ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු 2

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 06:  

ලෝකය ගැන ගැඹුරු අවබෝධයක්

පැපිලියාන සුනේත්‍රා මහා දේවිපිරිවෙන් විද්‍යායතනයේ
විහාරාධිකාරී
දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි

ආශාව, ලෝභය වැඩෙන හැටියටයි කෙනෙක් සිතින් අල්ලාගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කර බලන විට, මෙතන කුමක්ද තියෙන්නේ? අර කෙසෙල් ගසේ පතුරෙන් පතුර ගලවා බැලූ විට අරටුවක් නැති බව තේරුණා වගේ. මෙතන තියෙන්නේ සිතිවිලි ගොඩක් විතරයි.
අන්න ඒ විදියට හිතනකොට කල්පනා කරන කොට තමයි, අර ධර්මය ගැඹුරින්ම අවබෝධ වෙන්නේ, චතුරාර්ය සත්‍යය කියලා ඒ බුදුපියාණන් වහන්සේ දේශනාකර තියෙනවා. මුළු මහත් සංසාරික පැවැත්ම, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, කියලා කියන මේ පංචස්කන්ධය අනිත්‍යයි,දුඞඛයි, අනාත්මයි, මේ හැම එකක්ම දුක් සහගතයි. මේක තමයි ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇති වෙන්නේ ලෝකයාට මේ පිළිබඳව ඇති තණ්හාව නිසයි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ තණ්හාව නිසයි. මේ තරම් දුකක් ඇති වුණේ අර බණපදය අහන්න ගිහිල්ලා. අන්න එතකොට ඒ දුක පිළිබඳ අවබෝධය ඇති වුණා. ඒ දුක යට තියෙන්නේ තණ්හාවයි. මේ තණ්හාව නැතිවුනු අවස්ථාව, සංසිඳුනු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ.අර දරුවට මසුරන් මල්ල පිළිබඳ ආසාව අත්හැරිලා ඊළඟට ධර්මය වැටහෙන්න පටන් ගන්න කොට නිවන අවබෝධ වුණා. ඒකට උපකාර වන ටික තමයි ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ හරිදැක්ම, හරිදැක්ම අනුව ගිය හරි සිතුම් පැතුම්, හරි සිතුම්පැතුම් අනුව ගිය හරි ක්‍රියා මාර්ග, හරි ක්‍රියා මාර්ග අනුව ගිය හරි දිවි පැවැත්ම,හරි දිවි පැවැත්ම අනුව ගිය හරිවීර්ය කිරීම වෑයම් කිරීම,සිත පිරිසුදු කිරීමට දරණ වෑයම, ඒක තුළින් ඇතිවන හරි සිහි කිරීම, සතිය කියලා කියන එතුළින් ඇතිවන සම්‍යක් සමාධිය,හරි සිතේ එකඟ බව තැන්පත් බව. ඔන්න ඔය විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ හතරවන සත්‍යය. මේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තමයි, ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුුරුදු හතක දරුවෙක් හෝ වේවා, අවුරුදු හැට හැත්තෑවක කෙනෙක් හෝ වේවා, ඕනෑම කෙනෙක් මාර්ගඵල ලබන්නේ, ඔන්න ඔය විදියේ ගැඹුරු ධර්ම ගැඹුරින්ම වටහා ගැන්වීමෙන්, මේ වචනවලින් කියන එකක් නෙවෙයි මෙතන ඇතුළතින්ම වටහා ගන්න ධර්මයක්. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජන ගැන, ඒවා හරියට තේරුම් ගත්තා නම් යමෙකුට තමාගේ ජීවන ගැටලු තුළින්ම එදිනෙදා ජීවිතයේදීම ඒවා හැම එකක් භාවනා මනසිකාරයට නගලා තමාගේ නිවනට උපකාරවන ගුණධර්ම රාශියක් භාවනාමය කුසල ධර්ම රාශියක් චිත්ත සන්තානයට ඇතුළත් කරගන්ට පුළුවන් වෙනවා. එතකොට මේ කාල නමැති කුඩා දරුවා පිළිබඳ ධර්ම කථාවෙන් ආදර්ශය හැටියට ගන්න තියෙන්නේ මේකයි.
