ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

චතුරාර්ය සත්‍ය - ධර්මාවබෝධය 2

ඕඝ තරණය

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි

"එක තැනක ඉන්න විට මනස තුළ තොරතෝංචියක් නැතිව, දුව, පුතා, ගෙවල් ,දොරවල්, රන් , රිදී, මුතු, මැණික් කියලා, ගම් නියමිගම්, රටවල් පිටින් ගොඩ නඟලා පෙන්නන මනෝමය චිත්‍ර ටිකත් එක්ක තියෙන නිමිති ටිකට තමයි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ කියන මෙන්න මේ ටික කිව්වේ"

ගඩොල් , වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය සහ ඒ තුළ ඇඳපු චිත්‍රය කියන මට්ටමේ රූප ටිකකුයි ඒනිසා පුද්ගල සත්ත්ව සංඥා තමන්ගේ මනසෙයි තියෙන්නේ කියල බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් සැමදාම තිබුණු ඇත්තක්. නමුත් ඒ සිද්ධිය වන තැනක ඒ ඇත්ත සිද්ධිය පෙනෙන්නේ නැතිව තියෙන්නේ ලෝකයා, අනාත්ම වූ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ඇතිවෙන මේ කෙලෙස් ටික හඳුනාගන්නේ නැතිව බිත්තිය අතගාන “කෙනා’ කියලා. බිත්තියට පැනලා ඉන්නේ පළඟැටියෙක් වගේ. දුක උපදවාගෙන දුකට පැනලා මේ ඉන්නේ. බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහළ වුණේ මේ කරන වැරැද්ද පෙන්වන්නයි. ඇස අනාත්මයි නම්, රූපය අනාත්මයි කියලා දකින්න සුදුසුද කියලා අහනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා කුණුප කොටස් ටිකක් පිහිටලා තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනවිටම මම කියන හැඟීම ඇතිවන්නේ නම් මම කියන හැඟීමෙන් මේ රූපය අතගාන්න සුදුසුද? සුදුසුද මගේ අත අතගාන්න? සුදුසුද මේ කය මම කියලා පිරිමදින්න? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රයක් ඇන්දහම මේ මම කියන හැඟීම පින්වතුන්ට ඇතිවුණොත් මේ මම කියලා අතගාන්න සුදුසුද? ගඩොල්, වැලි වලින් කළ බිත්තිය? නැත්නම් එහි ඇඳි චිත්‍රය අතගාන්න සුදුසුද? පත්තර කඩදාසියක මේ හැඟීම් ටික තියෙනවා නම් මේ මමනේ කියන හැඟීම එයි. තමන්ට අතගාන්න සුදුසුද? එහෙම සුදුසු, නුසුදුසු නෙමෙයිද? එහෙමනම් බුදුපියාණන් වහන්සේ මහණෙනි, ඇස අනාත්මයි, රූපය අනාත්මයි, චක්ඛු විඤ්ඤාණය අනාත්මයි නම් මම මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද කියලා බොහොම කරුණාවෙන් විමසනවා නේද? ඇයි එහෙම අහන්නේ? නිත්‍යයද? අනිත්‍යයද? රූපය නිත්‍යයද අනිත්‍යයද ? චක්ඛු විඤ්ඤාණය නිත්‍යයද අනිත්‍යයද? “අනිච්චං භන්තෙ” යමක් අනිත්‍යයයි නම් ඒක දුකද? සැපද? දුකයි. යමක් දුකයි නම් ඒක මම හෝ මගේ ආත්මය හෝ කියලා දකින්න සුදුසුද? එමනිසා මෙබඳු අනාත්ම ධර්මයක් නිසා ප්‍රපංච ටික මේක පිරිමදින්න සුදුසුද කියලා අහන්නේ? බලන්න, අහන වචනය අනාත්ම වූ බිත්තිය නිසා කෙනෙක්, පුද්ගලයෙක් කියලා ප්‍රපංචයක් මගේ මනසෙ නම් ඇතිවුණේ බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙක් , පුද්ගලයා කියලා බිත්තිය දකින්න සුදුසු ද කියලා අහනවා.
