ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලාව 3.

නරකයට යන උවදුරු කිසිත් නොකරනු නිරතුරු

ලිපි මාලා අංක – 11

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

පසුගිය ඉල් අව අටවක පොහෝ දිනයේ පළවුණ ලිපියෙන් අප සාකච්ඡා කළේ වේළුනද නරකයේ පටන් ගීතග්ගි නරකය දක්වා නිරිසතුන් විඳින දුක්ගැහැට විමසා බැලීමටයි. අද දින ද තවත් එබඳු නරකයන් කිහිපයක් පිළිබඳ කෙටියෙන් විමසා බලමු.
ද්වේෂ සිතින් යුක්තව විහාර, චෛත්‍ය, බෝ මළු ආදිය ගොනුන් ලවා මළ – මුත්‍ර කරවීම හා වෙනත් ක්‍රම මගින් අපවිත්‍ර කළ අය ගෝමුතක්ක නම් නිරයේ ඉපිද දුඟද වෑහෙන ශරීරවලින් යුක්තව බොහෝ දුක් විඳිති. විහාර චෛත්‍යය ,බෝ මළු ආදියෙහි තමාම මළ මුත්‍ර කොට අන් අයට ඒවාට ඇතුල්වීම පිළිකුල් වන අයුරින් කටයුතු කළ අය හා ඉඳුල් කැළිකසළ දමා මළු පෙත්මන් අපවිත්‍ර කළ අය හා බුලත් කෙළ ගසා මළු අපවිත්‍ර කළ අය උපදින්නේ මුත්තකාරිසග්ගී නම් නිරයෙහිය. එහි උපදින නිරි සතුන් ගින්නෙන් දැවෙන අතර එයින් බේරීමට අසූවියෙහි හා මළ මුත්‍ර ගොඩවල ලගිති. සැඟවෙති. බෝමළු ,චෛත්‍යමළු, විහාරමළු ආදිය අපවිත්‍රව වල්වැසී තිබෙනු දැක . ඒවා පිරිසුදු කිරීමට සිත් නොවී සතුටු සිත් ඇතිවන අය මළ මුත්‍ර ආදියෙන් පිරුණූ දූසමලග්ගී නම් නරකයෙහි ඉපිද දුක් විඳිති. තමන්ගේ මව්පියන්ට, ගුරුවරුන්ට ,ආචාර්ය,උපාධ්‍යායවරුන්ට, වැඩිහිටියන්ට හා ගරු කළ යුතු අයට ගරු නොකොට, සත්කාර සම්මාන නොකොට කටයුතු කළ අය නිතර ගිනිදැල්වලින් වටවී පවතින අනුපට්ඨිතග්ගි නම් නරකයෙහි ඉපිද දුක්විඳී.
විහාරසන්තක කොට්ට,මෙට්ට ඇඳ ඇතිරිලි හා වෙනත් භික්ෂූන්ට කැප දේ පරිහරණය කළ ගිහියන් ගිනිබෝලයන්ගෙන් සැදුම්ලත් කුම්මග්ගී නම් නරකයෙහි ඉපිද ඒ ගිනිබෝල කමින් අපමණ දුක් විඳිති . අන් අයට බොරු චෝදනා නගා ඒ අය කරදරයට පත්කොට සතුටු වෙමින් ජීවත් වූ අය හාත්පසින් ගින්නෙන් වට වූ අභූතග්ගි නම් නිරයෙහි ඉපිද දුක් විඳිති. ලජ්ජා ස්ථාන නොවසා හැසිරෙන නිර්වස්ත්‍ර තවුසන් ද විපරීත දෘෂ්ටි ඇතිව ලජ්ජස්ථාන පෙන්වමින් හැසිරුණූ අයද උපදින්නේ විපරීතග්ගී නම් නිරයෙහිය. එහි ස්වභාවය නම් ඔවුන්ගේ ඒ ලජ්ජස්ථාන නිතර ගින්නෙන් දැවීමයි. රා,අරක්කු, ආදී මත්වතුර පානය කළ අය වාසිතග්ගි නම් නිරයෙහි උපදින අතර එහි උපදින නිරිසතුන්ගේ ආහාරය වන්නේ ගිනිදැල්ය. තේලග්ගී නම් නරකයෙහි උපදින්නේ ප්‍රතිමා චෛත්‍ය හා බෝධින් වහන්සේලා අභියස පහන් දල්වා එම ස්ථාන අපිරිසුදු කළ අයයි. තෙලින් යුක්ත ඒ නිරිසතුන්ගේ ශරීර නිතර ගින්නෙන් පිපිරී පිපිරී දැවෙයි.
සිල්වත් – ගුණවත් භික්ෂූන් දැක පිළිකුලෙන් හෝ ක්‍රෝධයෙන් කාරා කෙළ ගැසු අය එම සිල්වතුන්ගේ තුවාල ආදිය දැක කාරා කෙළගසා දැමූ අය නුට්ඨුභීතග්ගී නම් නරකයෙහි ඉපිද අප්‍රමාණ වූ ගින්නෙන් දැවෙමින් දුක්විඳිති. පාප සිතුවිලි ඇතිව ස්ත්‍රීන් කෙරෙහි කටයුතු කොට හඬා වැළපී මැරුණු අය උපදින්නේ විරභිතග්ගී නම් වූ ගින්නෙන් වට වූ නරකයෙහිය. පන්සල් විහාර බෝ මළු චෛත්‍ය මළු කිළුටු කළ අය හා අනුන් ලවා කිළුටු කර වූ අය උපදින්නේ සයනග්ගී නම් නිරයෙහිය. එහි ස්වභාවය නම් නිරිසතුන්ට ගිනිදැල් මත නිදාගැනීමට සිදුවීමයි. අන් අය සතු බඩුමුට්ටු සොරාගත් අය පරභණ්ඩහර නම් නරකයෙහි ඉපිද ගිනිදැල් කමින් අපමණ දුක්විඳිති.
එකිනෙකාට පරුෂ වචනයෙන් බැනගත් අය හා චණ්ඩාලවාදයෙන් නිගා කළ අය ඵරුසග්ගී නම් කටින් ගිනි පිටවන නරකයෙහි ඉපිද දුක් විඳිති. කම් සැපයෙහි ගිජුව එයින් මුලාවූවන් හා ගෙහිමියන් හැරගිය භාර්යාවන් කෙරෙහි සෙනහසින් හඬා වැළපෙන පුරුෂයන් විලාසග්ගි නම් හිසින් ගිනි පිටවන නරකයෙහි ඉපිද දුක්විඳිති. එකිනෙකා කෙරෙහි දැඩි ක්‍රෝධයෙන් කටයුතු කළ අය කොධග්ගී නම් නිරයෙහි ඉපිද ක්‍රෝධ ගින්නෙන් දැවෙමින් දුක්විඳිති. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට, සිල්වතුන්ට ,ගුණවතුන්ට, දුගීමගී යාචකාදීන්ට කවටබස් දෙඩූ අය සිනා පිණිස බොරු කී අය හා පීඩාවට පත්කළ අය නිතර ගිනි පවතින භස්සාධිප්පාස නම් නිරයෙහි ඉපිද අනන්ත දුක් විඳිති. ගුණවතුන් හා සිල්වතුන් වෙහෙස වූ අය හා ඒ අය සමඟ අමනාප වූ අය ගණ වු ගිනි ඇති ඝටිතග්ගී නම් නිරයෙහි ඉපිද දැවෙමින් දුක් විඳිති.