මේ ලෝකයේ කොතෙකුත් දේ කළු හැටියට පෙනුණට මොකද මේවා සුදු කරගන්න පුළුවන්. මේ ධර්මයෙ, අර වැරැදි අවබෝධය අතහැරලා, අයෝනිසෝ මනසිකාරය කියලා කියන වැරැදි මෙනෙහි කිරීම් අත හැරලා හරි අවබෝධය පැත්තට යෝනිසෝ මනසිකාරය කියලා කියන හරි මෙනෙහි කිරීම්වලට පුරුදු වෙනවා නම්,වැරැදි විදියට ලෝකය දිහා බලන ඒ ආකල්පය අතැහරලා. හරි ආකාරයට ලෝකය දිහා බලන්න පුරුදු වෙනව නම් ආන්න ඒ තැනැත්තාට පුළුවන් මේ ජීවිතයේ දී සමහර විට තම තමන්ගේ වැඩ කටයුතු මධ්‍යයේම, ඒවා තුළින්ම කමටහන් මතුකරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබා ගන්න. බුද්ධ කාලයේත්, නොයෙකුත් ඔය කථාන්තරවල සඳහන් වෙනවා. ථෙර තෙරණියන්, සංඝයා වහන්සේලා සමහර අය පහනක් නිවෙනවා දැකලා නිදාගන්න ගිහිල්ලා පහනක දැල්ල අඩු කරලා නිවෙන්න හදන කොටම රහත් වුණා. තවත් සමහර කෙනෙක් ලැව් ගින්නක් දැකලා, සමහර කෙනෙක් වතුරේ පාවෙලා යන පෙණ පිඬක් දැකලා, ඔය නොයෙකුත් දේවල් දැකලා ඒවා තුළින් නිවන් අවබෝධය කළයි කියලා කියන්නේ, ඔන්න ඔය විදියට, මේ හැම එකක් තුළින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන, ඒ විදියටම තමයි අනිත් දේවල් කියලා නුවණින් හිතාගන්න පුළුවන් ශක්තිය ඇති වුණාම, අන්න ඒ තැනැත්තට පුළුවන් අර ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබාගන්න. මේ කාලයේත්, බුද්ධ කාලයේ තිබුණ වගේම, නොයෙකුත් විදියේ දුක් ගැහැට, විපත්ති ආපදා, මේ ලෝකයේ, සමාජයේ ,අසන්නට ලැබෙනවා. ඒවා තුළින් පුළුවන් නිවන් මතුකර ගන්න.
මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය වූ දේවල් ඔස්සේ මේ කරන උත්සාහ හැම එකක්ම දුක් සහගතයි. මේ විදියට නම් ලෝකයේ සත්‍යය තිබෙන්නේ, මෙතන ‘මමය, මගේය” කියලා ගන්න දෙයක් නැහැ.හරයක්,අරටුවක් නැහැ. මේ හැම එකක්ම මරණය අවස්ථාවේදි අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. මමය, මගේය කියලා ගත්තු ඒ සියලු වස්තු සම්භාර, නෑ හිතවතුන් හැම කෙනෙක්ම අතහැරලා යන්න වෙනවා. අන්තිමට අර කොඩියක් දානවා. ‘අනිච්චා වත සංඛාරා’ කියලා. ඥාතීන් එකතුවෙලා ඒවා දානකොට අර තැනැත්තා මිය ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෝත්තර තත්ත්ව පිළිබඳව උත්සාහයක් කරන්න කාලයක් නැහැ. ඔක්කොම , මුළු මහත් ජීවිතයටම අර ඇඳීම් සමූහයක් , සූදානම් වීම් සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන්න සූදානම් වෙන සමහරු සමහර වෙලාවට හීනයක් එහෙම දකිනවා. හරියට ලොකු ගමනක් යන්න වන්දනා ගමනක් හරි විනෝද ගමනක් හරි යන්න සූදානම් වෙනවා වගේ, සූදානම් වෙන නමුත් මොකක්දෝ අඩුවක් තියෙනවා.ආයිත් දුවලා ගිහිල්ලා ඒත් සම්පූර්ණ කර ගන්නවා, ඇඳුම් පැළඳුම් පිළිබඳව. එහෙම කර කර ඉන්න අතරේ හදිසියේම ඔන්න ඇහැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මුළු මහත් ජීවිතයේම කරන්නේ. කුඩා දරුවාගේ ඉඳලා මහල්ලා දක්වාම, මුළු මහත් ජීවිතයම, අර ඇඳීම්, සූදානම් වීම් සමූහයක්, නමුත් මේකේ ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට අර කෙසෙල් කඳ කරගහගෙන ගිය පුද්ගලයා වගේ, එතන තියෙන පතුරු ගොඩ පේන්නේ නැහැ. ඒ පතුරු ගොඩ පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත තැන්පත් වෙන්න, තැන්පත් වෙන්න, පේනවා මෙතන තියෙන්නේ හිත තුළින් එන මෙන්න මේ වේදනා, සංඥා,චේතනා , ස්පර්ශ , මනසිකාර කියන මේ ධර්ම ටික විතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන මේ ලෝකයේ බාහිර දේත් අපේ ශරීරත් මේ හැම එකක්ම සකස්වෙලා තියෙන ධාතු හතර පමණයි මෙතන තියෙන්නේ. මීට වඩා එහා දෙයක් නෑ. අනන්ත කාලයක් සංසාරෙ මේවා පස්සෙයි අප මේ දුවලා තියෙන්නේ. මෙතන තියෙන්නේ දිවිල්ලක් පමණයි. තණ්හාව පමණයි, පිපාසයක් පමණයි කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා.
