ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලාව 4.

ලිපි මාලා අංක – 15

දවාලට ප්‍රේතයා රාත්‍රියට දෙවියෙක් වෙයි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

මහරැඹෑවැවේ පාලිත හිමි

උඳුවප් අමාවක පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා උක්වනයේ උපන් පේ‍්‍රතයා පිළිබඳ කතා ප්‍රවෘත්ති විමසා බැලීමටයි.
අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් කතා ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

මිගලුද්දක පේතවත්ථුව

රජගහ නුවර එක්තරා වැද්දෙක් රෑ දවල් දෙකෙහිම මුවන් විද බැඳ මරා ජීවිකාව ගෙන ගියේය. ඔහුට මිත්‍ර වූ එක් උපාසකයෙක් සිටියේය. මේ උපාසකයා තම මිතුරා පාපයෙන් වළක්වා ගැනීමට කෙතරම් උත්සාහ කළ ද සම්පූර්ණයෙන් පාපයෙන් වළක්වා ගැනීමට නොහැකි තැන රාත්‍රී කාලයේ සතුන් මැරීමෙන් වළක්වා රාත්‍රී කාලයෙහි පාපයෙන් වළක්වා පින් දහමෙහි ඉතා අමාරුවෙන් යෙදවීමට හැකිවිය. මේ නිසා මේ වැද්දා රාත්‍රී කාලයේ සතුන් මැරීමෙන් වැළකී දවල් කාලයේ පමණක් සතුන් මැරීම සිදුකරගෙන ගියේය. පසු කලක ඔහු මිය ගොස් විමාන පේත්‍රයෙක්ව ඉපදී දවල් කාලයේ මහත් දුක් විඳිමින් හා රාත්‍රි කාලයේ දිව්‍යමය පඤ්චකාම සම්පත් විඳිමින් කල් ගත කරයි.
දිනක් ඔහු මෙසේ දහවල් කාලයේ අපමණ දුක් විඳිමින් රාත්‍රි කාලයේ දිව්‍යමය සම්පත් විඳීම දුටු නාරද තෙරණුවෝ ඔහුගෙන් ඒ සඳහා හේතු කාරණා මෙසේ විමසීය.
නරනාරිපුරක්ඛතො යුවා, රජනීයෙහි කාමගුණෙහි සොහසි 
දිවසං අනුහොසි කාරණං කිමකාසි පුරිමාය ජාතියා ‘ති
දිව්‍ය පුත්‍රයන් හා දෙවි දූවරුන් විසින් පිරිවරන ලදුව තරුණ වූ ඔබ රාත්‍රි කාලයේ සිත්කලු වූ කාම ගුණයන්ගෙන් යුක්තව සම්පත් විඳියි. දහවල් කාලයේ නොයෙක් දුක් කම්කටොළු අනුභව කරයි. මේ සඳහා ඔබ පෙර කළ කවර කර්මයක් බලපෑවේද
එයට පිළිතුරු වශයෙන් එම විමාන පේ‍්‍රතයා නාරද හිමියන්ට මෙසේ පවසයි. මම රම්‍ය වූ සිත් අලවන්නා වූ රජගහනුවර පෙර ආත්මයේ අත්වල ලේ වැකුණු දරුණු වැද්දෙක්ව මුවන් මැරීම සිදු කළෙමි. එහි දී මම ඉතා දරුණු ලෙස සතුන්ට වධ හිංසා දී ඉතා නපුරු සිතින් හැසුරුණෙමු. මෙසේ වු මට සහාය වූ හිතැති එක්තරා උපාසකයෙක් මා කෙරෙහි අනුකම්පාවෙන් මා පවින් වැළැක්වීම පිණිස නැවත නැවත උත්සාහ කළේය.
සහෝදරයා ළාමක අකුසල් කර්ම නොකරව, දුගතියට නොයව, පරලොව දී සැප විඳීමට නම් ප්‍රාණඝාත අකුශල කර්මයෙන් වෙන්වන්න යනුවෙනි.
අහං රාජගහෙ රම්මේ, රමණියෙ ගිරිබ්බජෙ,
මිගලුද්දො පුරේ ආසිං ලොහිතපාණි දාරුණො 
අවිරොධකරෙසු පාණිසු, පුථුසත්තෙසු පදුට්ඨමානසො
විචරිං අතිදාරුණො සදා පරහිංසාය රතො අසඤ්ඤතො 
තස්ස මෙ සහායො සුහදයො සද්ධො, ආසි උපාසකො 
සොපි මං අනුකම්පන්තො, නිවාරෙසි පුනප්පුනං
මෙසේ වූ පරලොව සැප කැමති වූ අනුකම්පක වූ ඔහුගේ වචනය අසා නුවණ නැති බොහෝ කලක් පවෙහි ඇලුණා වු මම ඔහුගේ වූ අනුශාසනාව නොපිලිපැද්දෙමි. ගුණයහපත් වූ උපාසක තෙමේ නැවත නැවතත් මා වෙත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටුවීමට උත්සාහ කළේය. දහවල් කාලයේ සතුරන් මරන්නේ නම් රාත්‍රී කාලයේවත් සතුන් මැරීමෙන් වළකින ලෙස මට පැවසීය. ඒ අනුව මම දහවල් කාලයේ සතුන් මරා රාත්‍රි කාලයේ සංවර වූයේ පින්දහම්වල යෙදුණේය.
ඒ අනුව මම රාත්‍රී කාලයේ ප්‍රාණඝාතයෙන් වැළකී පින්දහම්වල යෙදුණු බැවින් රාත්‍රියෙහි පංචකාමයෙන් යුක්ත වු කාම සම්පත් අනුභව කරමි. දහවල් කාලයේ සතුන් කෙරෙහි දරුණු වූ සිතින් ප්‍රාණඝාතය කළ බැවින් දහවල් කාලයේ දුගතිගාමීව දුක් විඳිමි. ඒ අනුව මම රාත්‍රි කාලයේ දිව්‍ය සම්පත් විඳින අතර දහවල් කාලයේ බද්ධ වෛර ඇත්තවුන් මෙන් හාත්පසින්ම සුනඛයෝ සපා කෑමට එළවාගෙන එති. යනුවෙන් සියලු ප්‍රවෘත්තීන් නාරද හිමියන්ට සැලකළේය.