දෙමාපියන් සතු දේපල ඉඩකඩම් ගහකොළ රන්රිදී මිළ මුදල් ආදිය රැගෙන ඔවුන්ට නොසලකා අලාභහානී කොට ගමින් නිවසින් නෙරපූ දරුවන් උපදින්නේ බුර බුරා ගිනිදැල් නගිමින් දවන උට්ඨාපිතග්ගී නම් නරකයෙහිය. තම ස්වාමිපුරුෂයාට නොසලකා කලට වේලාවට ආහාරපානාදිය නොදී සිටිය වුන්ද,අමනාපව නොසලකාහැරිය වුන්ද, දොස් පරොස්කීවෝද සත් දවස් ළිපේ අළු තිබිය දී අළු ඉවත් නොකොට බත් මාළු පිසුවන් ද අමනාපව ගෙය අපිරිසුදුව තිබෙද්දි එය නොසලකා මිනිසුන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළ ස්ත්‍රීන්ද දිලිසෙමින් උඩට එන ගිනි අඟුරු ඇති උද්ධනඡාරිකා නම් නරකයෙහි උපදිති. සිල්වත් මහණ බමුණන්ට වැඩිහිටියන්ට මග ඇහුරු අය ගිනිදැල් මැදින් ඇවිද යෑමට ඇති මංමාවත් ඇති පථනදායග්ගි නම් නිරයෙහි උපදිති. සිල්වත් උතුමන්ට නැති තැන දොස් කියමින් තැන තැන අපහාස කරමින් ඇවිදි අය ගිනිගෙන දැවෙන ශරීරයන්ගෙන් යුත් දිට්ඨානුතග්ගී නම් නිරයෙහි උපදිති.
සුප්පමූසලග්ගී නම් නරකයෙහි උපන් අය ගිනිගෙන දිලිසෙන මෝල්, කුළු, වට්ටි ගෙන තැන තැන කොටන්නාහ. පොලන්නාහ. එම ගින්නෙන් දැවෙන්නාහ.මහ හඬින් හඬ හඬා පැසෙති. මෙහි මෙසේ දුක්විඳින්නේ සහල් බත් බුලත් තැනින් තැන අනාදරයෙන් විසුරු අය,පැහැරගත් අය හා ස්වාමියාට නොදන්වා අන් සතු කළ භාර්යාවන් හා නොදන්වා විකුණා කෑවෝය. රත් වූ තෙලින් යුක්ත ශරීරයන් ඇති තෙලහත නරකයෙහි උපදින නිරි සතුන් පෙර භවයන්හි දෙමාපියන්ට සෙනහස නොකළා වූද ඇණුම් බැණුම් ආදි හරිහැර කළා වූද වෙති. යක්ඛග්ගී නම් වූ නරකය ගිනිගෙන දැවෙන නරකයන් වන අතර එහි උපන්නෝ යක්ෂයන් මෙන් ඔවුන්නොවුන් පිය කරවා ගනිති. මෙහි උපදින්නේ සිල්වතුන් හා ගුණවතුන් බිය ගන්වා ලෙඩ කළ අයයි.
බුදුන්, දහම්, සඟුන්, ගුරුන්, සිල්වතුන් ඉරසඳ, දෙමාපියන් සාක්ෂිකොට බොරු, කියා දිවුරු අය උපදින්නේ මුසග්ගි නම් නරකයෙහිය. නිතර එහි වසන නිරිසතුන්ගේ මුවින් ගිනිදැල් ශරීරය තුළට යෑම හා පිටවීම මෙහි ඇති ස්වභාවයයි. ආගමික වශයෙන් සිදුකරන පින්කම් ආදි විවිධ වැඩ කටයුතුවලින් අන් අය වැළැක්වූ අය, එබඳු දේ කරමියි කියා රට රවටා එයින් උපයාගෙන කෑවන් උපදින්නේ නිවාරිතග්ගී නම් වූ ගිනි අනුභව කරන නරකයෙහිය.
උරචක්‍රමාල නම් වූ නරකය වනාහි දකුණූ මුහුද අසල මුතුවැලි පන්තියක් මෙන් සතර වාසල් දොරින් යුත් ප්‍රාකාර පිරිවරා මහාමේරුවට දකුණු දිග පිහිටියේය. එය දුටුවන් සතුටු කරන මොනවට සැරසු අලංකාර නගරයක් බඳුය. මෙය දුටුවන්ට මමත් යමියි මමත් යමියි. කියා සිත් ඇතිවන්නේය. එසේ පිවිසෙන අයට එහි දී පළඳවන උරචක්‍රමාල නම් වූ පළඳනාවක් ඇත්තේය. එය ගෙළ ලූ සැනින් ඉබේම ක්‍රියාත්මක වී සියලු ශරීරය කැපී කුඹල් සකක් මෙන් කැරකැවෙමින් දෙපතුල් දක්වා වැටෙයි. මෙහි නිරිසතුන් හඬන හඬ අන්අයට ඇසෙන්නේ මිහිරි ගීතයක් ලෙසය. එම නිසා අන් අය ද අපටත් ඕනෑ අපටත් ඕනෑ යැයි පවසමින් එම උරචක්‍රමාලය ගෙන ඔවුන්ගේ ද ගෙල ලා ගනිති. එවිට පෙර සේම ඔවුන්ටද වෙයි. මෙයින් ගැලවීමක් නොමැත. මෙහි ඉපිද දුක් විඳින්නේ දෙමාපියන්ට තළාපෙළාගුටිබැට දී නොයෙක් ගැහැට හිරිහැර කොට දුක් දී පීඩාවට පත් කළ අයයි.
ශ්‍රමණතාප නම් නරකයෙහි උපදින්නේ බුදුසසුනෙහි පැවිදිව විනය ඉගෙන මහණදම් නොපිරුවෝය. මෙහි උපන් ශ්‍රමණ නිරිසතුන් ගිනිගත් පිදුරුගස් මෙන් දැවි දැවී අළුවෙති. මතුපිට පොරවා තිබෙන සිවුරු හා බඳපටි හා කරලා තිබෙන පාත්‍රය බුර බුරා ඇවිලෙන ගින්නෙන් දැවී අළු වෙයි. ඒ නිරිසත්තු ගිනි නිවා ගත නොහැකිව හඬ හඬා විලාප නඟ නඟා ඇතුළු ගබඩාවලට වදිති. එහිදී ඔවුන් තව තවත් දැවෙයි. ලද දෙයින් සතුටු නොවි ලාභාපේක්ෂාවෙන් කටයුතු කරමින් තුන්දොර අසංවරව කෙලෙස් කුණින් යුක්තව දුශ්ශීලව කටයුතු කරමින් සිල්වත් බව පෙන්වා අනුන් දෙන සිව්පසයෙන් යැපෙමින් මහණ දම් නොපුරා දිවා රෑ කෙළිදෙළෙන් ගතකළ එමෙන්ම ප්‍රතිපත්ති භාවනා මාත්‍රයක් හෝ නොකොට විසූ දර්ශනාදියෙන් කල් ගත කළ භික්ෂු, භික්ෂුණී , සාමණේර , සාමණේරී සික්ඛාමාතා යන මෙහි ඉපිද අනන්ත දුක් විඳිති.