අන්න ඒ අවබෝධය ගැඹුරින් ඇතිවුණ අවස්ථාවේදී තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, දිව්‍යලෝක ගමනටත් වඩා, මුළු ලෝකයේ අධිපති කමටත් වඩා උතුම් වූ ඒ සෝවාන් තත්ත්වය ලබාගන්ට පුළුවන් වන්නේ. ඒ තත්ත්වය ලබාගත්තා නම් තවත් සැරයක් , නැවත උප්පත්තියක් ලබන්නේ. තමන් ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තවදුරටත් දියුණු කරගෙන, තව දුරටත් ගැඹුරට භාවනා කරගෙන ගියා නම්, ඒ තැනැත්තාට පුළුවන් වෙනවා සකදාගාමී කියලා කියන දෙවන මාර්ගය ඵලය ලබාගෙන නැවත එක් වරක් පමණක් මේ ලෝකෙට ඒම ඉතුරු කරලා අනිකුත් සංසාර දුකින් මිදෙන්න. ඊටත් එහාට භාවනාව ගැඹුරට දියුණු කරගෙන ගියොත්, ඒ තමන් කරකැවූ ධර්ම චක්‍රය නැවත වරක් කරකැවීමෙන් අනාගාමී තත්ත්වයට පැමිණිලා,නැවත මේ ලෝකෙට එන්නේ නැතිව බ්‍රහ්ම ලෝකෙදිම නිවන් දකින්ට පුළුවන් වෙනවා. ඊටත් එහාට තව උත්සාහ කරලා, ගැඹුරින් භාවනා කරලා, කෙනෙකුට පුළුවන් වෙනවා මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරලා, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි මුළු මහත් සංසාර දුඞඛයෙන් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට .
එතකොට මේ කාල නමැති සිටු පුත්‍රයාගේ කථාව ආශ්‍රයෙන් අපට මේ නිවන් මාර්ගයේ සිත පිහිටුවා ගැනීමට පුළුවන් වුණා. බුදුපියාණන් වහන්සේ දේශනා කළ එක බණපදයක පවා ඉතා ගැඹුරට ගියොත් එතන නිවන තිබෙනවා කියලා අපට බය නැතුව කියන්න පුළුවන් . බුදුපියාණන් වහන්සේගේ මේ ධර්ම සාගරයේ එක බිඳක් ගත්තොත්, ඒ හැම එකකම විමුක්ති රසය තිබෙන්නේ, නිවන් රසය තිබෙන්නේ. හරියට අර මහා සාගරයේ කොතනකින් දිය බිංදුවක් ගත්තත් ලුණු රස තිබෙන්නා වාගේ, මේ ධර්ම සාගරයේ යම් කිසි එක සුළු බණපදයක් ගත්තත් ඒ තුළින් අපට නිවන දක්වාම සිත යොමුකරන්ට පුළුවන්. සංසාරයේ භාවනා අරමුණු දියුණු කළ කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ පවා නිවන් දකින්නට පුළුවන් වෙනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මාර්ගඵල අවබෝධය භාවනා ආසනයේදී පමණක් නොවෙයි, පස් තැනකදීම ලබාගන්න පුළුවන් බව, ඒකට කියනවා” විමුත්තායතන’ කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස, සංසාරයෙන් නිදහස.ආයතන කියලා කියන්නේ, යම් කිසි මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්නට පුළුවන් තැනක්. එහෙම තැන් පහක් දක්වලා තිබෙනවා. මොනවද ඒ තැන් පහ? කෙනකුට පුළුවන් දහම් අසන විට, දැන් මේ කාල නමැති දරුවා ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළේ දහම් අසන විටයි. දහම් අසන විට හොඳට ඒකට හිත යොමු කරගෙන,ගැඹුරින් මෙනෙහි කරන අවස්ථාව ආවාම අන්න අර ලෝකෝත්තර තත්ත්වය ලබා ගන්න පුළුවන්.තවත් කෙනෙකුට පුළුවන් දහම් දෙසන විට, ධර්ම දේශනා කරන කොටත්, ඒ ධර්මයේ හිත පවත්වන අවස්ථාවේදී තමන්ටම හරියට අර අමුත්තන් එන දවසේ ගෙදරවල්වල ආහාර සූදානම් කරන අමුත්තන්ට පමණක් නොවෙයි ගෙදර අයටත් ඒ ආහාර අනුභව කරන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මය දේශනා කරන අවස්ථාවේ සමහර සංඝයා වහන්සේලා අවබෝධය ලබාගත්තු බව දක්වලා තියෙනවා. ඒවගේම ධර්මය මෙනෙහි කරන විට පැත්තකට වෙලා ධර්මයේ ගැඹුරු කාරණයක් මෙනෙහි කරන කොට හදිසියේම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ඇවිල්ලා අර විදියේ මාර්ග ඵල අවබෝධයකින් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ට පුළුවන්.තවත් සමහරෙකුට ධර්මය සජ්ඣායනා කරන විට ධර්මය සජ්ඣායනා කරන කොට හොඳට සිත යොදාගෙන, එතකොටත්, අර සිත තැන්පත් වෙලා සමාධිමත්වෙලා, ගැඹුරින් ඒ පිළිබඳව අවබෝධයක් ඇවිල්ලා. සෝවාන් ආදි ඒ තත්ත්ව ලබාගන්නට පුළුවන්. රහත්වෙන්නටත් පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් දක්වලා තිබෙන්නේ යම් කිසි සමාධි නිමිත්තක් ඒක තමයි ලෝකයේ සාමාන්‍යයෙන් භාවනාව හැටියට සළකන්නේ. යම් කිසි සමාධි නිමිත්තක් මුල් කරගෙන ක්‍රමානුකූලව භාවනා වඩලත් පුළුවන්. ඔය විදියට එදිනෙදා ජීවිතයේදී බණඇසීම්, බණ දෙසීම්, දහම් මෙනෙහි කිරීම් ආදි කටයුතුවල යෙදෙනව නම් ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ අනුව අප එදිනෙදා ජීවිතයටත්, තම තමන්ගේ ජීවිතවලටත් මේ ධර්මයෙන් ගත හැකි ප්‍රයෝජන මේ කථාන්තරය ආශ්‍රයෙන් ගන්නට උත්සාහවත් වෙන්ට ඕන.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -07:

විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා


පටිච්ච සමුප්පාදයේ උගන්වන තුන්වන අංගය යන විඤ්ඤාණය ගැන මෙතැන් සිට කියා දෙනවා. මුලින් ම විඤ්ඤාණයේ සාමාන්‍ය ස්වභාවය අපි තේරුම් ගනිමු. ඒත් පටිච්ච සමුප්පාදයේ දී විස්තර කරන විඤ්ඤාණය ක්‍රියාවලිය ඊට වඩා වෙනස්. ඒක පටලවා ගන්න එපා, සාමාන්‍යයෙන් විඤ්ඤාණය කියන්නේ අපගේ සිතට. ඒත් සිතේ මනසේ, විඤ්ඤාණයේ සුළු වෙනස්කම් තියෙනවා. නමුත් සිත කියා ගත්තොත් මේක ලෙහෙසියි. කන්න ඕනෑ, නිදන්න ඕනෑ, වැඩපල කරන්න ඕනෑ, ධනය රැස්කරන්න ඕනෑ, ආදී වශයෙන් සිතන්නේ විඤ්ඤාණයයි.