බොරු කියුවෙක් පේ‍්‍රතයෙක් වෙයි

එක් කලක බිම්බිසාර මහරජතුමා මාසයකට සය දිනක් පෙහෙවස් සමාදන් වෙයි. රජුගේ මේ ක්‍රියාවෙන් රජුගේ සමීපතයන් ද රටවැසියන් ද බොහෝ දෙනෙක් පෙහෙවස් සමාදන් වෙති. රජතුමා තමා ළඟට පැමිණෙන පිරිසගෙන් ඒ අය පෙහෙවස් සමාදන් වූයේ දැයි විමසීය. දිනක් රජු තමා සමීපයට පැමිණි අධිකරණ නායකයාගෙන් ඔහු පෙහෙවස් සමාදන් වූයේ දැයි විමසීය. ඔහු කේලම් කියන අල්ලස් ගන්නා වූ කෛරාටිකයෙකි. කිසිදා පෙහෙවස් සමාදන් නොවූ ඔහු රජුගේ හිත ගැනීමේ අදහසින් තමා පෙහෙවස් සමාදන් වුයේ යැයි කීය. ඔහු රජු හමුවීමෙන් පසු යන ගමනේදී ඔහුගේ මිතුරෙක් ඇත්තටම ඔහු පෙහෙවස් සමාදන් වූයේ දැයි විමසීය. එවිට ඔහු පැවසුවේ තමා පෙහෙවස් සමාදන් නොවූ බවත් රජු ඉදිරියේ රජුට ඇති වූ බිය නිසා එසේ පැවසු බවයි. එවිට ඔහුගේ මිතුරා එසේ බොරුකීම මහත් පාපයක් බව පවසා ඔහුට අර්ධ උපෝෂථය සමාදන් වන ලෙස පැවසීය. ඔහු ද තම නිවසට පැමිණ මුහුණ කට සෝදා ආහාර ද නොගෙන අර්ධ උපෝසථය සමාදන් වූයේය. එදින රාත්‍රියේ ම ඇති වු උදර රෝගයකින් ඔහු කලුරිය කොට පර්වත කුහරයක විමාන ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු එක් රැයක් පමණක් වුවද අර්ධ උපෝෂථය සමාදන්වීමේ බල මහිමයෙන් දිව්‍ය විමානයක් ලැබීය. දිව්‍යාංගනාවන් දහසක් පිරිවර වූහ. දිව්‍ය පඤ්චකාම සම්පත් ලැබීය. එහෙත් පෙර අත් බවෙහි ඔහු අධිකරණ නායකයා වශයෙන් වඤ්චනික ලෙස විනිශ්චය කිරීමේ විපාක වශයෙන් හා පිසුණු බස් කීමේ විපාක වශයෙන්ද තමාගේ ශරීරයේ මස් තමන්ම කඩාගෙන කයි.
දිනක් ගිජුකුළු පව්වෙන් බසින්නා වූ නාරද තෙරුන් වහන්සේ මේ විමාන පේ‍්‍රතයා දැක ඔහුගෙන් මෙසේ විමසයි. දිව්‍යමය මල් දරන්නා වූ හිස් වෙළුම් ඇති බාහු වළලු ඇති ඔබගේ ශරීරයේ සඳුන් ගල්වන ලද්දේය. මුවෙහි වර්ණය ප්‍රසන්නය. ළහිරු වර්ණයෙන් බබළයි. ඔබට අත් පා මෙහෙවරට වෙන් වූ දස දහසක් පරිචාරිකාවෝ වෙති. ඔබගේ ශරීරය අලංකාර වු පළඳනාවන්ගෙන් හොබනේය. හිසෙහි ස්වර්ණමය මුදුන් මල්කඩ ඇත්තේය. අන් අය ලොමු දැහැගන්වන සුළු මහානුභාව ඇත්තේය. එහෙත් ඔබ තමන්ගේ අතින් තමන්ගේම මස් කඩාගෙන බුදියි. මේ කවර අකුශල කර්මයක විපාකයක්ද
ස්වාමීනි, මම මිනිස් ලොව දී මුසාවාදයෙන් හිස් වචනවලින් කපටි බවින් හා වඤ්චාවෙන් ද තමන්ට අයත් රාජකාරි කටයුතු වලදී අවැඩ පිණිස හැසුරුණෙමි. එහි දී මම පිරිස් මැදට ගොස් ඇත්ත කිවයුතු තැන න්‍යාය යුක්ති ධර්මය හැර දමා අධර්මය අනුව පැවතියේය. ස්වාමීනි, යම් සේ මම අද මාගේ ශරීරයේ මස් කන්නේද එසේම යුක්තිය අයුක්තිය කරමින් වැඩ කරන අයට මෙය සිදුවන්නේය.
අත්තනොහං අනත්ථාය, ජීවලොකෙ අචාරිසං 
පෙසුඤ්ඤමුසාවාදෙන, නිකතිවඤ්චනාය ච, 
තත්ථාහං පරිසංගන්ත්වා, සච්චකාලෙ උපට්ඨිතෙ
අත්ථං ධම්මං නිරාකත්වා අධම්මමනුවත්තිසං 
එවං සො ඛාදත්තානං, යො හොති පිට්ඨිමංසිකො 
යථාහං අජ්ජ ඛාදාමි පිට්ඨිමංසානි අත්තනො
ස්වාමීනි, මා උපමාවට ගෙන අන් අයට මේ ධර්මය පහදා දෙන්න. යමෙක් පිසුණු බස් හා බොරු කියන්නේද එමෙන්ම සත්‍යය අසත්‍යය ලෙසත්, අසත්‍යය සත්‍යය ලෙසත් හොවා දක්වන්නේද ඒ අය එයින් මුදවන්න. යහපතෙහි යොදවන්න යනුවෙන් ඒ විමාන පේ‍්‍රතයා නාරද තෙරුන්ගෙන් අයැද සිටියේය.