ලිපි මාලා අංක – 12

අප විමසා බලනුයේ නිරිසතුන් විඳින අපා දුක් පිළිබඳවය.

රත් වූ යකඩයක් බෙල්ලේ බැඳි නිරිසතුන් වසන නරකය තිප්පකට්ඨ නරකය ලෙස හඳුන්වයි. මෙහි වසන නිරිසතුන් තල්ගස් ප්‍රමාණ උසවෙයි. යමපල්ලන් විසින් බිම දමන ලද නිරිසතුන්ගේ කටවල් රත් වූ යකඩයකින්ම ඈත් කොට ලෝදිය වත්කරයි. ඉවසිය නොහැකි වේදනාවකින් කෑගසන ඔවුන්ගේ මුළු සිරුරම මස් , නහර ගැලවී වැටෙයි. මෙහි උපදින්නේ සැදැහැති දායක දායිකාවන්ගේ සිව්පසය වළඳා බණ දහම් නොපුරා මළු පෙත්මන් ඇමදීම ආදී වත් පිළිවෙත් නොකොට අන්ධ බාලයින් සමඟ කෙළිලොලින් කල් ගෙවා මහණදම් නොපිරූ භික්ෂූ භික්ෂුණීන්ය.
කුක්කුටග්ගී නම් නිරයෙහි උපන් නිරිසත්තු ගින්නෙන් දැවෙන අතර කුකුලන්, බල්ලන් මෙන් එකිනෙකා පොරකති. මෙහි උපදින්නේ කුකුලන් කෙටවූවන්, බල්ලන් උසිගැන්වූවන් හා ඔවුන් විපතට පත්කළ වුන්ය. දාගැබ් මහබෝ මළුපෙත්මං ප්‍රතිමා මන්දිර පෙනෙන මානයේ කුඩ තල්පත් ආදිය ඉසලාගෙන ගියවුන් හා ඒවා ඉසලාගෙන එහි ඇවිද්ද වුන් පත්තග්ගී නම් ඉසට ගිනිදැල් කඩාවැටෙන නරකයේ ඉපිද දුක් විඳිති. ලාභූපක්කම නම් නිතර බඩසයින් පෙළෙන නිරයේ උපදින්නේ බුදුසසුනෙහි මහණව නැති ගුණ පෙන්වා කපටිකමින් හා බොරුවෙන් මිනිසුන් මුලාකොට ලාබ ලැබ අගතියෙන් දිවි පැවැත් වූ මහණුන්ය.අපච්චවෙක්ඛිතග්ගි නම් නිරයෙහි ඉපිද කෑමට ලැබුණූ දෙය පෙනි පෙනී විනාශවනවා දකිමින් බඩසයින් පීඩිතව සිටින නිරිසතුන්ගේ වාසස්ථානයයි. මෙහි උපදින්නේ සැදැහැති දායකයින් විසින් දුන් සිවුපසය ප්‍රත්‍යවේක්ෂා නොකොට පරිභෝග කළ අයයි.
යන යන තැන හිසට ගිනි කඩා වැටෙන ඡඩ්ඪීතග්ගි නම් නිරයෙහි උපදින්නේ තම ආචාර්ය උපාධ්‍යයන් හෝ දුර්වල අය වනයේ තනිකොට දමා පලා යන අයයි. දෙපැත්තින්ම ගිනිදැල් අවුත් පිළිස්සෙන උභයග්ගී නම් නිරයෙහි උපදින්නේ සිල්වත් ,ගුණවත් භික්ෂූන් විනාශ කිරීමට හානිකිරීමට උපක්‍රම යෙදූ අයයි. අධික තාපයකින් රත්වන ඕසක්කතාප නම් නිරයෙහි ඉපිද දුක් විඳින්නේ බුදුසසුනෙහි පැවිදිව තෙවළා දහම් ඉගෙන විනය, අවිනය කොට දක්වමින් අවිනය, විනය කොට දක්වමින් හා ධර්මය, අධර්මය කොට දක්වමින් හා අධර්මය ධර්මය කොට දක්වමින් බුදුදහමට නිගා කළ අයයි.
මහාසුනඛ නම් නිරයෙහි උපදින නිරිසතුන් සුනඛයින්ගේ ස්වරූපයෙන් යුක්තයි. නිසි අහරක් නොලබන ඔවුන්ගේ චර්යාවන් සුනඛයන්ගේ මෙනි. මෙහි උපදින්නේ තද මසුරන් හා සිල්වත්, ගුණවත් ආචාර සම්පන්න මහණ බමුණන්ට අක්‍රෝශ පරිභව කළ අයයි. බුදුසසුනෙහි පැවිදිව සිව්පස ලාභයෙහිම ගිජුව කල්ගත කළ භික්ෂූහු උපදින්නේ නිතර ගිනිගෙන දැවෙන කුලදූසනග්ගී නම් නිරයෙහිය. බුදුසසුනෙහි පැවිදිව කෙලෙස්වලට වසඟව වත්පිළිවෙත් නොකොට භාවනාදියෙහි නොයෙදී කලකිරීමෙන් කල්ගෙවු අය උපදින්නේ කෙලෙස් ගින්නෙන් තැවෙන කිලෙසග්ගී නම් නිරයෙහිය.
කාලහත්ථි නම් නරකයෙහි මහා කළුගල් සේ විශාල ඇත්තු ඇත. ඔවුන් විසින් එහි උපදින නිරිසත්තු ගිනිගෙන දිලිසෙන පොළවෙහි ගසා සුණු විසුණුකර දමති. මෙහි උපදින්නේ තුන් දොරින් රුදුරු පව්කම් කළ අයයි. ආගමික චාරිත්‍ර නිසි අයුරින් ඉටු නොකළ අය හා සඟසතු ලාභ අයුතු ලෙස බෙදූවන් උපදින්නේ ගිනි අනුභව කරන කුසග්ගී නම් නිරයෙහි ඉපදී අනන්ත දුක් විඳිති. සත්ව හිංසනය හා සත්ව ඝාතනය කළ අය මෙන්ම තිදොරින් රුදුරු අපරාධ කළ අය රත්වු අයෝමය පවුරින් වට වූ මහායත්න නම් නිරයෙහි ඉපදී අනන්ත දුක් විඳිති. ගුණවතුන්ට, සිල්වතුන්ට හා වැඩිහිටියන්ට හිංසා පීඩා කළ අය උපදින්නේ බුර බුරා නගින ගිනිදැල් ඇති සජෝති නම් මහා නිරයෙහිය.
ඵලමූලග්ගී නම් නරකයෙහි ස්වභාවය වන්නේ එහි විවිධ වර්ගයේ ගස් ඇති අතර එම ගස්වල පල වෙනුවට ඇත්තේ පලතුරු මෙන් සැදුණු ගිනිබෝලය. එහි උපන් නිරිසතුන්ට එම ගිනිබෝල ආහාරයට ගැනීමට සිදුවෙයි. මෙහි උපදින්නේ තමාට ලැබුණූ සිව්පසය අන් අයට නොදි ලෝභීව තමා පමණක් පරිභෝග කරමින් ජීවත් වූ භික්ෂූන් හා සාමණේරයන්ය. තමා සන්තක වූ වස්තු දේපල ආදි පිළිබඳ සිත් අලවාගෙන මිය ගිය අය උපදින්නේ ඉන්ද්‍රිය අගුප්තචර නම් පෙරභවයන් ගැන සිත සිතා නොකා නොබී ජීවත්වන නිරිසතුන් සිටින නරකයෙහිය.
මහණ බමුණන් දුගී මගී යාචකාදීන් බොරුවේ වංචා කොට යමක් තිබියදී නොදී මගහැරිය වුන් මෙන්ම තම ස්වාමියන්ට වංචා කළ සේවකයන්ද කිසි දිනක ආහාර නොලැබ සාගින්නෙන් පීඩිතව සිටින නිරිසතුන් ඇති සංසවක නම් නිරයෙහි උපදිති. බසින වුන් සීතලෙන් ගල් ගැසෙන තරම් සිහිල් දිය ඇති සීතනදී නම් නරකයෙහි ඉපදී අපමණ දුකට පත් වන්නේ අනුන්ගේ සම්පත් දැක ඊර්ෂ්‍යාවෙන් එම සම්පත් නැසුවෝ හා එම සම්පත් නැසීමට උපක්‍රම කළ වුවන් හා කුල දෙටුවන්ට නොසැලකූ අයයි.
දෙමාපියන් සන්තක දේපල බලෙන් හෝ කැමැත්තෙන් ලබාගෙන තමාගේ කැමැත්තට අනුව එම සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට නොසලකා ගෙයින් පිටමන් කළ වුන් උපදින්නේ මහග්ගීලෝම නම් ශරීරය පුරා ඇති විශාල ලොම් අගින් ගිනි පිටවන නිරිසතුන් ඇති නිරයෙහිය. මංමාවත්හි ගමන් කරන ජනයාට සැඟවී සිට පහර දී ඔවුන් සන්තක දේ සොරාගනිමින් මගියන්ට තාඩන පීඩන හිංසා කළ මං පහරන්නන් උපදින්නේ ශරීරයේ ප්‍රමාණය මෙන් හතරෙන් එකක් උස ඇති මංමාවතින් හෙබි යකඩින් නිම වු බිංගෙවල් ඇති අයොගුල්හ නම් නිරයෙහිය. මෙහි උපන් අයට තමාගේ ශරීරය තුනට හතරට නමාගෙන එහි ගුල්වලට වී ජීවත්වීමට සිදු වෙයි.
ගිනිඅඟුරු කඳු ඇති අංගාරපබ්බත නම් නිරයෙහි උපදින්නේ වස බෙහෙත් යෙදීමෙන් හා යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීමෙහි ප්‍රතිවාදින් මෙල්ල කොට මැරූවන් හා ඒ සඳහා අනුබල දුන්අයයි. එසේ කොට සත්ව ඝාතන කළ අයද මෙම නරකයෙහි ඉපිද ගිනි අඟුරු කඳු උඩට වී පිළිස්සෙමින් ජීවත්වීමට සිදුවෙයි. ඉබේ ක්‍රියාත්මක වන අවි ආයුධ වලින් අත් පා කැපෙන නිරිසතුන් වසන කුඨකාරි නම් නිරයෙහි උපදින්නේ තුලාකූට, කංසකූට, මානකූට ආදි අයුතු ක්‍රමවලින් වෙළෙඳාම් කරමින් අන් අය මුලාකාරමින් ජීවත් වු අයයි. පූජා භාණ්ඩ විකුණා කමින් ජීවත් වූ අය හතර වටින් ගින්නෙන් වට වු නපූජග්ගි නම් නිරයෙහි ඉපදී අනන්ත දුක් විඳිති.
මෙම ලිපියෙන් සතර අපායෙහි විස්තර වන නිරය හෙවත් නරකය පිළිබඳ විස්තරයන් අවසන් වන අතර සෙසු ලිපිවලින් ඉතිරි අපායන් වන ප්‍රේත තිරිසන් හා අසුරු යන අපායයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබේ. එයිනුත් පේ‍්‍රත ලෝකය පිළිබඳ ඊළඟ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු.

