන් තරම් පුණ්‍යවන්ත හා සෘද්ධි සම්පන්න නොවන අතර ප්‍රේතයන් මෙන් දුක්ඛිත හා කටුක ස්වභාවයන්ට ද පත් නොවන පිරිසකි. මොවුන් ඇතැම් විට සැප විපාක ද තවත් විටෙක දුක් විපාක ද අනුභව කරති. එබැවින් මේ පිරිස පෙර අත් භවයන්හි පුණ්‍ය ක්‍රියා මෙන්ම පාප ක්‍රියා ද කළ අය බව හඳුනාගත හැකිය.
මෙම කර්ම විපාකයන් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ඇතුළත් අභිසංකාර සූත්‍රයේ දී මෙසේ දේශනා කොට ඇත.
ඉධ පන, භික්ඛවෙ, එකව්චො, පුග්ගලො සංඛ්‍යාබජ්ඣම්පි කායසංඛාරං අභිසඩ්ඛරොති, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යබජ්ඣම්පි වචීසඩ්ඛාරං අභිසඩ්ඛරොති, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි මනොසඩ්ඛාරං අභිසඩ්ඛරොති, සො සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි කායසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා, සඛ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා, සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි මනොසඩ්ඛාරං අභිසඩ්ඛරිත්වා සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි ලොකං උපපජ්ජති, තමෙනං සඛ්‍යාබජ්ඣම්පි අඛ්‍යාබජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සඛ්‍යාබජ්ඣාපි අඛ්‍යාබජ්ඣාපි ඵස්සා ඵුසන්ති, සො සඛ්‍යාබජ්ඣෙහිපි අඛ්‍යාබජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වෙදනං වෙදයති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්‍යථාපි මනුස්සා එකච්චෙ ව දෙවා එකච්චෙ ව විනිපාතිකා.
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, කාය කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස් කරයි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, කාය කර්මය රැස් කොට දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, වාග් කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මනෝ කර්මය රැස්කොට, දුක් සහිත වූ ද, දුක් රහිත වූද, ලෝකයෙහි උපදියි. දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද ,ලෝකයෙහි උපන්නා වූ ඒ ඔහු දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශයෝ විඳිත්.
හෙතෙම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දේ ම දුක් සහිත වූ ද, දුක් රහිත වූ ද, මිශ්‍ර වූ සැප දුක් ඇත්තා වූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝද, සමහර කාමාවචර දෙවියෝ ද, ඇතැම් විමානික අසුරයෝ ද යම්සේ සැප දුක විඳී ද, එලෙසය.
මෙයින් මෙහි ඒකච්චේ දේවා හා ඒකච්චේ විමානිකා යනුවෙන් හඳුන්වා ඇත්තේ මේ අසුර කොට්ඨාසයන්ය. ඔවුන් සිදු කළ කර්මානුරූපීව කලෙක දුක් විපාකත් කලෙක සැප විපාකත් විඳිති.

ලිපි මාලා අංක – 22:

යුද්ධයේදී පරාජය වූ වේපචිත්ති අසුරේන්ද්‍රයා

දෙවියන් හා අසුරයන් අතර ඇති වූ යුද්ධයක් පිළිබඳ කරුණු ඉදිරිපත් වන සූත්‍රයකි, "වේපචිත්ති" සූත්‍රය. එම යුද්ධයේ දී දෙවියන්ට ජය අත් වූ අතර අසුරයන්ට පරාජය අත්විය. එහිදී වේපචිත්ති අසුරේන්ද්‍රයා හැසුරුණු ආකාරයෙන් අසුරයන්ගේ ස්වභාව අපට මනාව හඳුනාගත හැකිය.
පෙර දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය. වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස මෙහෙය වූ අතර ශක්‍ර දේවේන්ද්‍රයා දෙවි පිරිස මෙහෙය විය. මෙහිදී වේපචිත්ති අසුරේන්ද්‍ර තෙම අසුරයන්ට මෙසේ කීයේය.
“පින්වත්නි” ඉදින් දේව අසුර යුද්ධය වූ කළ අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා කණ්ඨපඤ්චම් බැඳුමෙන් (දෙ අත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින්) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව “යි කීය. ශක්‍රදේවේන්ද්‍ර තෙමෙත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය.
ඉදින් දේව අසුර යුද්ධය වූ කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ අසුර රජවූ වේපචිත්ති අසුරේන්ද්‍රයා කණ්ඨපඤ්ච කන්ධකයෙන් බැඳි සුධර්මා සභායෙහි මා සමීපයට ගෙනෙව“යි කීය. ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිදු කණ්ඨපඤ්චම් බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්ද්‍රයාගේ සමීපයෙහි සුධර්මා සභාවට ගෙනාහ. එහිදී කණ්ඨපඤ්චම බන්ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරේන්ද්‍රයා තෙම් සුධර්මා සභාවට පිවිසෙන විටද, නික්මෙන විටද ශක්‍ර දේවේන්ද්‍රයාට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝෂ කළේය. පරිභව කළේය. මෙය දුටු මාතලි රථාචාර්යයා සක් දෙවිඳුගෙන් මෙසේ විමසීය.
මාතලී, දේවේන්ද්‍රයා වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?
“භයා නු මඝවා සක්ක
දුබ්බල්‍යා නො තිතික්ඛසි 
සුණන්තො ඵරුසං වාචං
සම්මුඛා වේපචිත්තිනො’ ති
සක් දෙවිඳු “වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද? එක රටක කරන්නේද
“නාහං හයා න දුබ්බල්‍යා
බවාමි වෙපචිත්තිනො 
කථඤ්හි මාදිසො විඤ්ඤු 
බාලෙන පටිසංයුජෙ “ ති
මාතලී වළක්වන තෙක් නොවේ නම් අඥානයෝ ඉතා බොහෝ සේ විරුද්ධව ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවැණැති ජන තෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.”
“භිය්‍යො බාලා පහිජ්්ජෙය්‍යුං 
නො චස්ස පටිසෙධාකො
තස්මා භූසෙන දණ්ඩෙන 
ධීරො බාලං නිසෙධයෙ “ ති
සක් දෙවිඳු ඉතා කිපියා වූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳුනේද, එයම බාලයන්ගේ නියම වැළකීම යයි හඟිමි.
“යො හවෙ බලවා සන්තො,
දුබ්බලස්ස නිතික්ඛති 
තමාහු පරමං ඛන්තිං 
නිච්චං ඛමතිදුබ්බලො .
මාතලී, මෙතෙම මට භයින් ඉවසා “ යයි අඥාන තෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසු පස්සේ එළවා යන්නා වූ ගවමුලක් මෙන් නුවණ මද ජන තෙම වැඩියක් පසුපස්සේ පළවා යයි”.
“එතදේව තිතික්ඛාය, 
වජ්ජං පස්සාමි වාසව
යදා නා මඤ්ඤති බාලො, 
භයා ම්‍යායං තිතික්ඛති,
අජ්ඣාරුහති දුම්මෙධො, 
ගොව භිය්‍යො පලායින”න්ති.
සක් දෙවිඳු “හෙතෙම මට භයින් ඉවසායයි ඒකාන්තයෙන් බලෙන් හෝ වේවා නොහගනේ හෝ වේවා සියලු අර්ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තෝය. යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුබලයකුගේ හෝ නින්දා කිරීම ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි ආර්ය උතුමෝ කියත්, බුද්ධිමත් ජනතෙම හැමවිටම ඉවසයි. යමකෙªගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආර්ය උතුමෝ කියති. ධර්මයෙන් සංවර කරන ලද්දාවු තැනැත්තාගේ බලය නියම බලයම නොවේය” යි කියන්නෙක් නැත. යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුණුහුට පෙරලා නොකිපෙන ජන තෙම දිනීමට ඉතා දුෂ්කරවු සටනක් දිනයි. අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳුනේද ඉවසාද, හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි. යම් ජන කෙනෙක් ධර්මයෙහි අදක්ෂද, ඒ අන්ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පීඩාකරන්නාවු පාපී පුද්ගලයන්ය.
“අබලං තං බලාං ආහු, පස්ස බාලබලාං බලං 
බලස්ස ධම්මගුත්තස්ස, පටිවත්තා න විජ්ජති
“තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඩ්ගාමං ජෙති දුජ්ජයං
“උභින්නමත්ථං චරති, අත්තනො ව පරස්සච
පරං සඩ්කුපිතං ඤත්වා 
යො සතො උපසම්මති
“උභින්නං තිකිච්ඡන්තානං ,
අත්තනො ච පරස්සච,
ජනා මඤ්ඤන්ති බාලොති 
යෙ ධම්මස්ස අකොවිදා”ති
උක්ත සංවාද තුළින් ඉදිරිපත් කරන්නේ ‘සමාන්‍ය යුද්ධයකදී පරාජිත පුද්ගලයා තුළ ඇතිවන පොදු මානසික තත්වයකි. පරාජයට පත් වු වේපචිත්ති අසුරේන්ද්‍රයා සාමාන්‍ය අයෙක් සේ හැසිරෙයි. එහෙත් සක් දෙවිඳු සැරිසරන්නේ උසස් ගුණ ඇති අයෙක් ලෙසය. එය නුවණැත්තන්ගේ ස්වභාවයයි. එමෙන්ම එයින් දෙවියන්ගේ හා අසුරයන්ගේ වෙනසද හඳුනාගත හැකිය.
බොහෝ ගැටලු සඳහා හේතුවී ඇත්තේ ඉවසීම නැතිකමයි. මාතලීගේ වදන් නැවතත් සක්දෙවිඳු ගැටුමකට පොළඹවන සුළුය. එහෙත් සක්දෙවිඳුගේ ඉවසීම හා නුවණැති භාවය නිසා එම තත්වය මගහැරී යයි. මෙවැනි පශ්චාත් ගැටුම් අවධිවල දී වඩාත් නුවණැතිව කටයුතු කිරීමට බුදුදහම උපදෙස් දෙයි. එවැනි අවස්ථාවල වාචසික මෙන්ම කායික සංවරභාවයද වඩාත් යෝග්‍ය බව පැහැදිලි වෙයි