ලිපි මාලා අංක – 16

දානය වැළැක්වීම පේ‍්‍රත අත්බවට හේතුවකි

අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

ධනපාල පේතවත්ථුව

දසන්ත රට ඒරකච්ඡ නම් නගරයෙහි ධනපාල සිටුවරයෙක් විය. ඔහු ශ්‍රද්ධා නැත්තෙකි. පැහැදීමක් නැත්තෙකි. තද මසුරෙකි. කර්මයන්ගේ විපාක නැතැයි කියන න්‍යෂ්තික දෘෂ්ටි ඇත්තෙකි. මෙසේ චර්යාවන් පැවැත් වූ ඔහු පසු කලෙක මිය ගොස් කාන්තාරයක පේ‍්‍රතයෙකු වී උපන්නේය. ඔහුගේ ශරීරය තල් කඳක් පමණ විය. ඉල්පීගිය සම රළු විය.අවුල්වූ විරූපී වූ හිසකෙස් විය. දුර්වර්ණ ශරීර ඇති ඔහු බියකරු දැකුම් ඇත්තේය. ඔහු පනස් වසරක් මුළුල්ලේ බත් ඇටයක් හෝ දිය බිඳක් හෝ නොලබාම වියලුණු උගුර තොල් දිව ඇතිව සා පිපාසාවෙන් යුතුව එහෙ මෙහෙ සැරිසරයි.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයේ සැවැත් නුවර වැසි එක්තරා වෙළෙඳ පිරිසක් ගැල්වල බඩු පුරවාගෙන උත්තරා පථයට ගොස් එම භාණ්ඩ අලෙවිකොට එම ප්‍රදේශයෙන් ගත් බඩු ගැල්වල පුරවාගෙන ආපසු එනවිට සවස් වූ බැවින් එක්තරා දිය වියළී ගිය ගඟක් ළඟට පැමිණ ගොනුන් ලිහා රාත්‍රියෙහි නවාතැන් ගත්හ. එහි දී මෙම පේ‍්‍රතයා පිපාසයෙන් පීඩිතව බීමට ජලබිඳක් වත් නොලැබ ක්ලාන්තව මේ වෙළෙඳ පිරිස ඉදිරියෙහි කපා හෙළු තල් ගසක් මෙන් ඇද වැටුණේය.
මෙසේ ඇද වැටුණු නිර්වස්ත්‍ර විරූපී ඉතා බියකරු දැකුම් ඇති ඉල්පී ගිය නහර ඇති උස් වූ ඉල ඇට ඇති ඉතාමත් කෘෂ වූ සිරුරු ඇති ඒ පේ‍්‍රතයා දුටු වෙළෙන්දෝ ඔහු කවරෙක් දැයි විමසීය. එවිට එම පේ‍්‍රතයා මෙසේ කීය.
පින්වතුනි, මම ‘යම’ ලෝකය යැයි කියන ලද පේ‍්‍රත ලෝකයෙහි පේ‍්‍රතයෙක්මි. පාප කර්මයන් කොට මිනිස් ලොවින් චුතව පේ‍්‍රත ලෝකයේ ඉපදුනෙමි.
එවිට වෙළෙන්දෝ ඔහුගෙන් මෙසේ විමසයි. ඔබ මෙතරම් දුක් විදීමට මිනිස් ලොව දී සිත, කය, වචන යන තිදොරින් කවර අකුශල කර්මයක් කළේද කවර අකුශල කර්මයක විපාකයෙන් පේ‍්‍රත ලෝකයෙහි උපන්නේද යනුවෙනි.
එවිට පේ‍්‍රතයා මෙසේ පවසයි. පෙර මම දසන්ත රට ඒරකච්ඡ නම් නගරයෙහි ධනපාල සිටුවරයෙක් වුණෙමි. මහජනයා ඒ නමින් මා දනිත්. මට අමු රන් පිරවූ කරත්ත අසූවක් විය. රත්තරන්, මුතු, වෛඩූර්ය ආදි බොහෝ මැණික් තිබුණි. එපමණ මහත් ධනයක් තිබුණ මට දන්දීමට කැමැත්තක් නොවීය. යාචක ජනයෝ මා නොදකිත්වා යැයි ගෙයි දොර කවුළු වසාගෙන තනිවම අනුභව කළෙමි. ශ්‍රද්ධා නැත්තේ තද මසුරෙක් වශයෙන් පරිහාසයට ලක් වුණෙමි. දන් දෙන්නා වූ පින් රැස්කරන්නා වු බොහෝ ජනයා එයින් වැළැක්වූයෙමි. දන් දීමේ විපාක නැත. සීලයෙන් කවර ප්‍රතිඵලයක් ලැබේද යනුවෙන් න්‍යෂ්තික දෘෂ්ටියෙන් විසුවෙමි. පැන් පොකුණු හා ළිං ද තනන ලද ආරාම උයන් වතු පැන්හල් යන මේවා දුටු තැන වනසාලීමි. ඒ දඬු ආදිය විනාශ කළෙමි. මම නොකළ කුසල් ඇතිව කළ අකුසල් ඇතිව ඒ අත් බැවින් චුත වූයේ ප්‍රේත්‍ර යෝනියෙහි ඉපිද සා පිපාසයෙන් මඩිනා ලද්දේ වෙමි. යම් දිනක මා ඒ මිනිස් අත් බවින් චුත වූයේ ද එතැන පටන් මේ වනවිට පණස් පස් අවුරුද්දක් ගෙවී ඇත. ඒ පණස් පස් අවුරුද්ද මුළුල්ලෙහිම ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නොදනිමි. කිසිවෙකුට කිසිවක් නොදීම නිසා යම් පරිත්‍යාගයක් නොකළ නිසා එය මටම වැනසීමක් විය. දාන වස්තුව තිබිය දීත් දන්නොදුන් නිසා පින් නොකළ නිසා මෙසේ එහි විපාක වශයෙන් කතරෙහි ප්‍රේ‍තයෙක්ව ඉපිද සා පිපාසයෙන් මඬිනා ලදුව දුක් විඳීමි යනුවෙන් ඒ ධනපාල ප්‍රේ‍තයා වෙළෙදුන්ට පැවසීය.
එක් දිනක් සැරියුත් මහරහතන් වහන්සේ,මොග්ගල්ලාන ,අනුරුද්ධ, කප්පින යන මහරහතන් වහන්සේලා සමඟ රජගහ නුවරට නුදුරු එක්තරා ආරණ්‍යයක වාසය කරති. ඒ සමයේ බරණැස් නුවර වැසි ධනයෙන් ආඪ්‍ය එක්තරා බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට හා දුගී මගී යාචකාදීන්ට බැගෑපත් උදවියට හා පුලන්නන්ට ද ආහාරපාන වස්ත්‍ර සයනාසන ආදිය දෙයි. එසේ පැමිණෙන අයට සුදුසු පරිදි අවශ්‍ය දේම දෙයි. පෙරබත් කාලයෙහි භික්ෂූන් වහන්සේලාට ද දානය සකස්කොට පිරිනමයි. ඔහු මේ කටයුත්ත ඕනෑකමින්ම සිදුකළේය. දිනක් හදිසියේම ඔහුට විදේශයකට යෑමට සිදුවිය. එසේ යෑමට පෙර ඔහු භාර්යාව අමතා මෙසේ කීවේය. සොඳුර මා පැමිණෙන තෙක් දානය විධිය අඩුවක් නොකොට පවත්වන්න . නිවසට පැමිණෙන සියලු දෙනාට අඩුවක් නොකොට සංග්‍රහ කරන්න. අවශ්‍ය දේ දෙන්න යනුවෙනි. ඇයද එය මැනැවැයි පිළිගත්තාය. තම ස්වාමියා නිවසින් බැහැරව ගිය පසු පළමුව ඇය කළේ භික්ෂූන් වහන්සේලාට දෙන දානය වැළැක්වීමය. දෙවනුව වාසය සඳහා පැමිණි මගීන්ට ගේ පිටුපස වු දිරාපත් මඩුව පෙන්වා එහි නවාතැන් ගන්නට සැලැස්වීය. ආහාර පානාදිය ලබාගැනීමට පැමිණි දුගී මගී යාචකාදීන්ට අසුවී කාපියව්! මුත්‍රා බීපියව්! ලේ බීපියව්! තොපගේ මව්වරුන්ගේ මොළ කාපියව්! යනුවෙන් ඉතා දරුණු ලෙස ආක්‍රෝශ පරිභව කරමින් එළවා ගත්තාය.
පසු කලක මේ කාන්තාව මිය ගොස් කර්මානුරූපව ප්‍රේ‍ත යෝනියක උප්පත්තිය ලැබුවාය.ඇගේ ස්වභාවය නම් දැකීමට ඉතා බියකරුය. පිළිකුල් සහිතය.උස්ව නැගුණු ඉල ඇට ඇත්තියකි. කෘශ වූ ශරීර ඇත්තියකි. විලි වැස්මක් නැත්තීය. දුර්වර්ණ ස්වභාව ඇත්තීය. ඉල්පීගිය නහර වැල්වලින් යුත් ශරීර ඇත්තීය. මේ පේ‍රතිය මෙයින් ආත්ම පහකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මවක්ව උපන්නාය. මෙසේ ඉතා දුක්ඛිත තත්ත්වයට ඇද වැටුණු මේ ප්‍රේ‍තිය එයින් මිදීමට මගක් සොයනුයේ පෙර ජන්මයෙහි තමාගේ පුත්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේ සිහි වී උන්වහන්සේ සොයා එතුමන් වැඩ වසන විහාරයට පැමිණියාය. එහෙත් විහාරයට අධිගෘහිත දෙවියෝ ඇගේ ගමන වැළැක්වූහ. එවිට එම ප්‍රේ‍තිය සැරියුත් හිමියන් මීට ජන්ම පහකට පෙර තමාගේ පුතු වූ බව දන්වා උන්වහන්සේ බැහැදැකීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය. දෙවියෝ ඇයට අවසර දුන්නාය.
ඇය දුටු සැරියුත් තෙරණුවෝ ඇය කෙරෙහි අනුකම්පාව උපදවා මෙසේ ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරන ප්‍රේ‍තියක් ව ඉපදීමට හේතු විමසූහ. එවිට ඇය පෙර මිනිසත් බවෙහි ඇය සිදුකළ සියල්ල හෙළි කළාය. එහි විපාක වශයෙන් ඇගේ ජීවන ස්වභාවය මෙසේ විස්තර කළාය.මම වමනය ද කෙළ ද සොටු ද, සෑයෙහි දවනු ලැබූ ශරීරයන්හි වුරුණු තෙල්ද, වැදූ ස්ත්‍රියන්ගේ ලේ හා ගැබ්මල ද, වණ ඇත්තවුන්ගේ හා හිස හා නාසය කැපූවන්ගේ ලේ ද, ස්ත්‍රී පුරුෂ ශරීරයන්ගෙන් බැහැර කරන සියලු අපවිත්‍ර දෑ ද සාගින්නෙන් පෙළෙන මා අනුභව කරමි. ගෙරීන්ගේද, මිනිසුන්ගේද, සැරව හා ලේ අනුභව කරමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී සොහොන් අළු හා අඟුරු බහුල වූ සොහොන් බිමෙහි සයනය කරමි. යනුවෙන් තමාගේ දුක්ඛිත ජීවන චර්යාව ප්‍රකාශ කොට පුතණුවනි. මා උදෙසා දානයක් දුන මැනවි. එහි පින් මා හට අනුමෝදන් කරනු මැනවි. මා මේ ලේ සැරව බුදීමේ දුක්ඛිත පාපයෙන් මුදවනු මැනවි’ යනුවෙන් අයැද සිටියාය.
මේ ප්‍රේ‍තියගේ කතාවෙන් කම්පාවට පත් මුගලන් මහරහතන් වහන්සේත්, අනුරුද්ධ මහරහතන් වහන්සේත්, කප්පින මහරහතන් වහන්සේත් කුටි හතරක් කොට සිව් දිගින් වැඩියා වු මහා සංඝයාට එම කුටි ද දානය ද පූජාකොට ඇයට පින් අනුමෝදන් කළාය. එම පින් අනුමෝදන් වීමෙන් පේ‍්‍රත අත් බවින් මිදුණු ඇය දිව්‍යාංගනාවක් බවට පත් විය. ඕෂධී තාරකාවක් මෙන් ඇගේ ශරීර වර්ණය බබළන්නට විය.