අප ළඟ තිබෙන ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා වූ වේදනා, සංඥා, සංඛාර ආදි වූ අරමුණුවල පටලවන්නේ මේ සිතයි. අප මුලාවට පත් කරලා සසර ඇවිද්දවන්නේ මේ සිතයි. මොහොතින් මොහොත වෙනස් වෙමින් යන දේවල් එහෙම වෙන්නේ නැහැ කියා සිතන්නේත් මේ සිතයි. ඒකයි මේකට මායුපමාඤච විඤ්ඤාණං කියා කියන්නේ, ඇත්තටම මේක මායාවක්, සත්‍යදේ අසත්‍ය ලෙසත්” අසත්‍ය දේ සත්‍ය ලෙසත් සිත අරමුණු කරගන්නවා. මේක විස්තර කරන කොට මෙහි තිබෙන මායාකාරී ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේ ම විඤ්ඤාණය සහ නාම රූප අනෝන්‍යය ප්‍රත්‍යය වන නිසා නාමරූප පිළිබඳවත් කිසියම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්‍යයෙන් කතා කරන විඤ්ඤාණයට වඩා පටිච්ච සමුප්පාදය ඉගැන්වෙන විඤ්ඤාණ ක්‍රියාවලිය වෙනස්ය. මේ විඤ්ඤාණයට හේතු ප්‍රත්‍ය හැටියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ - නාමරූපයයි. නාමරූපය යන්න මේ කාරණය පිළිබඳව බොහෝ දෙනා තුළ වැරදි අදහසක් තියෙනවා. දැන් මේ සියල්ලම නැතත් ඇතැම් පින්වතුන් දන්නවා ඇති පටිච්චසමුප්පාද ධර්මයේ අංග දොළහක් තිබෙන බව. අවිජ්ජාවෙන් පටන් ගෙන දුක දක්වා අංග දොළහක් තිබෙනවා. මේ අංග අතර විඤ්ඤාණයත් නාමරූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යය සම්බන්ධතාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා කියලා. පටිච්ච සමුප්පාද විග්‍රහයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය වශයෙන් තිබෙනවා එතන පැහැදිලිවම. නමුත් ඇතැම් කෙනෙක් පංච උපාදානස්කන්ධය විග්‍රහ කිරීමේ දී ඒක පටලවා ගන්නවා මේ නාම රූපයත් එක්ක. දැන් උගතුන් කියනවා නාම රූපය තේරුම් කරන්න ගිහිල්ලා නාමරූපයේ රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයයි. නාම කියලා කියන්නේ අර අනිත් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ හතරම ගන්නවා නාමය හැටියට. නමුත් ඒක අවුල්කර ගැනිල්ලක්. පංච උපාදාන ස්කන්ධ විග්‍රහයත්, පටිච්චසමුප්පාද විග්‍රහයත් පටලවා ගැනීමෙනිනුයි. ඒ විධියට කෙනෙක් කල්පනා කරන්නේ.

මොකද, බුද්ධ දේශනාවේ පැහැදිලිවම තිබෙනවා විඤ්ඤාණයට ප්‍රත්‍යයවන්නේ නාමරූපය. අන්න එතන තමා ගැඹුරුම එක. ඒ නාමරූපය පටිච්චසමුප්පාද ධර්මයට අනුව - නාමරූපය තුළින් තමයි ඊළඟට සළායතනය හැටියට බෙදිලා යන්නේ. සළායතන කියා ධර්මයේ දක්වලා තිබෙන්නේ - කොටින්ම විඤ්ඤාණ හයක් හැටියට. නිකම් විඤ්ඤාණයක් නැහැ. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණ හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන අප ඉන්ද්‍රිය කියලා ගන්න ඒවා. ඒවායේ විඤ්ඤාණය තැන්පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව විඤ්ඤාණයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන එකක්. ‘අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’ ප්‍රත්‍යයන්ගෙන් තොරව විඤ්ඤාණයක් හටගන්නේ නැහැ කියනවා. එතන තමා ගැඹුරුම දේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘ද්වයං භික්ඛවේ පටිච්ච විඤ්ඤාණං සමේහාති’ දෙකක් නිසයි විඤ්ඤාණය ඇති වන්නේ. මොකද්ද දෙක, ඇසයි රූපයයි. ඇසයි රූපයයි නිසා චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. කනයි ,ශබ්දයයි නිසා සෝත විඤ්ඤාණය ඇතිවෙනවා. දැන් මේ වචනයකට කන් දෙන්නේ ඒ අවස්ථාවේ ශබ්දය ඇහෙන්නේ නැත්නම් සෝත විඤ්ඤාණයක් නැහැ ඒ අවස්ථාවේ. නමුත් අප සිතනවා කන තිබෙන නිසා සෝත විඤ්ඤාණයක් තිබෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ගිනි පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා සිතීම වගේ. ගිනිකූර ගැහුවට පස්සෙ නේ ගින්දර එන්නේ. මේක සවිඤ්ඤාණක කය බව ඇත්ත. විඤ්ඤාණය සහිත කය. නමුත් විඤ්ඤාණය මතුවන්නේ හය ආකාරයකට ඒකට ප්‍රත්‍යය එකතු වුනාමයි. අන්න එහෙම සිතාගන්න. එතකොට ඇසත් රූපයත් නිසයි. එතනයි බොහෝ දෙනාට වරදින්නේ. ඇසත්, රූ පයත් නිසයි චක්ඛු විඤ්ඤාණය. කනත් ශබ්දයත් නිසයි සෝත විඤ්ඤාණය. ඒ විදියට අන්තිමට ම එන්නේ මනසත් මනසට අරමුණු වන ‘ධම්ම’ කියන ‘දෙයත්’ මනසට අරමුණු වුණ කාරණයත්, ඒ දෙක එකතු වුණ තැනයි මනෝ විඤ්ඤාණය පවා ඇති වන්නේ, ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු කාරණයක්.
විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා. නාමරූපය නිසා විඤ්ඤාණය පවතිනවා. දැන් විදර්ශනා භාවනා යෝගියා ඒ ඒ සිතට එන අරමුණු හැම එකක් ම නාම රූප හැටියටයි සළකන්නේ. ඇසට එන රූපය හෝ වේවා කනට එන ශබ්දය හෝ වේවා එතන තියෙන්නේ නාමරූප කියලා. මොකක් ද මේ ‘නාමරූප’ ඔන්න එතකොට තේරුම් ගන්න බලනවා. නාමය කියන්නේ අප කවුරුත් පාවිච්චි කරනවා නම කියලා. නමුත් මෙතන මේ සම්මුති නාමයක් නොවේ. මෙතන කියන්නේ ‘කුමක්ද මහණෙනි නාමය? වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර මේවා නාම ධර්ම. එතකොට රූප හැටියට දක්වන්නේ අර කලින් කිව්වා නේ මහා භූත හතර දෙනා එකට අල්ලාගෙන උපාදානය කරගෙන ඇති කර ගන්නා රූප සංඥාවයි මේ රූප කියලා කියන්නේ. එතකොට නාම රූපය කියල කියන්නේ එතනම තියෙනවා අර කෘත්‍රිම ස්වභාවයක්. රැවටිලි ස්වභාවයක්. විඤ්ඤාණයට එන අරමුණේ රැවටිලි ස්වභාවය එතන නාමරූප කියන වචනයෙන් පෙන්නුම් කරන්නේ. නාමය තනිව සිට ගන්නේ නැහැ. නාමය උපකාර කරගෙන රූපය පවතිනව. රූපය උපකාර කරගෙන නාමය පවතිනව. මෙතනත් කියනව හේතු ප්‍රත්‍ය සම්බන්ධයක්. යමක් අප හඳුනා ගන්නේ වේදනාව සංඥාව ඒ පිළිබඳව ඇතිවන චේතනාව ඊළඟට ඒකට මනසිකාරය යොමු කරන තැනක් තියනවා ස්පර්ශය. ඒ කාරනා ආශ්‍රයෙන් තමා අප රූප ධර්ම පවා හඳුනාගන්නේ. ඒවායේ ඝන බව ඒවායේ තද බව, බුරුල් බව, උෂ්ණ බව, සීතල බව ආදි වශයෙන් අප අඳුනා ගන්නේ ඔන්න ඔය කියාපු වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම ධර්ම ආශ්‍රයෙන්. ඊළඟට ඒ අඳුනා ගැනීම තුළින් අප මේක ‘රූපයක්’ කියලා ගන්නවා. හරියට අන්ධයෙක් ගිහිල්ලා මොකක් හරි හැපුනාම ඒ හැපුන දෙය දෙයක් කියල ගන්නවා වගෙයි. සාමාන්‍ය ලෝකයා අර සක්කාය දිට්ඨිය තුළින් මේක දෙයක් හැටියට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මෙතන තියෙන්නේ මේ ඡායාවක් පමණයි. අප අර කොතෙකුත් උපමා පෙන්නුවා.