ලිපි මාලා අංක – 23:

අසුරයන්ගේ පිරිහීම හා දෙවියන්ගේ දියුණුව

මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම් වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්.
අසුර අපාය පිළිබඳ පසුගිය ලිපියෙන් අප විස්තර කළේ දෙවියන් හා අසුරයන් අතර ඇති වූ යුද්ධයකදී පරාජය වූ අසුරයන්ගේ හැසිරීම හා දිනුම අත්කරගත් දෙවියන්ගේ චර්යාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් වන සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ එන චේපචිත්ති සූත්‍රය විස්තර කිරීමටයි. අද දිනයේ දී අප බලාපොරොත්තු වන්නේ දෙවියන්ගේ වර්ධනයත් අසුරයන්ගේ පිරිහීමත් පිළිබඳ කරුණු ඉදිරිපත් වන චාතුර්මාහාරාජ සූත්‍රය විස්තර කිරීමටයි.
මෙම සූත්‍රයේ සඳහන් වන්නේ සෑම දින අටකට වරක්ම සතර වරම් දෙවිවරුන්ගේ ඇමතිවරු මිනිස් ලොවට පැමිණ මිනිසුන් අතර සිට දිව්‍ය ආත්මයන් සඳහා කුශල දහමෙහි නිරතවන අය හා අසුර ආත්මයන් ලැබීමට පහත් ක්‍රියාවන්හි යෙදෙන පිරිස සොයා බැලීමයි. එමෙන්ම සෑම තුදුස්වක දවසකම සතර වරම් දෙවිවරුද තමන්ම පැමිණ මේ කරුණු සොයාබලන බව තවදුරටත් මෙම සූත්‍රයේ විස්තර වෙයි. දැන් අප එම කරුණු පෙළ දහම ඇසුරින් විමසා බලමු.