ලිපි මාලා අංක – 13

පේත අපාය යනු කුමක්ද?

යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ.
බුදුදහමට අනුව පුහුදුන් සත්වයා මරණින් පසු නැවත කුමන හෝ ආත්මයක ඉපදීම නිරන්තරයෙන් සිදුවන්නකි. කෙලෙස් නැසූ උතුමන් එනම්, බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ යන උතුමන් වහන්සේලාගේ නැවත සසරෙහි ඉපදීමක් නැත. සෙසු සියලු පුද්ගලයන් යම් ආත්මයක ඉපදීම සාමාන්‍ය සංසිද්ධියකි. පෙළ සාහිත්‍යයේ දී මිය ගිය සියලු දෙනා පොදුවේ හැඳින්වීමට යොදන නම ප්‍රේත යනුවෙන් හඳුන්වයි. "ඤාතිපේත" යනු ද ඊටම තවත් නමකි.

තෙ ච තත්ථ සමාගන්ත්වා, 
ඤාතිපෙතා සමාගතා, 
පහූතෙ අන්නපානම්හි, 
සක්කච්චං අනුමොදරෙ

ඒ අනුව මිය ගිය සියලු දෙනා ‘පේත’ යන වචනයෙන් හඳුන්වන අතර එහි තේරුම වනුයේ මිය ගිය, හැරගිය, පරලොව ගිය, වෙන් වූ යන අදහස මිස අප සාමාන්‍යයෙන් හඳුන්වන පෙරේත යන අදහසම නොවේ. ‘පේත’ යනු සතර අපායයන්ගෙන් ද එකකි. පේතවත්ථු යන ඛුද්දක නිකායට අයත් කෘතියෙහි සඳහන් වන්නේ මරණින් මතු මේ ‘පේත’ හෙවත් පහත් ආත්මයන් ලැබූවන්ගේ කථා පුවත් ය.
යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ. මෙසේ පරදත්තුපජීවී යන ප්‍රේත ස්වභාවය භවයක් විය නොහැකිය. එය තව කෙනෙකුගේ උදව් උපකාර අවශ්‍යව සිටින තාවකාලික ස්ථානයක්ය. සමහර අය පින් ලැබ වෙනත් භවයන් ලබති. සමහර අය පින් නොලැබ බොහෝ කාලයක් එහි පින් අපේක්ෂාවෙන් සිටිය හැකිය.
යම් ඥාතියෙකු මිය ගිය පසු ඔහු වෙනුවෙන් මිය ගිය දින සිට දින හතක් ගියතැන දානයක් පිරිනමා පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකු විසින්ම සිදුකරන වැදගත් කටයුත්තකි. මෙම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත බුද්ධකාලයේ සිටම පැවත එන චාරිත්‍රයකි. එය ආරම්භවූයේ බිම්බිසාර මහ රජතුමාගෙන් බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. එනම් එක් ආත්මයක අකුශල කර්මයක් කොට මියගිය රජතුමාගේ ඥාති පිරිසක් පින් ලබාගැනීමේ අපේක්ෂාවෙන් රජතුමා සොයා පැමිණීමයි. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි දන් දී පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව එම ඥාති පිරිස ඔවුන් සිටි පහත් ආත්මයෙන් මිදී සුගතිගාමී වී ඇත.
තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම සිද්ධිය අරමුණු කරගෙනය. එම සූත්‍රයේ සඳහන් වන්නේ යමෙකුගේ මරණින් මතු පැවැත්ම පිළිබඳ වූ සිද්ධි මාලාවකි. එය මෙසේ ය.