එහෙමනම්, මේ ස්පර්ශ ආයතන හයම නිසා මගේ රූපෙ, මගේ ශබ්දය, මගෙ ගන්ධය, මගෙ රස, මගේ ස්පර්ශය මගේ සිතිවිලි කියලා හය නිසාම සිහිවෙනවා නම් ඔය මගේ කියන ගතියෙන් ආයතන ටික පිරිමදින්න සුදුසුද? මේ දුක් වූ ස්පර්ශ ආයතන හය දුක්ඛ සත්‍යනම් ඒ නිසා ඇතිවූ මාන්‍ය. මම, මගේ කියන ප්‍රපංච ටික මනසේ ඇතිවූ කෙලෙස් ටික නම් මේ කෙලෙස් ටිකෙන් මේ ස්කන්ධ ටික පිරිමදින්න සුදුසුද? කියලා අහනවා. මේ ආයතන එකක්වත් තමන්ද? තමන්ගෙද? තමන්ගේ ආත්මයද ? අනාත්මයි. අනාත්ම වූ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච ඇතිවෙන්න පුළුවන්. මම කියන හැඟීම ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවෙන්නේ ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසයි. මම කියන හැඟීම ඇතිවෙන විට ඇතිවූ හේතුවට යන්න.
බල්ලෙකුට ගලකින් ගැහුවම බල්ලා ගල හපා කනවා. සිංහයෙකුට ගලකින් ගැහුවහම ඌ ගල ආවෙ කොහෙන්ද? කියලා බලනවාලු. බල්ලාට ගලකින් ගැහුවා වගේ ධර්මය නොදන්නා අශ්‍රැතවත් පෘතග්ජනයාට හිතේ නිමිත්තක් ඉපදුනහම ඒ නිමිත්ත අල්ලා ගන්නවා. දරුවා කියලා සිහිවුණොත් ඒක ටක් ගාලා ඇත්තයි කියලා අල්ලා ගත්තා. අනේ! දරුවා කෑවද දන්නේ නැහැ. බිව්වද දන්නේ නැහැ. කියලා එක්කෝ දරුවා ලෙඩ වුණා. මගේ දරුවා හොඳයි. විභාග පාස් වුණා. පළවෙනියා වුණා. ඔන්න සතුටුයි. එහෙම නැත්නම් දරුවා තියෙන තැන ලෝභ, ද්වේශ, මෝහ එහෙම නැතිනම් තව කෙනෙක් මේක අනිත්‍යයයි නේද , මේක දුකයි නේද, මේක අනාත්මයි නේද, මේක විතර්කයක් නේද, මේක සිතිවිල්ලක් නේද කියලා අල්ලා ගන්නවා. දෙන්නම හපාකාලා තියෙන්නේ ගල. දෙකම එකයි. "මම" කියන්නේ ගිනි ගොඩක් ඇතුළේ ඉන්න කෙනා නොපිච්චී ඉන්න උත්සාහවන්ත වුණත්, නොවුණත් දෙන්නම පිච්චෙනවා කියලා. ගිනිගොඩක් ඇතුළේ නම් ඉන්නේ එහාට මෙහාට පැන පැන කෙනෙක් නොපිච්චි ඉන්න උත්සාහවන්ත වෙනවා. පිච්චෙනවද? නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැහැ. අත්දෙක බැඳගෙන සිටියොත් ඒත් පිච්චෙනවා. මේ නිමිත්ත භවය කියාගෙන බාහිර අම්මා, තාත්තා , දරුවා ඉන්නවා කියන අදහසින් සිහි කරගන්නවා. කිසිම උත්සාහයක් නැතිව අත්දෙක බැඳගෙන ඉන්නවා වගේ තමයි නිමිත්තට අනුගතව සිත යනවා. අනේ! දරුවා මෙහෙමයි, මෙහෙමයි කිය කියා පිච්චෙනවා. එයා ජරා, මරණ, දුක් විඳිනවා. ගිනිගොඩ ඇතුළේ එහාට මෙහාට පැන පැන ඉන්නවා වගේ මේක නිමිත්තක් නේද ,මේක විතර්කයක් නේද? මනෝ සම්ඵස්සයෙන් හටගත්ත එකක් නේද, ස්පර්ශය නැතිවෙන විට නැතිවෙනවා කියලා දැන් නොපිච්චි ඉන්න උත්සාහවත් වෙනවා. හැබැයි, තවම අවිද්‍යාව ඇතුළේ. තවම ගිනිගොඩ ඇතුළේ එයා පිච්චෙනවා. මෙහෙම බැලුවට තවම අම්මා , තාත්තා ඉන්නවා තියෙනවා කිය කියා තැනකින් දුක් විඳින්න පුළුවන් කියන එක එහෙමයි. ඇස අවිද්‍යාව නිසා හටගත්ත දෙය ඇතුළේ බැලුවා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාරය තුළ අවිද්‍යාව නැති කරන්න පුළුවන් කියලා හිතනවාද?
එහෙමනම් හැම වෙලාවෙම මෙයා කළ යුත්තේ කුමක්ද? ගිනිගොඩ ඇතුළේ උත්සාහවත් වුණොත් නොවුණොත් දෙකම පිච්චෙනවා වගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් දේ තුළ උත්සාහවත් වන්නේ නැහැ. “කථංසු මාරිස ඕඝං තරති” එක දෙවියෙක් ඇවිල්ලා අහනවා “ඔබ වහන්සේ ඕඝය තරණය කළේ කෙසේද? කියලා ? මම, පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළා කියනවා. ජලයට වැටුණු කෙනෙක්, ගැඹුරු වතුරකට වැටුණු කෙනෙක් ගිලෙන්නේ නැතිව ඉන්න නම් කුමක් කළ යුතුද? අත් ගගහා වෑයම් කරකර ඉන්නවා වගේ නේද? වෑයම් කරකර හිටියොත් මොකද වෙන්නේ? උඩට වෙලා ඉන්න පුළුවන්. ඒත් ඒක දුක් සහිතයි. වෙහෙස සහිතයි. බොහොම සැපෙන් නම් ඉන්නවා නෙමෙයි. ඒත් යට යනවා. බැරිවෙලා වෑයම් නොකළොත් ඒත් මැරෙනවා. කෙනෙක් උත්සාහවත් වෙලා ගිලිලා මැරෙනවා. කෙනෙක් උත්සාහවත් වෙන්නෙත් නැතිව ගිලිලා මැරෙනවා. ඒ හින්දා උත්සාහවත් වෙන්නෙත් නැතිව නොවෙන්නෙත් නැතිව උත්සාහවීමෙන් දොස් දැක්කා. උත්සාහවත් නොවීමෙන් දොස් දැක්කා. දැකලා උත්සාහ වෙන්නෙත් නැතිව නොවෙන්නෙත් නැතිව ඕඝය තරණය කළා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ ඇතිවන නිමිති ටික නැත්නම් මේ රාග, ද්වේශ, මෝහ කියන කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ , අවිජ්ජා ඕඝ කියන මේ ඕඝ ටික තමයි මනසේ තියෙන්නේ. කෙනෙක් මොකද කරන්නේ, වෑයම්ද නොකර ඉන්නවා කියලා කියන්නේ, මේකෙන් මිදෙන්න වෑයම් කරන්නේ නැහැ. දුව, පුතා, අම්මා , තාත්තා, කියලා සිහිවෙනවිට ඒක ඇත්තමයි කියලා ඔහේ ඒකට අනුගතව ඉන්නවා. ඒ නිසා වෑයම් නොකර ඉන්නවා තියා ඒකෙම ගිලෙනවා. එයා ඔන්න ගිලෙනවා.