පක්ෂයෙහි අටවෙනි දිනයෙහි සිව්වරම් මහරජ දරුවන්ගේ පිරිසෙහි වූ ඇමතියෝ, මේ ලෝකයෙහි හැසිරෙත් කිමෙක්ද, මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවු, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
අට්ඨමියං, භික්ඛවෙ, පක්ඛස්ස චතුන්නං මහාරාජානා අමව්වා පාරිසජ්ජා ඉමං ලොකං අනුවිචරන්ති ‘කච්චි බහු මනුස්සෙසු මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්ති’ති
පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහි සිව් වරම් මහරජ දරුවන්ගේ පුත්‍රයෝ මේ ලෝකයෙහි හැසිරෙත්, කිමෙක්ද?
“මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි. එදවස් පැමිණියාවූ, පසළොස්වක් පොහොය දිනයෙහි සිව්වරම් රජවරු තුමුම මේ ලෝකයෙහි හැසිරෙත්, කිමෙක්ද?
කච්චී බහු මනුස්සා මනුස්සෙසු මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤනි කරොන්තී’ති. තදහු, භික්ඛවෙ, උපොසථෙ පන්නරසෙ චත්තාරො මහාරාජානො සාමඤ්ඤෙව ඉමං ලොකං අනුවිචරන්ති, කව්චි බහු මනුස්සා මනුස්සෙසු මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්තී’ති.
මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත් සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
ඉදින් වනාහි මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්ද, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි රැස් වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) නිදුකාණෙනි, මනුෂ්‍යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්මය කියායි. ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ පිරිහෙන්නාහුය.අසුර නිකායයෝ සම්පූර්ණ වන්නාහුය’යි කියායි.
අප්පකා ඛො, මාරිසා මනුස්සා මනුස්සෙසු මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපවායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්තී’ති. තෙන ඛො, භික්ඛවෙ, දෙවා තාවතිංසා අනත්තමනා හොන්ති – දිබ්බා වත, හො, කායා පරිහායිස්සන්ති, පරිපූරිස්සන්ති අසුරකායා’ති.
මහණෙනි, මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම් වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) නිදුකාණෙනි, මනුෂ්‍යයන් අතරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්මය කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියො සතුටු සිත් ඇත්තෝ වෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ සම්පූර්ණ වන්නාහුය. අසුර නිකායයෝ පිරිහෙන්නාහුයයි කියායි.
බහු ඛො, මාරිසා, මනුස්සා මනුස්සෙසු මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති ජටිජාගරොන්ති පුඤ්ඤාති කරොන්ති’ති තෙන භික්ඛවෙ දෙවා තාවතිංසා අත්තමනා හොන්ති – දිබ්බා වත, හො, කායා පරිපූරිස්සන්ති, පරිහායිස්සන්ති අසුරකායා’ති.

ලිපි මාලා අංක – 24:

ස්වභාව ධර්මයෙන් අසුරයන් පැරද වූ අවස්ථාවක්

නරකය, ප්‍රේතය, තිරිසන් අසුර යන ප්‍රධාන අපායයන් පිළිබඳව පෙළ දහමෙහි සඳහන් පරිදි පෙළ දහම නොඉක්මවා කාටත් තේරෙන පරිදි සරලව හා පැහැදිලි ව මෙම ලිපි පෙළ ඉදිරිපත් කළෙමි. එතුළින් පාඨකයාට සතර අපාය පිළිබඳව යම් අවබෝධයක් ඇතිවන්නට ඇතැයි සිතමි. පළමුව ඉදිරිපත් කළ නරකය පිළිබඳ විස්තරයන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කළේ ලිපි පෙළ දීර්ඝ වන නිසා බව කරුණාවෙන් සැලකුව මැනවි. එහෙත් අවශ්‍ය කරුණු ඉදිරිපත් කොට ඇතැයි සිතමි. අද දින අවසන් ලිපියෙන් ද අසුරයන්ගේ චර්යාවන් පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපාරොත්තු වෙමු.
පසුගිය එනම් 24 වන ලිපියෙන් විස්තර කළේ දෙවියන්ගේ වර්ධනයත් අසුරයන්ගේ පිරිහීමත් පිළිබඳ කරුණු ඉදිරිපත් වන චාතුර්මහාරාජ සූත්‍රය විස්තර කිරීමටයි. එහි විස්තර වන්නේ සෑම දින අටකට වරක්ම සතර වරම් දෙවිවරුන්ගේ ඇමැතිවරු මිනිස් ලොවට පැමිණ මිනිසුන් අතර සිට දිව්‍ය ආත්මයන් සඳහා කුසල දහමෙහි නිතරවන අය හා අසුර ආත්මය ලැබීමට පහත් ක්‍රියාවන්හි යෙදෙන පිරිස සොයා බැලීමයි. එමෙන්ම සෑම තුදුස්වක දවසකම සතර වරම් දෙවිවරුද තමන්ම පැමිණ මේ කරුණු සොයා බලන බව තවදුරටත් මෙම සූත්‍රයේ විස්තර කෙරේ.

