ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකියි.


මෙම ලිපියෙන් අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ ”සන්දිට්ඨික” ගුණය පිළිබඳවයි.”සන්දිට්ඨික” යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි දෙයක් යන්නයි. ඒ කියන්නේ මේ ජීවිතයේ ම ධර්මය අවබෝධ කළාම කෙනෙක්

* සද්ධානුසාරී වෙනවා.
* ධම්මානුසාරී වෙනවා.
* සෝතාපන්න වෙනවා.
* සකදාගාමී වෙනවා.
* අනාගාමී වෙනවා.
* උතුම් අරහත්වයට පත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයෙන් ඉහත කී පියවරයන් පිළිවෙලින් මේ ජීවිතයේ දීම ඇති කරලා දෙන නිසා තමයි මේ ශ‍්‍රී සද්ධර්මය ”සන්දිට්ඨික” කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළමුවන දේශනාවෙන් ම (දම්සක් පැවතුම් සූත‍්‍රය) කොණ්ඩඤ්ඤ තවුසාණන් උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. දෙවන ධර්ම දේශනයේ දී (අනත්ත ලක්ඛණ සූත‍්‍රය) මේ මිනිස් ලෝකයේ පස් දෙනෙක් රහත් වුණා. එදා මෙදා තුර උතුම් මාර්ගඵල ලැබූ, ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් අප‍්‍රමාණයි. ඒ මේ ශ‍්‍රී සද්ධර්මයේ පවතින ”සන්දිට්ඨික” ගුණය නිසයි.

1. සද්ධානුසාරී ශ‍්‍රාවකයා…. (ශ‍්‍රද්ධාවෙන් පටන් ගන්න…)

සද්ධානුසාරී ශ‍්‍රාවකයා තුල බුදුරජාණන් වහන්සේ යනු ඒකාන්තයෙන් ම සම්මා සම්බුදු වූ මුනිදාණන් වහන්සේ යැයි බලවත් ශ‍්‍රද්ධාවක් සිතෙහි පිහිටනවා. ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි ද, බවත් ව සිතේ පැහැදීම ඇති වෙනවා. ඒ ධර්ම අනුගමනය කළ ශ‍්‍රාවක සඝ පිරිස කෙරෙහිත් බලවත් ව සිත පහදිනවා. ඒ පින්වත් තැනැත්තා අවබෝධයෙන් ඇති කරගත් ශ‍්‍රද්ධාවෙන් යුක්තව ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැත්ත ඇති කරගන්නවා. ඔහු ගැන සද්ධර්මයේ සඳහන් වෙන්නේ සද්ධානුසාරී නමින් ය. සද්ධානුසාරී ශ‍්‍රාවකයා ශ‍්‍රද්ධාව මුල්කරගෙන අධර්මය බැහැර කරනවා. ධර්මය ම පිළිගන්නවා. ධර්මය ම යළි යළිත් පිහිටනවා. ඔහුගේ ශ‍්‍රද්ධාව අන්ධ භක්තියක් නොවේ. 

2. ධම්මානුසාරී ශ‍්‍රාවකයා…. (ශ‍්‍රද්ධාවෙන් බුද්ධිය කරා…)

ශ‍්‍රද්ධාවන්ත ශ‍්‍රාවකයා වීමංසන බුද්ධිය දියුණු කරගන්නේ යෝනිසෝ මනසිකාරය තුළින්. ලෝකයේ තිබෙන පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය ගැන කියවෙන සද්ධර්මය අසා දැනගත් ඔහු ඒ ධර්මය අවබෝධ කරගැනීම පිණිස තමන්ගේ චින්තනය මෙහෙයවනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධඥණයක් ලබාගැනීම පිණිස චින්තනය මෙහෙයවන ඒ ශ‍්‍රාවකයාව ඊලඟට හඳුන්වන්නේ “ධම්මානුසාරී“ නමින්. 

3. සෝතාපන්න ශ‍්‍රාවකයා… (සක්කාය දිට්ඨියන් සම්මා දිට්ඨියට..)

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රථම මාර්ගංගය හෙවත් සම්මා දිට්ඨිය ඇති වීම ජීවිතයට සත්‍යාවබෝධයේ අරුණාලෝකය, උදා වීමක් වැනි යැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා. ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාණය යි.

එනම් ”දුක” වශයෙන් අවබෝධ කළ යුතු ආර්ය සත්‍යයක් ඇති බවට තමා තුළ ඇති ඥාණය යි.