බුදුරජාණන් වහන්සේත්, පුණ්ණ මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේත්, ආනන්ද ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කරලා තියෙනවා අර කන්නාඩියක් අල්ලාගෙන බලන කොටයි මේ මමය කියල කියන්න පුළුවන් වන්නේ. ඒ වගේ රූපය අල්ලාගෙනයි ‘අස්මි’ ‘වෙමි’ කියන අදහස ඇතිකරගන්නේ. ඒවගේ ම වේදනා. යම්කිසි දෙයක් අල්ලා ගැනීමෙනුයි. ඒකටයි උපාදාන කියලා කියන්නෙත් ඒකයි. ඒ අල්ලා ගැනීම තුළ තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම. එතකොට ඒක සිතට වැටහෙන්නේ අර අල්ලාගැනීම තුළින්. අත්හැරිය අවස්ථාවේ දී ඒක නැහැ. නමුත් අත්හරින්න කැමති නැහැ. එතකොට ඒ අල්ලා ගැනීම තුළින් ‘වෙමි’ කියන අදහසක් එනවා. ඕකයි ලෝකයාට තියන ලොකුම ප්‍රශ්නය. අර ඒ දණ්ඩ උඩ සුනඛයාගේ උපමාව සමහර අවස්ථාවල දක්වන්නේ ඒකයි. සුනඛයෙක් ඒ දණ්ඩ උඩින් යනකොට උගේ ම රූප යට රැවටෙනවා. තවත් සුනඛයෙක් කියලා ගොරවනවා එහෙම නැත්නම් වල්ගය වනනවා. එහෙම නැත්නම් විටින් විට සැරෙන් සැරේ බලනවා. මේ වතුරේ තියෙන පිළිබිඹු කරන ස්වභාවය නොදන්නා නිසා. ඒ වගේ ම තමා විඤ්ඤාණයෙත් තියෙනවා පිළිබිඹු කරන ස්වභාවයක්. ප්‍රත්‍යවේක්ෂා නමින් හඳුන්වන්නේ. අන්න ඒ තත්ත්වය ගැන නොදන්නා නිසා තමා ලෝකයා තමන්ට පෙනෙන දේවල් ඒ ඒ හැටියට ම තියෙනවා කියලා සිතන්නේ. නමුත් විදර්ශකයාට ක්‍රම ක්‍රමයෙන් පෙනෙනවා අන්න අර ඒවා තුළ තියෙන්නේ නාමධර්ම සමූහයකුත් රූප ධර්ම සමූහයකුත් පමණයි කියලා.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -08:

නාම රූපය අවබෝධ කරගත්තොත් විඤ්ඤාණය නිරුද්ධ වේ


නාම රූප ධර්ම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගනිමු. අර මුලින් කිව්ව විඤ්ඤාණය ඊට කලින් මතක්කරන්න වෙනවා මේ විඤ්ඤාණ – නාමරූප දෙක කියනකොට ඇයි අවිද්‍යාව, සංස්කාර ගැන සිතුවේ නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්.
මේ ඔක්කොම කෙරෙන්නේ අවිද්‍යා පසුබිමේ නොදැනීම නිසා. අර සුනඛයාගේ නොදැනීම නිසා අර විධියට ග්‍රහණය කරලා නැට්ට වන වනා හිිටියා වගේ. මේ සක්කායදිට්ඨියෙන් බැඳුනු පුද්ගලයා තුළ - ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරලා තියෙන්නේ ‘අවිජ්ජා නීවරණස්ස භික්ඛවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස එවං අයං කායො සමුදාගතො’ අවිද්‍යාවෙන් වැසුණා වූ තණ්හාවෙන් බැඳුනාවූ මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ කය ලැබිලා තියෙනවා. ‘ඉති අයං වෙව කායො බහිද්ධාව නාමරූපං’ මේ කයයි නාමරූපයයි ‘ඉත්ථෙතං ද්වයං’ මෙන්න මේ දෙක නිසා ස්පර්ශයත් සළායතනයත් ඇතිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කිව්වේ මොකක් ද? අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න මේ සත්ත්වයාට මේ කයක් ලැබිලා තියෙනවා. මේ කයේ අර විඤ්ඤාණය මතුවෙනවා. ස්පර්ශ, අර කියාපු ප්‍රත්‍යයන් ආපු හැටියේ. ඊළඟට ඒ එක්කම අර නාමරූපය විහිදිලා යනවා ආයතන හයක් හැටියට. ඒ ආයතන හය තමයි අප කිව්වේ දැන් මේ පින්වතුන් ඉන්ද්‍රිය හැටියට හඳුන්වන ඒවා ආයතන වෙන්නේ ක්‍රියාකාරිත්වයක් ඇති තැනයි. ක්‍රියාකාරිත්වයක් ඇති තැනටයි ආයතනය කියලා කියන්නේ. ඉන්ද්‍රිය තියෙනවා ඇහැ තියෙනවා පෙනෙන්නෙ නැහැ. කන තියෙනවා ඇහෙන්නේ නැහැ. නමුත් අන්න අර ප්‍රත්‍යය ඇවිල්ලා කි‍්‍රයාත්මක වුණ වෙලාවයි අප ආයතන කියලා කියන්නේ. මේ චක්ඛු ඉන්ද්‍රිය තිබුණට චක්ඛු ආයතනය නැහැ. ආයතනය ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යයන් එක්ක සම්බන්ධ වුණ තැනයි. ගිනි පෙට්ටියේ ගිනිකූර වැදුන තැනයි ගින්දර පැන නගින්නේ. අන්න සිතාගන්න නොතේරෙනවා නම් අන්න සළායතනයට බෙදිලා යනවා නාමරූපය. එතකොට විඤ්ඤාණය කියන මායාව තුළ අර නාමරූපය විහිදිලා යනවා.