අද දිනයේ දී විස්තර කිරීමට බලාපොරාත්තු වන්නේ දෙව්යන් හා අසුරයන් අතර ඇති වූ යුද්ධයක දී ධාර්මික චර්යාවන් තුළින් දෙවියන්ට ජය අත් වූ බවත් අධාර්මික චර්යාවන් තුළින් අසුරයන් පරාජය වූ බවත් පිළිබඳ කරුණු ඉදිරිපත් වන සංයුත්ත නිකායේ ඇතුළත් කුලාවක සූත්‍රය පිළිබඳ විස්තර කිරීමටයි.
දිනක් සක්දෙව්රජු හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවිය. එම යුද්ධයේදී අසුරයන්ට ජය අත්විය. දෙවියන්ට පරාජය අත්විය. අසුරයන් අතින් පරාජයට පත් සක්දෙවි¾දු දිවි ගලවා ගැනීම පිණිස උතුරු දෙසට පලායන්නට විය. අසුරයන් ඔහු ලුහුබඳින්නට විය.
භූතපුබ්බං භික්ඛවෙ දේවාසුරසංගාමො සමුපබ්බුළ්හො අහෝසි – තස්මිං ඛො පන භික්ඛවේ, සංගාමෙ අසුරාජිනිංසු දෙවා පරාජිනිංසු පරාජිතා ච ඛො භික්ඛවෙ දේවා අපායංස්වේව උත්තරෙනමුබා, අභියංස්වේව නෙ අසුරා
සුපුරුදු පරිදිම ඔහුගේ රථය පැදවූයේ මාතලී රියදුරා විසිනි. එසේ උතුරු දෙසට පලා යද්දී සක්දෙව් රජුගේ රථය සිම්බිලි වනයේ ගුරුළු කැදැලි හා ගැටී ඒවා විනාශ වන්නට විය. මෙය දුටු සක් දෙව්රජු සිය රියදුරු මාතලීට දැන්වූයේ ගුරුළු කැදලි බේරා දැමීම වෙනුවෙන් දිව්‍ය අසුන් දහසක් යොදන ලද රථය වෙනත් මඟකට හරවන ලෙසයි.
කුලාවකා මාතලි සිම්බලිස්මිං - ඊසාමුඛෙන පරිවජ්ජයස්සු
කාමං වජාම අසුරෙසු පාණං - මායිමෙ දිජා විකුලාවකා