‘තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති, 
සන්ධිසිඩ්ඝාට කෙසුච, 
ද්වාරබාහාසු තිට්ඨන්ති,
ආගන්ත්වාන සකං ඝරං’

(මියගිය අය තමන් පෙර විසූගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද බිත්තිමුලු වල ද ගෙදර ආසන්නයේ ඇති තුන්මන් සන්ධිවල හා හතරමන්සන්ධිවල සැරි සරයි.)
මෙයින් පැවසෙන්නේ යමෙක් මියගිය මොහොතේම ඔහුට එම ගෙය අතහැර යෑමට නොහැකි බවයි. ඒ නිසා ඔහු කීප දවසක්ම තමා විසූ ඒ නිවස ආශි‍්‍රතව සැරිසරයි. එසේ වීමට හේතුව සමරවිට මියගිය පුද්ගලයා (විඤ්ඤාණය ශරීරයෙන් ඉවත් වූ පසු) තමා මියගොස් සිටින බව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වීමයි. ඔහුට දැනෙන්නේ තමා, තාම ජීවත්වන පුද්ගලයෙකු ලෙසය. බොහෝ විට ඔහු තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට උත්සාහ කරයි. එහෙත් ඔහු අන් අයට ඇසෙන්නේ ද පෙනෙන්නේද නැත. එහෙත් ඔහුට තමා වෙනුවෙන් හඬන, වැළපෙන හා විවිධ දේ කරන අය පෙනෙයි. තමා නිවසට හා නිවැසියන්ට (විශේෂයෙන් ඥාතීන්ට දක්වන) ආලය හා ආශාව අනුව නිවසෙහි තමාට අවශ්‍ය කාලයක් පෙර කී පරිදි තමන් පෙර විසූ ගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද, බිත්ති මුළුවල ද, ගෙදර ආසන්නයේ ඇති තුංමන් සන්ධිවල හා හතරමන් සන්ධිවල ද සැරිසරයි.
නිවැසියන් පින් පමුණුවන්නේ නම් (එම පින් ඔහුට අවශ්‍ය නම් හා පින් ලබාගත හැකි ස්ථානයක හෝ තත්ත්වයක සිටී නම්, ඒ පින් අනුමෝදන් වෙයි. එම පින්වලට අනුව හා තමා කළ කුශලාකුසල කර්මයන්ට අනුව දෙවන භවය සිදුවෙයි. එතෙක් එනම්, මෙසේ මිය යෑමේ සිට නැවත උපතක් ලබන ආත්මය දක්වා යම් කාලසීමාවක් තිබෙන බව මෙයින් නොපැවසෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. දින හතේ දී සිදුකරන පින්වලට අනුව යමෙකුගේ දෙවන භවයේ උපත සිදුවන්නේ නම් ඔහු සත් දිනක කාලයක් ගත කරන්නේ කුමන වේශයකින් ද යන්න තවත් ප්‍රශ්නයකි. මිය යෑමත් සමඟම, ඒ ක්ෂණයෙන්ම ඔහුගේ නැවත උප්පත්තියක් සිදුවන්නේ නම් ඔහු තමා පෙර විසූ නිවස වෙත යළි පැමිණෙන්නේ කුමක් නිසා ද, යන්න සිතා බැලිය යුතු ය. බොහෝ කුසල් කරමින් ධාර්මිකව ජීවත් වන අය නින්දෙන් පිබිදියකු මෙන් සුගතිගාමී වන බව විශ්වාස කළ හැකිය. එමෙන්ම බොහෝ අකුසල් කරමින් අධාර්මිකව ජීවත් වන අය මරණින් මතු දුගතිගාමී වන බව ද පිළිගත හැක. එහෙත් මෙය හැමෝටම පොදු වූවක් නොවේ. බොහෝ අයට සෙසු අයගෙන් උදව් උපකාර හෙවත් පින් අවශ්‍ය වෙයි.
මෙසේ මරණයත් – උපතත් අතර කාලයේ සිටින (අන්තරාභවයේ) තැනැත්තා සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන සියුම් මනෝමය සිරුරකින් යුතුව පාවෙන අයෙකු මෙන් සැරිසරන අයෙකු ලෙස සැළකිය හැකිය. එපමණක් නොව ඔහුට ආහාර ගැනීමක් හෝ පානයක් ගැනීම කළ නොහැක. එය තිරෝකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය.

‘පහූතෙ අන්නපානම්හි, 
ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ,
න තෙසං කොචි සරති, 
සත්තානං කම්මපච්චයා’

තමා පෙර සිටි නිවෙසෙහි අය කෑමට බොහෝ ආහාර පිළියෙළ කර තිබුණා ද ඔවුන්ට ඒවා කැප නොවෙයි හෙවත් කෑමට හෝ බීමට නොහැක. ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් අවශ්‍ය නම් දන් දී පින් අනුමෝදන් කිරීමකි. එය තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේ ය.

එවං දදන්ති ඤාතීනං, 
යෙ හොන්ති අනුකම්පකා, 
සුචිං පණීතං කාලෙන, 
කප්පියං පානභොජනං, 
ඉදං වො ඤාතීනං හොතු, 
සුඛීතා හොන්තු ඤාතයො’
මියගිය ඥාතීන් කෙරෙහි අනුකම්පා ඇති අය ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස පිරිසුදු, ප්‍රණීත හා කැපසරුප් ආහාරපානාදිය දන් දී පින් අනුමෝදන් කළ යුතු ය. ඊට හේතුව වන්නේ පින් අවශ්‍ය යමෙකුට මරණින් පසු පින් කිරීමට අවස්ථාවක් හෙවත් අවකාශයක් නැති බැවිනි. එපමණක් නොව, ඔහු උපතක් අපේක්ෂාවෙන් සිටි කාලසීමාව තුළ ඔහුට අවශ්‍ය පරිදි කිසියම් කටයුත්තක් කිරීමට නොහැකි බැවිනි. එහි ස්වභාවය තිරෝකුඩ්ඪ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.