කෙනෙක් වෑයම් කරනවා මේකේ, ඕඝය තුළ , මේ සිතට පහළවෙන කාම ඕඝ, භව ඕඝ, දිට්ඨ ඕඝ, අවිජ්ජා ඕඝ කියන ගති ටික මේක අනිත්‍යයි නේද, මේක නිමිත්තක් නේද, මේක සංඥාවක් නේද, මේක විතර්කයක් නේද, මේක ස්පර්ශයකින් නේද හටගත්තේ , මේ විදියට විතර්ක පහළ කර කර ඉන්නවා. ඒත් ඕඝය ඇතුළේ වෑයම් කරනවා. ඒක ද වෙහෙසිලා වෙහෙසිලා, ඒත් ජරා, මරණ, දුකට පත්වෙනවා. අවිද්‍යාව හිඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඕඝයට වෑයම් කරලා හෝ වෑයම් නොකිරීමෙන් වෙහෙසකට ම පත්වෙනවා කියලා. ඒ නිසා වෑයම් කරන්නෙත් නැතිව, නොකරන්නෙත් නැතිව ඕඝය තරණය කළා කියලා කිව්වේ, මේ සඳහා කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ, පීනුවා, මේක එන විටම අතහැරලා ගියා, කොහාටද? දුක පිරිසිඳ දකින තැනට , අවිද්‍යාව දුරු කරන තැනට,
දරුවා කියලා, ගෙදර කියලා, අම්මා කියලා, තාත්තා කියලා, කාම ඕඝය “අරෙහේ අපේ ගේ තියෙනවා, මේ කොහුවල නගරය, අරෙහේ අනුරාධපුරේ කියලා, මෙහේ කුරුණෑගල, මෙහේ නුවර” කියලා බාහිර ගම් නියම්ගම් නගර පිටින් පෙනෙනවා, භවය, කාම ඕඝ, භව ඕඝ, පුද්ගලයෝ ඉන්නවා, සත්ත්වයො ඉන්නවා කියලා දිට්ඨි ඕඝ, මේකේ ඇත්ත නො දන්නාකම අවිද්‍යා ඕඝ, මේ ටික ඔක්කෝම මනසේ, මේ ඕඝය ඇතුළේ මුළු ලෝකයේ ම කොටසක් වෑයම් කරනවා. කොටසක් වෑයම් නොකරනවා. වෑයම් නොකරන කෙනාද පෘථග්ජනයි කියනවා, වෑයම් කරන කෙනා බණ, භාවනා කරනවා කියනවා, ඒත් දෙන්නාම ඕඝය ඇතුළේ.
ඕඝය ඇතුළේ වෑයම් කරන කෙනයි, නොකරන කෙනයි දෙන්නාගේම දොස් දැකපු නිසා බුදුරජාණන් වහන්්සේ වෑයම් ද නො කරමින් , පිහිටා ද නොසිටිමින් ඕඝය තරණය කළා මිසක, මේ ඕඝය හදන්න ගියේ නැහැ. ඕඝය ඇතිවූ හේතුවටයි ගියේ. සිංහයෙකුට ගලකින් ගැහුවහම ගල ආපු පැත්තට ගියා වගේ, ඒ ගල ආවේ කොහෙන්ද කියලා බලනවාලු. ඕඝය හටගත්තොත්, “දරුවා” කියන අදහස ඇති වුණොත්, ඒ “දරුවා” නැති කරන්න වෑයම් කරන්නෙත් නැහැ. ඒක ඇති කරගෙන රාග, ද්වේෂ, මෝහ ඒකට අනුගත වෙලා යන්නෙත් නැහැ. පිහිටා හිටින්නෙත් නැහැ. වෑයම් කරන්නෙත් නැහැ. සිහිවෙන විටම කළේ කුමක් ද, ඕඝය තරණය කළා. ටක් ගාලා ඕඝය අතහැරියා, ගියා අනික් පැත්තට භවයට, ඒ කියන්නේ දරුවා කියලා සිහිවෙද්දිත් ඒත් බලන්න කියලා ගියොත් මෙන්න මේ වාගේ ඇත්තක් ඇස් ඉදිරිපිටට එයි නේද, එදාටත් මේ ඕඝය, මේ ගතිය මනසේ යෙදෙයි නේද? ගියා අනික් පැත්තට, අතීතයට ඇත්තට ම කෙනා කියලා හම්බ වූ , දරුවා කියලා සිහිකරන්න පුළුවන් මේ හැකියාව ආපු තැන සැබෑවටම තිබුණේ මෙහෙම රූපයක්. ඒ රූපය ඇසුරු කරගෙන තිබුණු චිත්‍රය දකින විට මනසේ නේද මේ ගතිය හටගත්තේ කියලා දැක්කා. එතකොට මෙයා ඒ ඕඝය තුළ පිහිටලා හෝ වෑයම් කරලා තියෙයිද?