එසේ හරවා යන්නේ ඇයිදැයි මාතලී විමසූ විට සක් දෙව් රජු කීයේ තමන් අසුරයන් අතින් මැරැම් කෑවද ගුරුළු කැදලි විනාශවීම තමාට ඉවසිය නොහැකි බවයි. දෙව්රජුගේ රථය හරවනු දුටු ඔහු හඹා එමින් සිටි අසුර සේනා බියට පත්වූහ. දෙව්රජ වෙනත් දේව සේනාවක සහාය ලැබ තමන් සමඟ බලවත් සටනට එතියි සිතූ අසුර පක්ෂය බියපත්ව පලා ගියේය. මෙහිදී සක්දෙව් රජ ජයග්‍රහණය කළේය. එය ධර්මයෙන් ලද ජයග්‍රහණයකි.
එවං භද්දන්තවා ති ඛො භික්ඛවෙ මාතලි සංගාහකො සක්කස්ස දේවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං පච්චුදාවක්තෙසි අථ ඛො භික්ඛවෙ අසුරානං එතදහොසි පච්චුදාවත්තො ඛො දානි සක්කස්ස දේවානමින්දස්ස සහස්සයුත්තො ආජඤ්ඤරථො. දුතියම්පි ඛො දේවා අසුරෙහි සංගාමෙස්සන්තිති හීතා අසුරපුරමෙව පාවිසිංසු. ඉති ඛො භික්ඛවෙ සක්කස්ස දේවානමින්දස්ස ධම්මේන ජයො අහෝසි ති
අසුර නිකාය හෙවත් අසුර අපාය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පෙර ලිපි කිහිපයෙන්ම වඩාත් අවධාරණය වූ කරුණක් වූයේ අසුරයන් දෙවියන්ගේ සතුරු පිරිසක් වශයෙන් කටයුතු කරන බවත් නිතර ඔවුන් අතර යුද්ධ ඇතිවන බවත්ය. එහෙත් ඒ සෑම යුද්ධයකින් අසුරයන්ට අත්ව ඇත්තේ ජය නොව පරාජයයි. මෙසේ මේ දෙපිරිස අතර නිතර නිතර යුද්ධ ඇතිවීමටත් දෙවියන් පිළිබඳ අසුරයන්ට ද්වේෂයක් ඇතිවීමටත් යම් යම් හේතු සාධක තිබිය හැක.
ප්‍රධාන වශයෙන් දෙවියන් අසුරයන්ට වඩා සම්පත්තියෙන් ආඪ්‍ය වූ බැවින් ඔවුන්ගේ සම්පත් පිළිබඳ අසුරයන්ට ද්වේශයක් ඇත. ඔවුන් සිතන්නේ දෙවියන්ගේ සම්පත් යුද්ධ කිරීමෙන් තමන්ට අත්කර ගත හැකි බවයි. ඒ නිසයි ඔවුන් දෙවියන් සමඟ නිතර යුද්ධයට පැමිණ ඇත්තේ. පෙර ලිපියේ සඳහන් වූ චාතුර්මහා රාජ සුත්‍රයෙන් විස්තර වූ පරිදි දෙවියන්ගේ සහවාසයට හා අසුරයන්ගේ සහවාසයට යන අයගේ ප්‍රතිපත්ති ඇත. මිනිස්ලෝකයේ ඉපිද යහපත් චර්යාවන්ගේ යෙදෙන අය දෙව්ලොවට යති. එම ප්‍රතිපත්ති හෙවත් චර්යාවන් මෙසේය.
මව කෙරෙහි මනාව පිළිපැදියා වූ, පියා පිළිබද මනාව පිළිපැදියා වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මනාව පිළිපැදියා වූ කුලදෙටුවන් පුදන්නා වූ සිල් රකින්නා වූ පෙර ගමන් වශයෙන් පොහොය අටසිල් රකින්නා වූ අය දෙව්ලොව උප්පත්තිය ලබති. එසේ නොකරන අය අසුර නිකායේ උපදිති. ඒ අනුව අපට තීරණය කළ හැක්කේ යහපත් ප්‍රතිපත්ති ඇති අය දෙවියන් බවට පත්වන බවත් අයහපත් ප්‍රතිපත්ති ඇති අය අසුර නිකායෙහි උප්පත්තිය ලබන බවත්ය.
එබැවින් යුද්ධයන් තුළින් හෝ ද්වේශ කිරීමෙන් හෝ දෙවියන් සතු වූ සම්පත්තිය කිසිදා අසුරයන්ට ලබාගත නොහැක. ඊට හේතුව දෙවියන් සම්පත්තීන් ලඟා කරගෙන ඇත්තේ යහපත් ප්‍රතිපත්ති පූරණය කිරීම තුළින් නිසාය. එබැවින් අසුරයන් යනු තම අයහපත් ප්‍රතිපත්ති නිසා දෙවියන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරමින් අල්ප සම්පත් වලින් යුක්තව දිවි ගෙවන පේ‍්‍රත කොට්ඨාසයක් බව මෙයින් පැහැදිලි වෙයි.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X