ලිපි මාලා අංක – 17

කල්ප ගණනක් දුක් විඳින පිඹුරු ප්‍රේතයා

අද අපගේ අවධානය යොමුවන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හිරිහැර කොට මරණයට පත් කිරීමෙන් අජගර නම් ප්‍රේතයෙක්ව ඉපදී අනන්ත වූ දුක් විඳින ප්‍රේතයෙක් පිළිබඳ කරුණු දැක්වෙන ‘සට්ඨිකූට පේතවත්ථුව‘ විමසා බැලීමටයි.
එක් දිනක් මුගලන් මහරහතන් වහන්සේ හා ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිනා කල මුගලන් මහරහතන් වහන්සේ යම් කාරණයක් නිසා සිනහ පහළ කොට බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩි කල ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් සිනහ පහළ කිරීමට හේතු විමසූ විට තමන් වහන්සේ ගිජුකුළු පව්ව පා මුල දී දුටු දර්ශනය මෙසේ විස්තර කළහ.
ලක්ඛණ ආයුෂ්මතුනි, ගිජුකුළු පව්ව පා මුල දී මා විසින් අරුම පුදුම ප්‍රේතයෙක් දක්නා ලදිමි. ඔහුගේ උස තුන් ගව්වක් පමණ වේ. ගිනිගෙන දිලිසෙන විශාල ප්‍රමාණයේ ගල් ගිනිබෝල සැට දහසක් පමණ හිස මත පතිත වෙයි. එයින් ඔහුගේ හිස සුණු විසුණු වී යන අතර නැවතත් කර්ම බලයෙන් හිස හට ගනියි. මෙසේ නිතරම හිස පැලී කුඩු වී ගොස් නැවතත් එක් වීමෙන් අතිශය කටක වූ දුක් වේදනාවකට ඔහු පත් වෙයි. මෙවැනි සංසාර දෝෂයක් තමන් වහන්සේට කිසි කලෙකත් නැති බැවින් තමන් වහන්සේ සිනහ පහළ කළ බව පැවසූහ.
මේ සිද්ධිය මුල් කොට ගනිමින් මේ ප්‍රේතයා මෙපමණ මහත් වූ දුකක් විඳීමට හේතුව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. පෙර බරණැස් නුවර අතකුරු ගැසීමෙහි දක්ෂ (අතින් ගල්කැට විදීමෙහි දක්ෂ) එහෙත් ඇවිදීමට නොහැකි පිළෙක් විය. දිනක් ඔහු කුඩා ළමයින් පිරිසක් විසින් මෙහෙයවනු ලදුව වාසල් දොර සමීපයෙහි නුග ගස යට දී අතකුරු ගසා නුගපත් වල විවිධ රූ සටහන් මවා ළමා පිරිස සතුටට පත් කළේ ය. ඒ ස්ථානයට හදිසියේ ම රජතුමාගේ පැමිණීමත් සමඟ ඒ පිළා නුගගස සමීපයෙහි සඟවා ළමා පිරිස පළා ගියහ. ගස යටට ගිය රජු උඩ බැලූ කළ නුගපත් වල වූ අපූරු රූ සටහන් දැක ඒවා කවුරුන් විසින් කරන ලද්දක් දැයි සොයනුයේ පිළා විසින් කරන ලද බව දැන සතුටුව ඔහු රැගෙන රජ වාසලට ගොස් තමාට මහත් කරදරයක්ව පවතින පුරෝහිතයාට පාඩමක් උගැන්වීමට සිතීය.
පුරෝහිතියාගෙන් රජුට වන කරදරය නම්, රාජ සභාවට ගිය තැන් පටන් කෙළවරක් නැති දේශනාවන් ඇසීමට සිදුවීමය. මෙය රජුට මහත් කරදරයක් විය. එබැවින් රජු පුරෝහිතයා සමඟ කතාවෙහි යෙදී සිටින විට ඔහු කට අරින අරින වාරයක් පාසා එක එළුබෙටිය බැගින් එවීමට පිළා සමඟ කතිකා කොට ඔහුට එළුබෙටි නැළියක් දී රාජ සභාවට නොදුරු පරිසරයේ ඔහුට අවශ්‍ය පසුබිම සකසා දෙන ලදී. පසුදින රාජ සභාවට රජු පැමිණි කළ සිරිත් පරිදි පුරෝහිතයා කෙළවරක් නැති තම දේශනාව ආරම්භ කළේ ය. කට අරින වාරයක් පාසා පිළා ද එක එක එළුබෙටිය බැගින් පුරෝහිතයාගේ කටට එවන්නට විය. කටට ආ එළුබෙටිය අහක දැමීමට අවස්ථාවක් නොවූ හෙයින් කිසිවෙකුට නොදැනෙන පරිදි පුරෝහිතයා විසින් එළුබෙටි නැළියම ගිල දමන ලදී. එළුබෙටි නැළිය අවසන් වූ බව පිළා විසින් කරන ලද සංඥාවෙන් දැනගත් රජු විසින් පුරෝහිතයාට මෙසේ දන්වන ලදී. පුරෝහිතය, ඔබගේ කතාව අසා සිටීමෙන් නැගිට ගැනීමට නොහැකිව මාගේ පාද රිදෙයි. එහෙත් එළුබෙටි නැළියක් ගිල දැමූ ඔබගේ කතාවෙහි අඩුවක් නොවීම පුදුමයකැයි පැවසීය. මෙයින් ලජ්ජාවට පත් පුරෝහිතයා වහා රාජ සභාවෙන් පළාගිය අතර ඉන් පසු රජුට ඔහුගෙන් පෙර පරිදි කරදර නොවීය.
පිළාගේ දක්ෂතාවන් ගැන සතුටට පත් රජු ඔහුට ගම්වර සතරක් ද වස්තුව ද දී සතුටු කළේ ය. පිළා රජුගේ ගෞරවයට පත් වූයේ ඔහු උගත් අතකුරු ගැසීමේ ශිල්පයෙන් බව දැනගත් එක් පුරුෂයෙක් එම ශිල්පය ඉගෙනීමට ඔහු වෙත පැමිණියේ ය. පිළා විසින් ඔහුට ඉගැන්වීම ප්‍රතික්ෂේප කළත් ඔහු, පිළාට කීකරුව බොහෝ කාලයක් සිට කෙසේ හෝ ශිල්පය ඉගැන්මට පිළා කැමති කරවා ගත්තේ ය. පිළා විසින් තමා දත් අතකුරු ශිල්පයේ සියල්ල ඔහුට ඉගැන්විය. අවසානයේ දී පිළා විසින් තම අතවැසියා උගත් ශිල්පය පරීක්ෂා කරන්නේ කෙසේ දැයි විමසීය. එවිට ඔහු පවසනුයේ පාරේ දී හමුවන හරකෙක් හට හෝ මිනිසෙක් හට හෝ විදීමෙන් පරීක්ෂා කිරීමට කැමති බවය. එවිට පිළා පවසනුයේ හරකෙක් මැරුව හොත් සීයක් දඩ වන්නේ ය. මිනිසෙක් මැරුවහොත් දහසක් දඩ වන්නේ ය. එබැවින් දුප්පත් වූ තොප විසින් එම දඩ ගෙවීමට නොහැකිව හිරේ ළඟින්නේ ය. එබැවින් යමෙක් මළ කල දඩ ගෙවීමක් නොවන්නේ ද එබඳු කෙනෙක් පරීක්ෂා කරවයි කීය.
සිය ගුරුවරයාගේ කීමට අවනත වූ ඔහු ද තමා උගත් ශිල්පය අත්හදා බැලීමට කෙනෙකු සොයමින් යන්නේ පිණ්ඩපාතයේ වඩින සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට මවක් හෝ පියෙක් හෝ වෙනයම් ඥාතියෙක් හෝ නැත. මොහුගේ මරණයෙන් දඩ ගැසීමක් ද වන්නේ නැතැයි සිතා උන්වහන්සේගේ කණට ඉලක්කය ගෙන මේ අඥාන පුද්ගලයා අතකුරු ගැසීය. උන්වහන්සේගේ දකුණු කන් බිලයෙන් ඇතුල් වූ එම ගල් කැටය වම් කන් බීලයෙන් පිටත් වී මහත් වූ මාරාන්තික දුකක් දෙන්නට විය. පිණ්ඩපාතයේ වැඩීමට නොහැකි වූ පසේ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් තමන් වහන්සේගේ සෙනසුනට වැඩම කොට එහි දී පිරිනිවන් පෑහ.
පසේ බුදුරජාණන් වහන්සේ එදින පිණ්ඩපාතයේ නොවැඩි නියාව දැන සැදැහැති දායක පිරිස උන්වහන්සේගේ සෙනසුන වෙත පැමිණියහ. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති බව දැන ඒ සැදැහැති පිරිස දුක් ශෝකය දරා ගත නොහැකිව හඬා වැළෙපෙන්නට වූහ. පසේ බුදුරජාණන් වහන්සේට අතකුරු ගැසූ අර අඥාන පුද්ගලයා ද තමාගේ ඉලක්කයට කුමක් වේ දැයි විමසනු පිණිස සියල්ලට පසුව පසේ බුදුරජාණන් වහන්සේගේ සෙනසුන වෙත ගියේ ය. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති නියාව දැන ඒ තමා විසින් ගැසූ අතකුරෙන්ම සිදු වූ බව නිසැකවම දැන තමාගේ දක්ෂතාව පිරිසට ඒත්තු ගන්වනු පිණිස පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑයේ තමා ගැසූ අතකුරෙන් බව උජාරුවෙන් පැවසීය. මේ අඥාන පුද්ගලයාගේ නොමනා ක්‍රියාවෙන් කෝපයට පත් එහි රැස් වූ පිරිස ඔහු අල්වා තළා පෙළා මරණයට පත් කළහ.
තමා උගත් ශිල්පය වැරදි ලෙස භාවිත කළ, ඒ අඥාන පුද්ගලයා මරණයෙන් පසු කල්ප ගණනක් අවීචි මහා නරකයෙහි ඉපිද අනන්ත වූ දුක් විඳ ඒ කර්ම විපාකය ක්ෂය නොවුයේ මෙසේ පිඹුරු ප්‍රේතයෙක් ව ඉපිද අනන්ත වූ දුක් විඳිමින් තවත් කල්ප ගණනාවක් ඉපිදෙමින් මැරෙමින් සංසාරයේ සැරිසරන්නට සිදුවනු ඇත.