මේ ශරීරය අතීතයේ බදාගත්තු තණ්හාව නිසා අපට දකින්න ඕනෑ. අහන්න ඕනෑ, රස බලන්න ඕනෑ. විඳින්න ඕනෑ. ඒ නොසන්සිඳුනු තණ්හාව නිසා අර අශ්‍රැතවත් පෘථග්ජනයාට මේ කය ලැබිලා තියෙනවා. මේ කයට ඔන්න නාමරූපය එකතු වෙනවා. ඒ නාමරූපය ඊළඟට ඒක තුළින් සළායතනය ගොඩනැගෙනවා. ඉතින් පටිච්චසමුප්පාදයට නංවලා යනවා. සළායතන නිසා ඵස්ස ඵස්ස පච්චයා වේදනා’ වේදනාව නිසා තණ්හාව තණ්හාව නිසා උපාදානය අන්තිමට උපාදන ස්කන්ධ පහක් ගොඩනැගෙනවා. ඒකයි අප කිව්වේ මේ අවස්ථාව ගැන සිතලා බලන කොට ආපසු මේකට අදාළ මගේ මේ ජීවිතයේ මේ අවස්ථාව අද දින මේ මොහොත ගතවුණා කියලා කියන්න පුළුවන් වන්නේ මේ මේ රූපයක් ඒ අවස්ථාවේ තිබුණා. මේ වගේ වේදනාවක් මේ වගේ සංඥාවක් ඔය ඔක්කොම බේරිලා යනවා අන්තිමට තැන්පත් වෙනවා පංචඋපාදානස්කන්ධයක් හැටියට.

නමුත් මෙන්න මේක හැදෙන්නේ කොහොමද? කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක මහා ගැඹුරු දේශනාවක්. මහා සළායතනනික නමින් ඇති ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ පංචඋපාදානස්කන්ධය ගොඩනැගෙන හැටිත් මේක ලිහිලායන හැටිත්, ගෙවිලා යන හැටිත්. ඒකට යොදන වචන දෙක “උපවය – අපවය’ උපවය කියලා කියන්නේ එක් රැස්වීම. අපවය කියලා කියන්නේ ගෙවීයාම. එතකොට පංචඋපාදාන ස්කන්ධයක් ගෙවිලා යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ සූත්‍රයේ ‘යථාභූත ඤාණ’ කියන වචනයෙන්. යථාභූතඤාණය කියල කියන්නේ. ඇත්ත ඇති සැටි පිළිබඳ අවබෝධය. දැන් අප තේරුම් ගත්තා යථාභූතඤාණය කියල කියන්නේ අනිත්‍යතාවටයි. අනිත්‍යතා දර්ශනයටයි, යථාභූතඤාණය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම කියන්නේ අනිත්‍යතා දර්ශනයයි. ඒකමයි අර විධියේ උපමා බුදුරජාණන් වහන්සේ දුන්නේ. එතකොට දැන් මෙතැනදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා යම් කෙනෙක් මේ පංචඋපාදානස්කන්ධය ගොඩනඟා ගන්නේ කොහොමද කියලා දක්වන්නේ අර සළායතනය ක්‍රියාත්මකවීමේ දී මේ පින්වතුන් දන්නවා ඒකට අදාළ දේවල් තමා ඇස, රූපය, ඊළඟට ඇස පිළිබඳ විඤ්ඤාණය, ඊළඟට ඒ ඇසත් රූපයත් විඤ්ඤාණයත් එකතුවුණ තැන ස්පර්ශය, ඊළඟට ස්පර්ශය නිසා වේදයිතයන් එනවා. ඔන්න ඔය කියන කාරණා හැම එකක් ම යථාභූත වශයෙන් ඒවායේ අනිත්‍ය ස්වභාවය නොදන්නා නිසා කෙනෙකුට උපාදාන ස්කන්ධයක් ගොඩනැගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොහොතක් මොහොතක් පාසා මේක පිළිබඳ අනිත්‍යතාව ගැන අවබෝධයෙන් සිටින කෙනාට ඒවා එකතු වන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ගෙවී යාමට උපකාර වෙනවා එතකොට අනිත්‍යතා දර්ශනය, අනිත්‍යතා දර්ශනය, යථාභූත දර්ශනය නොමැතිව මමය, මාගේ ය කියලා නිත්‍ය සංඥාවෙන් ග්‍රහණය කරන අවස්ථාවේ අන්න පංචඋපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය සංඥාව ඇතිව ඉන්නකොට අරවා එතන එතනම ඉවරයි. එතන එතනම ඉවරයි. ඒවා ගොඩනැගෙන්නේ එකතු වෙන්නේ නැහැ. ඒකයි එතන ප්‍රකාශ කරන්නේ.