න හි තත්ථ කසි අත්ථි, 
ගොරක්ඛෙත්ථ න විජ්ජති, 
වණිජ්ජා තාදිසී නත්ථි, 
හිරඤ්ඤෙන කයාක්කයං’

මෙයින් විස්තර වන්නේ මියගිය අය සිටින ස්ථානයන්හි හෙවත් ලෝකයන්හි සී සෑමක් හෙවත් ගොවිතැනක් ගවපාලනයක් වෙළෙඳාමක් හෝ රන්රිදී ආදියෙන් කෙරෙන කිසිදු ගණුදෙනුවක් හෝ නොමැති බවයි. මෙයින් කියවෙන පරිදි යමෙක් මිය යෑමෙන් පසුව ගත කරන ජීවිතය බාහිර සම්බන්ධතාවලින් හෙවත් මිනිස් ලොව මෙන් ජීවත්වීම සඳහා කරන අරගල වලින් තොර වූවකි. ඇත්තෙන්ම උපතක් අපේක්ෂාවෙන් සිටින එමෙන්ම ආහාරපානාදිය ගැනීමෙන් තොර සියුම් මනෝමය සිරුරකින් ජීවත්වන මේ අයට අවශ්‍ය වන්නේ පින් පමණි.
සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා, 
බලඤ්ච භික්ඛුන මනුප්පදින්නං, තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති,

ලිපි මාලා අංක – 14

ප්‍රේතියකට පින් අනුමෝදන් කිරීම

සද්ධම්මෝපායන නම් බෞද්ධ ග්‍රන්ථයේ පේත යන්නට අර්ථකථන සපයා ඇත්තේ මෙසේ ය. තමන්ගේ ම කර්මය විසින් වළකන ලද බත්පැන් ඇත්තාහු අනලස්ව සැනසීමක් නැතිව ආහාර සඳහා ඔබමොබ යෙතියි යන අදහස නිසා පේත නමින් හඳුන්වන බවයි. එහි සඳහන් පරිදි ප්‍රේත වර්ග හතරක් ඇත. එනම්,
01. නිජ්ඣාමතණ්හික 
02. ඛුප්පිපාසිකා 
03. පංසුපිසාචිකා 
04. පරදත්තුපජිවි