ලිපි මාලා අංක – 18

සොරකමෙන් ප්‍රේතියක් වූ රූමතිය

ඒ සූඛරමුඛ පේ‍්‍රතයා මා විසින් ද දක්නා ලදිමි. ඔහු පැවසූ පරිද්දෙන්ම කාශ්‍යප බුදුන් දවස ඔහු කළ අකුශල කර්මයේ විපාක ඔහු තව බොහෝ කාලයක් විඳීයි. යනුවෙන් වදාරා එයම තේමා කොට ගනිමින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලාට දහම් දෙසූ සේක.
දුරුතු අව අටවක පොහෝ දින අපගේ අවධානය යොමු වූයේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හිරිහැර කොට මරණයට පත් කිරීමෙන් අජගර නම් පේ‍්‍රතයෙක්ව ඉපිදී අනන්ත වූ දුක් විඳින පේ‍්‍රතයෙක් පිළිබඳ කරුණු දැක්වෙන සට්ඨිකූට පේතවත්ථුව විමසා බැලීමටයි. අද දින අපගේ අවධානය යොමු වන්නේ මිනිස් ලොව ඉපිද සිටිය දී සිදුකළ අකුශල කර්මයක විපාකයෙන් ඌරු මුහුණැති පේ‍්‍රතයෙක්ව ඉපිද දුක්විඳි සූඛරමුඛ පේතවත්ථුව හා වෙළෙඳ පිරිසකගේ වස්ත්‍ර සොරකම් කිරීමේ අකුශල කර්මය නිසා නිර්වස්ත්‍රව උපන් පේ‍්‍රතියක් පිළිබඳ කරුණු කියවෙන ඛල්ලාටියපේතවත්ථුව විමසා බැලීමටයි.

ඌරු මුහුණක් ඇති ප්‍රේතයා

ගිජුකුළු පව්වෙහි වැඩවාසය කළ නාරද තෙරුන් වහන්සේ දිනක් සිවුරු හැඳ පොරවා පිණ්ඩපාතය පිණිස පාත්‍ර සිවුරු ගෙන ගිජුකුළු පව්වෙන් බසින්නේ එම පර්වත පාමුල සා පිපාසාවෙන් පෙළෙන අමුතුම වර්ගයේ පේ‍්‍රතයෙක් දුටුවේය. මේ පේ‍්‍රතයාගේ ගෙලෙන් පහළ කොටස මිනිස් රුවකට සමානය. එහෙත් ගෙලෙන් ඉහළ කොටස ඌරකුගේ හිසක් වැනිය. ඔහුගේ ශරීරයෙන් නැගෙන වර්ණය දීප්තිමත්ය. දිශාවන් බබුළුවයි. එහෙත් මුඛයෙන් නැගෙන්නේ ඉවසිය නොහැකි දුර්ගන්ධයකි. මේ පේ‍්‍රතයාගේ ස්වභාවය ගැන අනුකම්පා වූ නාරද හිමියන් මෙසේ දැකීමට පවා අපි‍්‍රය පේ‍්‍රතයෙක්ව ඉපදීමට හේතු කුමක්දැයි ඔහුගෙන් විමසීය.