ඔන්න ඊළඟට ඒ කාරණය වඩාත් පැහැදිලි වන ගැඹුරුම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ‘අනිච්චතා සූත්‍රය’ නමින් හඳුන්වනවා. මහ පුදුම විධියට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව කරන්නේ. ඇතැම් කෙනෙකුට ඒක අහනකොට පවා අනිත්‍යතා කියන සමාධියට වැටෙන බව තේරෙනව. ‘මහණෙනි, ඇස අනිත්‍යයි වෙනස්වන සුළුයි. අන්‍යාකාරයකට පත්වන සුළුයි. රූපය අනිත්‍යයි, වෙනස්වන සුළුයි. අන්‍යාකාරයකට පත්වන සුළුයි. ඊළඟට මෙන්න මේ දෙකම ඒ විධියට අනිත්‍යයි. ඊළඟට ඒවා නිසා ඇතිවන චක්ඛු විඤ්ඤාණය. එතකොට ඇසත් රූපයත් එකතුවුන තැන යම් චක්ඛු විඤ්ඤාණයක් ඇතිවනවා ද ඒකත් අනිත්‍යයි. අන්‍යාකාරයකට පත්වනවා. වෙනස්වන සුළුයි. ඊළඟට ඒවා නිසා ඇතිවන චක්ඛු විඤ්ඤාණය. එතකොට ඇසත් රූපයත් එකතුවුන තැන යම් චක්ඛු විඤ්ඤාණයක් ඇතිවනවා ද ඒකත් අනිත්‍යයි. අන්‍යාකාරයකට පත්වනවා. වෙනස්වන සුළුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට දේශනා කරනවා යම් හේතුවක් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය ඇතිවුණ ද ඒ හේතු ප්‍රත්‍යය අනිත්‍යයි. එතකොට කොහොමද විඤ්ඤාණය නිත්‍ය වන්නේ? යමක් හටගත්තු හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් විඤ්ඤාණය නිත්‍යවන්නේ කොහොමද? එහෙම අහන්නේ මොකද? විඤ්ඤාණය නිත්‍යයි කියලා ගන්න නිසා. එතකොට ඇසත් අනිත්‍යයි ඒ කියන්නේ නිතරම සැලෙන සුළුයි. නිරන්තරයෙන් බිඳිලා යන සුළුයි. රූපයනුත් එහෙමයි. නමුත් ඒවා එකතු වුණු තැන අප විඤ්ඤාණය කියලා අල්ල ගන්නවා නිත්‍ය හැටියට. චක්ඛු විඤ්ඤාණය කියලා එහෙම. එතකොට යම් කෙනෙක් ඇහේ අනිත්‍යතාව එතන එතනම දකිනවා නම් රූපයන්ගේ අනිත්‍යතාව එතන එතනම දකින තත්ත්වයකට අපේ සිත පත්කර ගත්තොත් ප්‍රඥාවෙන්, එතන විඤ්ඤාණයක් නැහැ. විඤ්ඤාණය කොහොමද නිත්‍ය වෙන්නේ?ඊළඟට ඒ තුන එකතුවුණ තැන ස්පර්ශයයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. නමුත් ඒ චක්ඛු සම්ඵස්සයත් අනිත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. සැලෙනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අහනවා ඊළඟට යම් හේතුන් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් කොහොමද ප්‍රතිඵලය – ඒකෙන් මතුවන චක්ඛු සම්ඵස්සය නිත්‍ය වෙන්නේ. ඊළඟට චක්ඛු සම්ඵස්සය නිසයි වේදයිතය ඇතිවන්නේ. ඒකත් අනිත්‍යයි. වෙනස්වන සුළුයි. ඒකත් සැලෙන සුළුයි. නමුත් ලෝකයා ඒ වේදයිතයත් වේදනාවත් නිත්‍ය හැටියට සලකනවා. ඔන්න ඔය විධියට පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා මේ සළායතනයේ - නිෂ්පාදනාගාරයේ - හැම පියවරක් ම සැලෙන සුළුයි වෙනස්වන සුළුයි. වෙනස් ආකාරයකට පත්වන සුළුයි. නමුත් අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු පුද්ගලයා ඒ අනිත්‍යතාව දකින්න අසමත්ව නිත්‍ය සංඥාවෙන් ඝන සංඥාවෙන් ඒවා ග්‍රහණය කරනවා.
අන්න ඒක තමා අර විදර්ශකයා පිළිබඳව කියනකොට රාශි සංඥාව. මේ ඝනය බිඳෙන අවස්ථාවක් තිබෙනවා. ඒ බිඳෙන්න උපකාරවන්නේ නාමරූපය පිළිබඳ අවබෝධයයි. නාම රූපය පිළිබඳව අවබෝධයෙන්. දැන් අර සුනඛයා අර විධියට ඒදණ්ඩ උඩ ඉඳගෙන වල්ගය වන වනා ඉන්න අවස්ථාවේදී ටිකකටවත් සිතුවොත් මේ මගේ ම ඡායාවය කියලා ඒ වැඩේ නවත්තලා ඉවත්වෙලා යනවා නෙ. අන්න ඒ වගේ මේ නාමරූපය පිළිබඳ අවබෝධය ගැඹුරට යන්න යන්න එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නාමරූපය හරියට අවබෝධ කරගත්තොත් විඤ්ඤාණය එතනම නිරුද්ධ වෙනවා කියලා.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X