කාට හරි පුළුවන් නම් ඕඝය තුළ පිහිටා ද නොසිටිමින්, වෑයම් ද නොකරමින් ජීවත් වෙන්න, එයා නොබෝ දිනකින් ආශ්‍රවක්ෂය කරගන්නවා. මේ සද්ධර්මය දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැරෙන්න, කිසිම කෙනෙකුට මේ ඕඝයේ පිහිටලා ඉඳිමින් හෝ වෑයම් ද කරමින් ඕඝය තරණය කරන්න බැහැ කියන එක හොඳට මතක තබා ගන්න. ඕඝය තුළ ඉඳගෙන වෑයම් කරන කෙනාත්, ඕඝය තුළ පිහිටා ඉන්න කෙනාත් දෙන්නාම ඕඝය තුළ ම ගිලිලා මැරෙනවා මිසක් ඕඝය තරණය කරන්නේ නැහැ. ඕඝය තරණය කරන කෙනා ඕඝය තුළ වෑයම් ද නොකරමින්, පිහිටා ද නොසිටිමින් , විය යුතුයි.
එක තැනක ඉන්න විට මනස තුළ තොරතෝංචියක් නැතිව, දුව, පුතා, ගෙවල් ,දොරවල්, රන් , රිදී, මුතු, මැණික් කියලා, ගම් නියමිගම්, රටවල් පිටින් ගොඩ නඟලා පෙන්නන මනෝමය චිත්‍ර ටිකත් එක්ක තියෙන නිමිති ටිකට තමයි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ කියන මෙන්න මේ ටික කිව්වේ. ඔය ටික ඇතුළේ මොන විදිහටවත් වෑයම් කරන්නත් එපා. අනිත්‍ය බලමින්, දුක් බලමින් , අනාත්මය බලමින් ඉන්නත් එපා. වෑයම් නොකරමින් ඉන්න එපා, ඒ කියන්නේ ඒකට අනුගත රාග, ද්වේෂ, මෝහ ඇති කරගෙන එහේ ඉන්න එකට තමයි වෑයම් නොකරනවා කියලා කිව්වේ. වෑයම් කළත් , නොකළත් දෙන්නාම එකම තැනයි. මේ සාසනයට මෙච්චර කාලයක් වුණෙත් ඒ ටිකමයි.
ඒ නිසා මතක් කරනවා ඕඝ තරණ සූත්‍රය. අද මේ පින්වතුන් යන්න ඕඝ තරණය සඳහා. මේ ඕඝය තුළ වෑයම් ද නොකෙරෙමින්, පිහිටා ද නොසිටිමින්, ඕඝය තරණය කරලා සංසාර දුක නිමා කරගන්න කියන එක පින්වත් ඔබට බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව ඔබ සැමට හේතු උපනිශ්‍රය වේවා!

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X