තමන් කළ කර්ම බලයෙන් ඇතුළත දැවෙමින් දුක්විඳින ප්‍රේතයෝ නිජ්ඣාමතණ්හික නම් වේ. සෙම් සොටු මල - මුත්‍ර ආදි පමණකුදු ආහාර නැතුව දුක්විඳින පේ‍්‍රතයෝ ඛුප්පිපාසිකා නමින් හඳුන්වයි. කසල ගොඩවල් ආදී අපවිත්‍ර තැන්වල ආහාර සොයමින් හැසිරෙමින් දුක්විඳින ප්‍රේතයෝ පංසුපිසාචිකා යන නමින් හඳුන්වයි. අනුන් දෙන ලද පිනින් ජීවත්වන ප්‍රේතයෝ පරදත්තුපජිවි නමින් හඳුන්වයි.
පේතවත්ථුවේ සඳහන් පරිදි ප්‍රේතයින් වී ඉපදීමට ප්‍රධාන වශයෙන් බලපාන පොදු හේතු සාධක මෙසේ ය.
සත්ත්ව ඝාතනය, ලෝභය හා තද මසුරු බව, ඊර්ෂ්‍යාව හා වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය, සඟසතු දේ අයථා පරිභෝගය, බොරුකීම හා බොරුවට දිවිරීම, අන් අය කරන පින්කම්වලට අකුල්හෙලීම, හොර තරාදි පඩි හා හොර මැනුම් භාවිත කරමින් වංචා කිරීම වැනි අකුසල් ය. පේතවත්ථුවේ සඳහන් කතාවන්ගේ සාරය ගත්විට එහි සඳහන් සියලු ප්‍රේතයන් ප්‍රේත ආත්මයන් ලැබීම සඳහා බලපා ඇත්තේ ඉහත සඳහන් කරුණුවලින් එකක් හෝ කිහිපයක්ය. මෙතැන් සිට පේතවත්ථුවේ සඳහන් පේ‍්‍රත ලෝකයේ කතා කිහිපයක් විමසා බලමු.
අන් අයගේ දරුවන් මැරූ පවින් තමන්ගේ ම පුතුන් කන ප්‍රේතිය සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක කෙළෙඹි පුත්‍රයෙක් එම ගම සමීපයෙන් ම එක් ස්ත්‍රියක් බිරිඳ ලෙස සරණපාවා ගත්තේ ය. කලක් ගතවූවත් දරුවන් නොලැබූ ඇය වඳ ස්ත්‍රියක් විය. ඔහුගේ දෙමාපියාදී ඤාතීන් පැමිණ වෙනත් ස්ත්‍රියක් සරණපාවා ගන්නා ලෙස ඔහුට ඇවටිලි කළහ. එහෙත් ඔහු තමාගේ බිරිඳ කෙරෙහි වූ දැඩි ස්නේහය නිසා එසේ නොකළාය. පසුව ඔහුගේ බිරිඳ ද ඔහුගේ කුල පරම්පරාව ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන් අවශ්‍ය බැවින් වෙනත් කාන්තාවක් සරණපාවා ගෙන එන ලෙස ඇවිටිලි කළ නිසා අකමැත්තෙන් වුවද වෙනත් කාන්තාවක් රැගෙන ආවේ ය. බිරින්ඳෑවරු දෙදෙනා ම මුල් කාලයේ සමගියෙන් විසූ අතර ටික කලක් යන විට පරණ බිරිඳට මෙසේ සිත් විය. එනම් ‘මැය දරුවන් ලැබ ගෙදර ප්‍රධාන තැන ගත්විට මා හට අයත් වන්නේ ගෙදර දාසියක්ව වැඩ කිරීමටය. එබැවින් මැය දරුවන් නැත්තියක් කරන්නෙමි’යි යනුවෙනි. මෙසේ සිතූ ඇය දෙවන බිරිඳ ගැබ්ගත් බව දැන ආහාරයට විෂක් යොදා ගැබ හෙළීමට කටයුතු කළා ය.
ටික දිනකින් පසු අතිශය දුකට පත් දෙවන බිරිඳ ලේ සහිතව ගැබ හෙළීය. මෙය පරණ බිරිඳගේ ක්‍රියාවක්යැයි දැන ඇය තම දෙමාපියන්ට දැන්වීය. පසුව දෙමාපියන් පැමිණ මේ අපරාධය පිළිබඳ ඇගෙන් විමසීය. එහෙත් ඇය එය නොපිළිගත් බැවින් දිවුරන්න යැයි පැවසූහ. එවිට ඇය දිවුරා කියා සිටියේ තමා එබඳු කටයුත්තක් නොකළ බවත්ය. එසේ කළේ නම්, මතු උපදින ආත්මයන්හි දුගතිගාමීව ආහාරපානාදිය නොලැබ දිනකට පුතුන් දහදෙනෙක් බිහිකොට එයින් පසදෙනෙක් උදේටත් තවත් පස්දෙනෙක් සවසටත් වශයෙන් අනුභව කරමින් දුර්ගන්ධය වහනය වන ශරීරයෙන් යුක්තව නිතර නිල මැස්සන් වසන ලද ශරීරයක් ලැබෙන්නේ ය. යනුවෙන් දිවුරා තමන්ට ම ශාප කරගත්තාය.
මෙසේ ටික දිනක් ගත වීමෙන් තමා කළ අකුශල කර්මය නිතර සිහිවීමෙන් ඉවසාගත නොහැකිව ලෙඩ වී මරණයට පත්ව ඇය අන් අයට මුසා බස් දොඩා තමාම රවටා, තමාට ම දිවුරා ශාප කරගත් පරිදි ඒ අසල ම නිල මැස්සන් වසාගත්, දුර්ගන්ධය හමන, ශරීරයෙන් යුක්තව ලෙයින් වැකුණු ශරීර ඇතිව සා පිපාසාදියෙන් පීඩිතව පුතුන් කමින් ජීවත්වන පේ‍්‍රතියක්ව උපන්නා ය.
එකල්හි ජනපද වාසී වූ භික්ෂූන් වහන්සේලා අටනමක් වස්කාලය ගත කොට එය නිමවා බුදුරජාණන් වහන්සේ දැකීමට වන මැදින් වැඩම කරනුයේ ගමන් මහන්සිය නිවා ගැනීම සඳහා මහත් සෙවන ඇති ගසක් මුල වැඩ හුන්හ. එම අවස්ථාවේ එතනට පැමිණි නග්න වූ, අප්‍රසන්න දැකීම් ඇති, දුර්ගන්ධය වහනය වන තමා වැදූ පුතුන් කන මේ ප්‍රේතිය දුටහ. මෙසේ අප්‍රසන්න ගති ඇති මේ ප්‍රේතියගෙන් එක් තෙරනමක් මෙසේ විචාළහ. නග්න වූ, දුර්වර්ණ ශරීර ඇති ඔබේ ශරීරයෙන් දුර්ගන්ධය වහනය වෙයි. නිල මැස්සන් පිරිවරා ඇත. මෙසේ අප්‍රසන්න වූ ඔබ මෙහි සිටින්නේ කා උදෙසා ද?
එවිට ඇය පවසනුයේ ‘ස්වාමීනි මම ප්‍රේතියක්මි, මා විසින් කළ පව්කම් නිසා දුගතියෙහි ඉපිද දුක්විඳ කර්මය ක්ෂය නොවූ බැවින් ප්‍රේතියක්ව ඉපිද එම කර්ම විපාක ගෙවමි’ යනුවෙනි.
මම උදේට පුත්‍රයන් පස්දෙනෙක් ද, සවසට පුත්‍රයන් පස්දෙනෙක් ද බිහිකරමි. උදේ බිහිකරන පස්දෙනා උදේ ආහාරයට ගනිමි. සවස බිහිකරන පස්දෙනා සවස ආහාරයට ගනිමි. එහෙත් මාගේ සා පිපාසාව නොසන්සිඳේ. මාගේ ශරීරය අභ්‍යන්තරයෙන් නිතර දැවෙයි. දුම් දමයි. කෑම බීමට කිසිවක් නොලැබෙයි. ඒ මා විසින් කළ අකුශල කර්මයේ බලවත්කම නිසා ය.
එය ඇසූ භික්ෂූන් වහන්සේ ඇය මෙවැනි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට හේතුව අකුශල කර්මය විමසයි. මෙසේ තමන් විසින් ම බිහි කරන පුතුන් කෑමට තරම් සාහසික වීමට ඔබ කයෙන් කළ අකුශල කර්මය කුමක්ද? වචනයෙන් කළ අකුශල කර්මය කුමක්ද?
“පෙර අත් බවයේ මාගේ ස්වාමියා විසින් රැගෙන එන ලද අනෙක් බිරිඳ දරු ගැබක් ලත් කල්හි ද්වේෂයෙන් මඩනා ලද සිත් ඇත්තේ ඊර්ෂ්‍යියාවෙන් යුක්තව ඇගේ දරු ගැබ හෙළීමට ආහාර සමඟ විෂ යෙදුවාය. දෙමසක් වූ ඇගේ දරු ගැබ ලේ සහිතය. ඇයට අතිශය දුක් පමුණුවමින් හෙළීය. ඇගේ දෙමාපියන් පැමිණ මා විමසන කළ ඔවුන් බොරුවෙන් වංචා කොට රැවටුවෙමි. ඔවුන් මා හට දිවුරන්න යැයි කිවූ කල එසේ මා ඔවුන් වංචාකොට එසේ මා කළේ නම් මෙසේ වන්නේයැයි දිවුරුවෙමි. එහි ප්‍රතිඵල මා මෙසේ වඳිමි” යනුවෙන් ප්‍රේතිය දුක් මුසුව පැවසුවා ය.
මෙසේ තමාගේ කර්ම විපාක පවසා දුක් මුසු වූ ඇය එම භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා ය. ස්වාමීනි, මම ඒ අපරාධය කළේ මේ ගමෙහි ම අසවල් ගෙදර ස්වාමියාගේ බිරිඳටය. එබැවින් ඔබ වහන්සේලා ඒ නිවසට වැඩම කොට එහිදී දන් පිළිගෙන කරුණු පහදා දී මා හට පින් අනුමෝදන් කළහොත් මා මේ දුක්ඛිත ප්‍රේත අත් බවෙන් මිදෙන්නේ ය.’ යනුවෙන් පැවසුවාය. ඒ ඇසු තෙරුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන් වහන්සේලා දැක පැහැදී උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ප්‍රේතිය පිළිබඳ සියලු පුවත් ගේ හිමියා ඇතුළු පිරිසට දේශනා කළහ. එයින් කම්පාවට පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළහ. පින් අනුමෝදන් වූ ඇය ප්‍රේත අත් බවින් මිදී මහත් සම්පත් ලැබ රාත්‍රියෙහි ගෙහිමියා වෙත පැමිණ ඔහු ඇතුළු පිරිසට ප්‍රශංසාකොට ගොස් ඇත.
තෙරුන් වහන්සේලා ද ක්‍රමයෙන් සැවැත් නුවරට පැමිණ බුදුරජාණන් වහන්සේට සිදු වූ සියලු පුවත් සැළකළහ. බුදුරජාණන් වහන්සේ එය අරමුණු කොටගෙන රැස් වූ පිරිසට දහම් දෙසූහ. බොහෝ දෙනාට ධර්මාභිසමය විය.

ලිපි මාලා අංක – 15

දානයට ගැරහීම ප්‍රේත අත් බවට හේතුවකි

මහාපේසකාර පේතවත්ථුව

අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේසකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය වැළඳීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන් වහන්සේලා ද ඔවුන්ගේ ඉල්ලීම ඉවසූහ. එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.