ස්වර්ණවර්ණ වූ ඔබගේ ශරීරය සියලු දිශාවන් ආලෝකවත් කරයි. එහෙත් ඔබගේ මුහුණ ඌරෙකුගේ වැනිය. සා පිපාසාවෙන් පීඩිතව දුක් විඳින ඔබ පෙර කළ අකුශල කර්මය කුමක් ද?
එවිට එම පේ‍්‍රතයා මෙසේ පවසයි. නාරද හිමියනි, මම පෙර කස්සප බුදුරජාණන් වහන්සේගේ දවස භික්ෂුවක්ව සිටියෙමි. එසේ වූ මම කයින් සිල්වත් වූයෙමි. ප්‍රාණඝාතය , අදත්තාදානය, අබ්‍රහ්මචාරියාව ආදි කයින් සිදුවන්නා වූ වැරදි නොකළෙමි. එහෙත් වචනයෙහි සංවර නොවූයෙමි. කිපෙන ස්වභාව ඇති වූ මා තරහ ගත්තෙමි. පරුෂ වචනයෙන් කතා කළෙමි. බොරුකීවෙමි. කේලාම් කීවෙමි. හිස්වචන කීවෙමි. සංවරයෙන් තොරව ගති පැවතුම් ඇත්තේ වුණෙමි. බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි ඉපිද නොයෙක් දුක් විඳ කර්ම විපාක ක්ෂය නොවූ හෙයින් තවම ඒ අකුශල කර්මයන්හි විපාක විඳිමි.
එකල මා භික්ෂුවක්ව සිල්වත්ව සිටි බැවින් මාගේ ශරීරය රන්වන් පාටින් දීප්තිමත්ව බබළයි. එහෙත් වචනයෙන් සංවර නොවූ හෙයින් මෙලෙස සුූඛරමුඛව (ඌරු මුහුණැතිව) ඉපිද සා පිපාසාවෙන් පීඩිතව දුක් විඳිමි යනුවෙන් ඒ පේ‍්‍රතයා නාරද හිමියන්ට පිළිතුරු දුන්නේය.
සූඛරමුඛ පේ‍්‍රතයා සමඟ වූ මෙම සංවාදයෙන් පසුව පිණ්ඩපාතයේ වැඩිය නාරද තෙරණුවෝ පිණ්ඩපාතය වැළදීමෙන් පසු දම්සභාවට වැඩම කළහ. එහි දී මේ සූඛරමුඛ පේ‍්‍රතයා පිළිබඳව එහි රැස් වූ භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්හ. භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳ දහම් කතාවෙහි යෙදී සිටින අතරතුර බුදුරජාණන් වහන්සේද සම්සභා මණ්ඩපයට වැඩම කළහ. තමන් වහන්සේලා යෙදී සිටි කතාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
නාරදය, ඔබ පවසන ඒ සූඛරමුඛ ප්‍රේතයා මා විසින් ද දක්නා ලදිමි. ඔහු පැවසූ පරිද්දෙන්ම කාශ්‍යප බුදුන් දවස ඔහු කළ අකුශල කර්මයේ විපාක ඔහු තව බොහෝ කාලයක් විඳීයි. යනුවෙන් වදාරා එයම තේමා කොට ගනිමින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලාට දහම් දෙසූ සේක.

නග්නව ඇවිදින රූමතිය

අතීතයෙහි බරණැස්නුවර දුටුදුටුවන් සිත් පැහැර ගැනීමට සමත් අතිශය රූමත් වූ ස්ත්‍රියක් විය. ඇගේ කේශ කලාපය අතිශය දිග් වූයේ නිල්වන් වූයේ මෘදු වූයේ දුටුදුටුවන් වශී කරන සුළු වූයේ විය. ඇගේ කේශ කලාපයට වශී වූ බොහෝ තරුණයෝ ඇය කෙරෙහි සිත් ඇත්තෝ වූහ. මේ පිළිබඳව අන් ස්ත්‍රීන්ගේ සිත් තුළ ඇති වූයේ ඊර්ෂ්‍යාවකි. එබැවින් එම ස්ත්‍රීහු ඇගේ ඒ නිල්වන් සුමුදු කේශ කලාපය විනාශ කිරීමට ක්‍රමයක් කල්පනා කළහ. ඒ සඳහා ඔවුහු දාසියක් තෝරාගෙන ඇයට මුදල් දී ඒ දිග් වූ කේශ කලාපය ඇති ස්ත්‍රී නාන වේලාවෙහි හිසේ ගැල්වීම සඳහා විෂ යෙදූ බෙහෙතක් යොදන ලෙස සැලසුම් කළහ. එම දාසිය ද මුදල් අල්ලස් ගත් නිසා ඒ ස්ත්‍රීන් කී ලෙස ඇය නාන වේලාවෙහි හිසෙහි ගැල්වීම සඳහා විෂ යෙදූ බෙහෙත් දුන්නාය. ඇයද ඒ බෙහෙත හිසේ ගල්වාගත් සැණින් ඒ නිල්වන් දිග කේශ කලාපය ගැලවී ගොස් මුඩු හිසක් බවට පත්විය. මෙයින් අතිශය දුකට පත් ඇය හඬා වැළපී දුකට ද ලජ්ජාවට ද පත් වූවාය. ඇතුළු නුවරට පිවිසීමට නොහැකි වූ ඇය හිස රෙද්දකින් වසා නුවර පිටත එක්තරා ප්‍රදේශයක සැඟවී වාසය කළාය. දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව ඇය ජීවත්වීම සඳහා ක්‍රමයක් සොයනුයේ තෙල් සිඳ තෙල් ද සූරා පෙරා සුරා ද විකුණමින් ජීවත්වීමට සැලසුම් කළාය. මෙසේ එක දිනක් ඇගෙන් සුරා බීමට පැමිණි මිනිසුන් තිදෙනෙක් සුරා බී මත් වී නින්දට වන්හ. ඒ අතර මේ ස්ත්‍රිය ඔවුන් සතු වූ ඇඳුම් හා වස්තුව පැහැරගෙන සැඟවුණාය.
එක් දිනක් පිණ්ඩපාතයේ වඩින මහරහතන් වහන්සේ නමක් දැක පැහැදුණු සිත් ඇතුව උන්වහන්සේ තමන්ගේ නිවහනට වැඩමවා සැදැහැ සිතින් වඩා හිඳුවා තෙල් සිඳ ඉතිරි වූ තෙල් කහ හා දානය පිළිගැන්වූවාය. රහතන් වහන්සේද ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය පිළිගැන්වූ දානය වැළඳුවාය. රහතන් වහන්සේ දානය වළඳන තෙක් ඇය වියනක් ලෙස කුඩයක් අල්වමින් මතු උපදින සෑම භවයක දීම මට පෙර පරිදි වෙනත් කෙනෙකුට නොදෙවෙනි නිල්වන් මෘදු වු දීර්ඝ කේශ කලාපයක් ලැබේවායි ප්‍රාර්ථනා කළාය. රහතන් වහන්සේද ඇගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවායි ඉටා දානය වළඳා ඇගේ නිවසින් පිටත් වූහ.
ඊට වර්ෂ ගණනාවකට පසු ආයු කෙළවර ඇය මියගොස් මුහුද මැද එක්තරා රන්විමනක උප්පත්තිය ලැබුවාය. ඇය ප්‍රාර්ථනා කළ පරිදිම නිල්වන් වූ සුමුදු දීර්ඝ කේශ කලාපයක් ඇයට හිමි වූවාය. එහෙත් ඇයට විළි වසා ගැනීමට කිසිදු වස්ත්‍රයක් නොවූ නිසා නග්නව විසීමට සිදුවූවාය. එසේම නග්න වීමට හේතු වූයේ ඇය පෙර භවයේ සුරා දී මිනිසුන් මත්කොට ඔවුන්ගේ වස්ත්‍ර පැහැරගත් නිසාය. රහතන් වහන්සේට දන් පිළිගැන්වූ නිසා ඇයට ආහාර පානාදියෙන් අඩුවක් නොවීය. සැදැහැ සිතින් දන් පිළිගැන්වූ නිසා ඇගේ දීර්ඝ සුමුදු කේශ කලාපයක් ලැබීමේ ප්‍රාර්ථනාව ඉටුවීය. ආයුෂ අවසානයේ මිය යන ඇය නැවත නැවතත් එම රන් විමනෙහිම පෙර පරිදිම උපන්නාය. මෙසේ බුද්ධාන්තරයක්ම ඇයට එසේ ඉපදීමට සිදු වූවාය.
මෙසේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ද ඇය පෙර පරිදිම එම රන්විමනෙහිම නග්නව උපන්නාය. මෙ කාලයේ එක් වෙළෙඳ කණ්ඩායමක් වෙළෙඳාම පිණිස ස්වර්ණ භුමියට පිටත්වීම සඳහා නැව් නැග මහ මුහුද මැදින් ගමන් ආරම්භ කළාය. මුහුද මැද දී කුණාටුවකට හසු වූ මේ පිරිස අර විමාන පේ‍්‍රතිය වෙසෙන ප්‍රදේශයට පාවී ගියේය. එවිට ඇය තමා විමානය සමඟ ඒ පිරිසට පෙනෙන පරිදි දර්ශනය වූවාය. ඉක්බිති ඒ වෙළෙඳ කණ්ඩායමේ නායකයා විමන සහිත වූ ඇය දැක ඇය කවුරුන් දැයි ප්‍රශ්න කරයි. එමෙන්ම ඇයට එම විමානයෙන් එළියට එන ලෙස ද පවසයි.
එවිට ඇය ඒ වෙළෙඳ නායකයාට මෙසේ පවසයි. මම මේ විමනෙහි සැඟවී සිටින්නෙමි. එයට හේතුව මට විළි වසා ගැනීමට වස්ත්‍ර නැති බැවින් නග්නව සිටින නිසාය. එය මා කළ පින්කම්වල අඩුවක් නිසාය. මා මේ දීර්ඝ වූ කෙස් කළඹින් විළි වසාගෙන සිටින්නෙමි යනුවෙන් පැවසීය. එය ඇසූ වෙළෙඳ නායකයා තමාගේ උරහිසෙහි වූ උතුරු සළුව ඇයට දීමට අතට ගත්තේය. එවිට ඇය පවසන්නේ පින්වත, ඔය සළුව ඔබගේ අතින් මා අතට ගැනීමට නොහැකිය. ඔබ ඔය සළුව බුදුරජාණන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේ නමකට හෝ පුජාකොට පින් අනුමෝදන් කොට මා වෙත පින් පමුණුවන්න. එවිට ඒ පින් බෙලෙන් මා හට වස්ත්‍ර ලැබෙන්නේය” යනුවෙන් පැවසුවාය.
ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඒ නැවෙහි වූ සැදැහැති උපාසකයෙකු සරණශීලයෙහි පිහිටුවා එම වස්ත්‍රය පිළිගැන්වීය. ඒ අවස්ථාවේ අර විමාන පේ‍්‍රතියට දිවි සළු පහළ විය. ඉන් පසු විමානයෙන් එළියට පැමිණි ඇය වෙළෙඳුන් සමඟ පිළිසඳර කතාවෙහි යෙදී ඔවුන්ට දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කොට රන්රුවන් ද දී දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද වෙළෙඳ නායකයාට අතෙහි තබා ස්වර්ණ භූමියට යන මග පෙන්වා දී නිරුපද්‍රිතව මහ මුහුදින් එතෙර කරවා ආපසු ඔවුන්ගේ නුවරට පැමිණී කළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පිළිගන්වා තමා දුන් වස්ත්‍ර ද පිළිගන්වා තමාගේ නමින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට තමාට පින් අනුමෝදන් කරන ලෙසද පැවසුවාය.
එයින් අතිශය ප්‍රසාදයට පත් ඒ වෙළෙඳ නායකයා ඇතුළු පිරිස අර උපාසකයාට ද ගරු බුහුමන් කොට පහසුවෙන්ම සිය රටට පැමිණ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට දන් පිළිගන්වා විමාන පේ‍්‍රතිය දුන් වස්ත්‍ර ද පිළිගන්වා සියලු පුවත් සැළකර සිටියහ. බුදුරජාණන් වහන්සේ එම කතා ප්‍රවෘත්තිය මුල් කරගනිමින් විස්තර වශයෙන් ධර්මය දේශනා කළහ. එය එහි රැස්වු පිරිසට ධර්මාවබෝධය පිණිස හේතුවිය. බුදුරජාණන් වහන්සේට දන් පූජාකොට වස්ත්‍ර පිදීමේ ආනිශංස වශයෙන් එම විමාන පේ‍්‍රතිය එයින් චුතව දෙව්ලොව සිරි සම්පත් ඇතිව දිව්‍ය විමානයක උප්පත්තිය ලැබ දෙවඟනක් බවට පත් වූවාය.

ලිපි මාලා අංක – 19

සැමදා කුසල් කොට දන්නා උපායේ කිසිදා නොයන් මේ තිරිසන් අපායේ

පසුගිය ලිපි කිහිපයෙන් සතර අපාය අතර එන ප්‍රේත අපාය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළෙමු. එයින් පේ‍්‍රත අපාය පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන ඇතැයි සිතමු. එබැවින් අද දින කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තිරිසන් අපාය පිළිබඳවයි. තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සුත්‍රයේ එයි.එහි දී බුදුරජාණන් වහන්සේ තිරිසන්ගත සතුන් හා ඔවුන්ගේ ස්වභාවයන් මෙසේ විස්තර කළහ.
තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.
අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.
අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.
දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.
තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.
අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං, 
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව

එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.
ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.
ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.