එහිදී ප්‍රධාන පේෂාකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් තබාගෙන දෙනමට ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වූවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවා ය. ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේසකාරයා ඇගේම කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේ ය. ඇය බොහෝ සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය. මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේසකාර ගමෙහි පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍ර ද පිළිගැන්වූහ. තම ස්වාමියා පින්කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ ශාප කළා ය. එනම් “ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළමුත්‍ර වේවා! පාන වර්ග ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා ! යනුවෙනි.
කලක් ගතවීමෙන් ඒ පේසකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත් ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේ ය. ටික කලකින් ම ඔහුගේ ලෝභි බිරිඳ ද මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති විරූපී ප්‍රේතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ ස්වාමීනී, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍රද දුන්නේ ය. ඇය ඒ ආහාර පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය. ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.
ඒ සමයෙහිම එක්තරා භික්ෂුවක් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන් දකිනු පිණිස යනු කැැමත්තේ වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත් ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද මඳක් වෙහෙස නිවා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය. භික්ෂුව අවදි වී බලන කල වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කල ඒ වනයෙහි වූ පෙර කී රුක් දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ ද අර ප්‍රේතිය පැමිණ නැවතත් ආහාර පාන ඉල්ලීය. දිව්‍ය පුත්‍රයා ද නැවතත් ඇයට පෙර පරිදිම ආහාරපාන හා වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ අකුශල කර්මය කුමක් දැයි විමසීය.
අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ, ලේ වැකී ගිය දැකීමට අපි‍්‍රය වූ ගිය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළඳීමට දුන් විට ගිනි දැල් බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක් ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන ලදද? එවිට ඒ දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.
ස්වාමීනී, මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය. ලෝභි වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි ආක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේලාට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළා ය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය වශයෙන් පැහැදිලි කළේ ය.
ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය. ‘ස්වාමීනි, මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේ ය. මේ අකුසල කර්මයෙන් මැය මුදවා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ ක්‍රමයක් ඇත දේව පුත්‍රය’ යනුවෙන් පැවසූහ. එසේ නම් පවසන්න ස්වාමීනි, යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ ‘දේව පුත්‍රය’ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක් දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න’ යනුවෙන් පැවසීය.
එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළා ය. ඒ ප්‍රේතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන් වහන්සේට පිළිගැන් වූවා ය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත ප්‍රේත ආත්මයෙන් මිදි, දිව්‍යමය වූ ශරීරයක් ද දිව්‍යමය වූ ආහාර පාන ද දිව්‍යමය වූ වස්ත්‍ර ලැබ අතිශය සතුටට පත් වූවා ය.

උක් වනයේ උපන් ප්‍රේතයා

අපගේ බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ වැඩ වසන කල එක් ලෝභී මිනිසෙක් උක්දඬු මිටියක් කරතබාගෙන උක්දඬුවක් කමින් මහමග ගමන් කරයි. එකල්හි එක් උපාසකයෙක් ළදරුවකු සමඟ ඔහු පිටුපසින් ගමන් කරන්නේ උක්දඬු පිළිබඳ ආශාව ඇති දරුවා ඔහුට උක් උක්දඬුවක් ඉල්ලා දෙන ලෙස උපාසකයාට දැන්වීය. උපාසකයා උක්දඬුවක් ඉල්ලූවිට ඒ පුරුෂයා කිසිවක් නොකියාම ගමන් කරයි. ඔහු නැවතත් දරුවාගේ ඇවටිල්ල නිසා දරුවා කෙරෙහි අනුකම්පාවෙන් උක්දඬුවක් දෙන ලෙස ඔහු නැවතත් ඉල්ලීය. එයින් නොසතුටු සිත් ඇති ඒ පුරුෂයා අනාදරයෙන් යුතුව ඉල්ලීමෙන් බේරීම සඳහා එක් උක්දඬු කැබැල්ලක් ඔහු දෙසට විසි කළේ ය.
පසු කලක මියගිය ඒ පුරුෂයා උක්දඬු කෙරෙහි වූ ලෝභය නිසාම ඊට සරිලන ලෙසම මුහුණු තිස්දෙකකින් යුතු ප්‍රේතයෙක්ව මහා උක්වනයක උපන්නේ ය. ඉතා හොඳින් මහත්ව වැඩුණ ඒ උක් වනයේ උක්දඬුවක් කෑම සඳහා මේ ප්‍රේතයාට සිත් ඇති වූ විට ඒම හා උක්ගස් මුගුරු මෙන් ක්‍රියාත්මක වී ඔහුට ක්ලාන්ත වනතෙක් පහර දෙයි. කිසි කලෙක ඔහුට උක්දඬුවක රස බැලීමට නොහැකි විය.
දිනක් මෙසේ ක්ලාන්ත වී සිටින ප්‍රේතයා දුටු මුගලන් මහරහතන් වහන්සේ ඔහුගෙන් තමා කවුදැයි කරුණු විමසීය. එවිට ඔහු තමා ප්‍රේතයෙකු බවත් මහත් උක්වනයක වසන බවත් කිසිදිනක ඔහුට එහි උක්දඬුවක්වත් කෑමට නොහැකි බව පැවසීය. එසේ කෑමට සිත් වූ විට කරුණු විමසීය. මෙසේ තමාට සිදුවන බව පැවසීය. ඔහුගේ කර්ම ශක්තිය අවබෝධ කොටගත් මුගලන් මහරහතන් වහන්සේ ඔහුට මෙසේවීමට හේතු වූ හෙවත් ඔහු කළ අකුශල කර්මය පහදා දුන්නේ ය. ඔබ පෙර ආත්මභවයෙහි මිනිසෙක් වී ඉපිද සිටියේ ය.
එහි දී අකුශල කර්මයක් කළේ ය. එනම් දිනක් ඔබ උක්දඬු මිටියක් කරතබාගෙන උක්දඬුවක් කමින් මහමග ගමන් කළේ ය. එකල්හි එක් උපාසකයෙක් ළදරුවකු සමඟ ඔහු පිටුපසින් ගමන් කරන්නේ උක්දඬු පිළිබඳ ආශාව ඇති දරුවා ඔහුට උක් උක්දඬුවක් ඔබගෙන් ඉල්ලුවේ ය. ඔබ එය නෑසුනාක් සේ ගියේ ය. ඔහු නැවතත් දරුවාගේ ඇවටිල්ල නිසා දරුවා කෙරෙහි අනුකම්පාවෙන් උක්දඬුවක් දෙන ලෙස ඔබගෙන් ඉල්ලීය. එයින් නොසතුටු සිත් ඇති ඔබ අනාදරයෙන් යුතුව ඉල්ලීමෙන් බේරීම සඳහා ඔහු දෙස නොබලාම පිටුපස්සෙන් එක් උක්දඬු කැබැල්ලක් ඔහු දෙසට විසි කළේ ය.
එම කර්මයාගේ විපාක වශයෙන් මෙසේ ඔබට සිදුවෙයි යනුවෙන් මුගලන් මහරහතන් වහන්සේ ඒ ප්‍රේතයාට කරුණු අවබෝධ කර දුන්සේක.
උක්දඬු කෑමෙහි මහත් ආශාවෙන් සිටින ඒ ප්‍රේතයාට උක්දඬු කෑම සඳහා උපායක් ඉගැන්වීය. එනම් පිටුපසින් පිටුපසට ගොස් තමා කැමති ලෙස උක්දඬු අනුභව කරන ලෙයසි. පුදුමයකි! එසේ කළවිට ඒ ප්‍රේතයාට උක්දඬු කෑමට හැකිවිය. මෙසේ වූයේ ඔහු අනාදරයෙන් පිටුපස නොබලාම අර දරුවාට උක්දඬුවක් විසිකිරීමේ විපාක වශයෙනි.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X