ලිපි මාලා අංක – 20

තිරිසන් අත්බවෙහි කටුකත්වය

"විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි. "
පසුගිය නවම් පුර අටවක පෝදා ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර එන තිරිසන් අපාය පිළිබඳවයි. එහි දී තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ඇසුරින් විමසා බැලුවෙමු. තිරිසන් යන වචනයෙහි තේරුම වනුයේ හරහට ගමන් කරන්නා යන්නයි. එබැවින් හරහට ගමන් කරන සියලු සත්වයන් මෙම තිරිසන් යන වර්ගීකරණයට අයත් වෙයි. එබැවින් අද ලිපියෙන් ද එයින් තිරිසන් සතුන්ගේ දුක්ඛිත ස්වභාවය හා ඔවුන්ගේ කටුකත්වය පිළිබඳ විමසා බලමු.
තිරිසන් සතුන් ජීවත් වනුයේ නිතැතින්ම බියෙනි. තමාගේ ජීවිතයට කොයි මොහොතේ අනතුරක් ඇති වේද? යන සැකය නිතැතින්ම ඔවුන් තුළ පවතී. තමාට වඩා ලොකු සතෙකුගේ කොයි මොහොතේ ගොදුරක් වේද යන සැකය ඔවුන් සතුව ඇත. අනෙකුත් අපායයන් මෙන් නොව තිරිසන් අපාය අපට දෘෂ්‍යමාන වෙයි. එබැවින් එහි ස්වභාවය දැනුම් තේරුම් ඇති කාට වුවද තේරුම්ගත හැක.
අප අවට සිටින තිරිසන් සතුන්ගේ ප්‍රමාණය ගණනින් කියා නිම කළ නොහැකිය. එක නිවසක ආසන්නයේ වුව එක කුහුඹූ ගුලක වුවද සිටින කුහුඹුවන්ගේ ප්‍රමාණය ගණන් කිරීමට අපහසුය.මේ සියලු දෙනා ජීවින්ය. සමහර තිරිසන් සතුන් තණ බුදිති. සහර සතුන් මස්මාංශ බුදිති. බාලපණ්ඩිත සුත්‍රයේ සඳහන් පරිදි සමහර සත්වයෝ අසූචියෙහිම ඉපිද, එහිම වැද, එයම අනුභව කොට එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ දියෙහි ඉපිද එහිම ලැග එහිම අනුභව කොට, එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ කුණු ජලයෙහි ආදි වූ අපිරිසුදු ස්ථායන්හි ඉපිද, එහිම ලැග, එහිම අනුභවකොට, එහිම මිය යයි. තවත් සමහර සත්වයෝ අඳුරෙහිම ඉපිද, අඳුරෙහිම ලැග, අඳුරෙහිම අනුභව කොට ,අඳුරෙහිම මිය යයි. මේ තිරිසන් ආත්මයන්හි ස්වභාවයයි.
ඇතැම් තිරිසන් සත්වයන් තිරිසන් අත්බවයක් ලැබ සිටය දීම පින් රැස්කරගත් අවස්ථාවන් අපගේ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ජාතක පොතෙහි ද එයි. ඒ සාමාන්‍ය සත්වයන් නොව පාරමී දම් පුරන උතුමන් ආදී ගුණ යහපත් අයයි. තමා කළ යම් යම් අකුශල කර්ම නිසා තිරිසන් අත්බව ලැබුවද එය උසස් අයුරින් පවත්වාගෙන යයි. මෙම ස්වභාවය සෑම තිරිසන් සත්වයෙකුටම පොදුවූවක් නොවන බව එම සාහිත්‍ය කතාවන්ගෙන්ම තේරුම්ගත හැක.
පාරමී දම් සපුරන සමයේ අපගේ බෝසතාණන් වහන්සේ ද ඇතැම් අවස්ථාවල තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබා ඇති බව ජාතක කතාවන්ගෙන් පැහැදිලි වෙයි. බෞද්ධ ජාතක කතාවන්හි විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සම්පූර්ණ කළ පාරමිතා ධර්මයන් බව අපි කවුරුත් දනිමු. ඒ සෑම ජාතක කතාවකින්ම කියවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ විවිධ ආත්මයන්හි ඉපිද පාරමී ධර්මයන් සම්පූර්ණ කළ අයුරුය. සෑම ජාතක කතාවකම බෝධිසත්වයන් වහන්සේගේ චරිතයේ යහපත් පැතිකඩයන් නිරූපණය කර ඇත. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, සීලය ආදි ගුණ ධර්මයන් දියුණු කළ අයුරු මෙන්ම චරිතවත් බව නායකත්වය ආදි ලක්ෂණයන් බෝසත් චරිතය පුරාවට දැකිය හැකිය. ඊට හේතුව දීපංකර පාදමූලයේ දීම ධර්මාවබෝධයට අවස්ථාව තිබියදී උතුම් වූ සම්මා සම්බුද්ධත්වයම ප්‍රාර්ථනා කරමින් සසරෙහි ගමන් කරමින් සම්මා සම්බුද්ධත්වයට අවැසි ගුණධර්මයන් සපුරනු වස් සමතිංසත් පාරමී ධර්මයන් පූරණය කළ නිසාය. එබැවින් උන්වහන්සේට විවිධ ආත්මයන්හි උප්පත්තිය ලැබීමට සිදුවිය. ඒ සෑම භවයක දීම උන්වහන්සේ සෙසු අයට වඩා සීලයෙන්, ගුණයෙන්, නුවණින් හා තපසින් ඉදිරියෙන් සිටියේය. ඒ පෙර භවයන් හිදී උන්වහන්සේ පූරණය කළ ගුණ ධර්මයන්ගේ ශක්තිය නිසාමය. එය භවයෙන් භවයට වර්ධනය වූවා මිස අඩුවකට පත් නොවීය.
එහෙත් සැම තිරිසන්ගත සත්වයෙක්ම මේ ස්වභාවයෙන් නොසිටියි. අපගේ ඇසට පෙනෙන කුරා කුහුඹුවාගේ සිට අලියා –ඇතා දක්වා වූ සියලු සතුන් තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලැබූ අයයි. එබැවින් මේ සියලු සතුන් ජීවත්වීම සඳහා අපමණ වෙහෙසක් ගනියි. විශේෂයෙන් ආහාර සහ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ මුළු ජීවිතයම කැප කරති. එහෙත් ඔවුන්ගේ සියලු කටයුතු තමාට අවශ්‍ය පරිදි පවත්වාගෙන යෑමට නොහැක. ඊට හේතුව සියල්ල අනපේක්ෂිතව සිදුවන බැවිනි.
ඇතැම් විට මෙම සතුන් තමාට වඩා විශාල සතකුගේ පමණක් නොව මිනිසුන්ගේද ගොදුරු බවට පත් වෙති.අලි, ඇත්තු , හරක්, එළුවන්, ඌරන්, කුකුළන් වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයන් බවටද පත්වෙති. විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි.
බුදුරජාණන් වහන්සේ අකුශල කර්මයන්ගේ විපාකයන් පල දෙන අයුරු පැවසීමට යොදාගෙන ඇත්තේ ද මේ කරත්තය අදින ගවයාගේ උපමාවයි. (තතො නං දුක්ඛමන්චේති– චක්කංච වහතෝ පදං) අකුශල කර්මයන්හි නියැළෙන අය එහි විපාක විඳිනුයේ කරත්ත අදින ගොනා මෙනි. ගවයාට බර ඇදීම අකැමැති වුවද එය මග හැරීමට නොහැක. එය කෙසේ හෝ කළ යුතුය. තමා කළ පාපයේ ද විපාක එලෙසය.අකැමැති වුවද එය මග හැර යා නොහැක. කෙසේ හෝ එය වින්ද යුතුය. මෙයින් පැහැදිලි වන්නේ තිරිසන් අත් බවෙහි තිබෙන දුක්ඛිත මෙන්ම කටුක ස්වභාවයයි.
මිනිසුන් මෙන්ම මේ තිරිසන් සතුන්ද තමාගේ ජීවිතයට ආශා කරති. ආදරය කරති. ඒබව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.
සබ්බේ තසන්ති දණ්ඩස්ස, 
සබ්බේ හායන්ති මච්චුනො 
අත්තානං උපමං කත්වා, 
න හනෙය්‍ය න සාතයෙ 
සබ්බේ තසන්ති දණ්ඩස්ස, 
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා 
න හනෙය්‍ය න සාතයෙ
සියලු සතුන් දඬුවමට බිය වෙති. සියලු සතුන් මරණයට බිය වෙති. එමෙන්ම සියලු සතුන් තමාගේ ජීවිතයට පි‍්‍රය කරති. එබැවින් තමා උපමාවට ගෙන අන් සත්වයන්ට හිංසා නොකළ යුතුය. නොමැරිය යුතුය. මෙය බුදුදහමේ ඉදිරිපත් කරන අත්තුපනායික ධර්ම සංකල්පයයි.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X