”දුකේ හේතුව වශයෙන් පවතින දෙය.” ප‍්‍රහාණය කළ යුතු ආර්ය සත්‍යයක් බවට තමා තුළ හටගත් අවබෝධ ඥාණයයි.

”දුකේ හේතුව නැතිවීම” සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍යයක් බවට තමා තුළ හටගත් අවබෝධ ඥාණය යි.

”දුකේ හේතුව නැතිවීම පිණිස ඇති මාර්ගය” ප‍්‍රගුණ කළ යුතු ආර්ය සත්‍යයක් බවට තමා තුළ ඇති අවබෝධඥාණයයි.

මෙය යි සම්මා දිට්ඨිය. ශ්‍රී සද්ධර්මය මේ සම්මා දිට්ඨිය ඇති වීමත් සමඟ ම ”සක්කා දිට්ඨි” තමාගේ වසගයේ යමක් පවත්වා ගතහැකිය වශයෙන් සිතේ මුල්බැසගෙන තිබුණ ආත්ම දෘෂ්ඨිය ප‍්‍රහීණ වෙනවා. තෙරුවන් කෙරෙහි සියලු සැක ප‍්‍රහීණ වෙනවා. අර්ථශූන්‍ය නොයෙක් සීලව‍්‍රත අනුගමනය කිරීමේ මානසිකත්වය ප‍්‍රහීණ වෙනවා. එවිට කිසිදා නොසෙල්වෙන ලෙස තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව සිතේ පිහිටනවා. අවබෝධයකින් යුතුව සිල් රකින කෙනෙක් බවට පත්වෙනවා. ස්ථිරව ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැසගත් කෙනෙක් බවට පත්වෙනවා. ඔහුගේ ජීවිතය අභ්‍යන්තරික අංග වශයෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥා යන අංග පිහිටනවා. ආර්ය අෂ්ටාංගයික මාර්ගයට පැමිණි තැනැත්තා යන තේරුමෙන් මේ ශ‍්‍රාවකයා සෝතාපන්න යන නාමයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. එතැන් සිට ඔහු නිවන් අවබෝධය කරන තෙක් ම නොනවතින චිත්ත දියුණුවක යෙදෙනවා. ඔහු කිසිදා අපා දුකට වැටෙන්නේ නෑ. සාන්සාරික ජීවිත හතකින් මෙපිට ස්ථිරව ම භව ගමන අවසන් කරනවා. 

සෝපාදිසේස සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සෝතාපන්න වූ ශ‍්‍රාවකන් තිදෙනෙක් පිළිබඳ ව...

* ඒකබීජී

ඔහු සීලය සම්පූර්ණ කරගෙන ඉන්නවා. සමාධිය සම්පූර්ණ කරගෙන නෑ. ප‍්‍රඥවත් සම්පූර්ණ කරගෙන නෑ. සංයෝජන තුනක් ප‍්‍රහාණය කරලයි ඉන්නේ. ඒ සංයෝජන තුන තමයි, සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජනයන්. ඒකබීජ යනු එක වතාවක් පැල වෙනවා යන තේරුමයි. ඒ කියන්නේ එක වතාවත් මනුෂ්‍ය ලෝකෙට එනවා.

* කෝලංකෝල

ඔහු සීලය සම්පූර්ණ කරගෙන ඉන්නවා. නමුත් සමාධියත් ප‍්‍රඥවත් සම්පූර්ණ කර ගන්න තියෙනවා. ඔහු පෙර කී සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප‍්‍රහාණය කරලයි ඉන්නෙ. ඒකබීජී සෝතාපන්න ශ‍්‍රාවකයාට වඩා ප‍්‍රඥාව ටිකක් අඩුයි. ඒ නිසා ආත්මභාව දෙකක් හෝ තුනක් මිනිස් ලොව හරි දෙව්ලොව හරි ඉපදෙනවා.

* සත්තක්ඛත්තුපරම

ඔහගේත් සීලය සම්පූර්ණයි. සමාධිය හා ප‍්‍රඥව තව වැඩිය යුතු වේ. ඔහුත් සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප‍්‍රහාණය කර ඇත. ඔහුට තවත් ඉතිරිව ඇත්තේ උපරිම වශයෙන් ආත්මභාව හතකි. කිසිසේත් ම අටවෙනි භවයක් නැත.

4. සකදාගාමී ශ‍්‍රාවකයා….

සකදාගාමී ශ‍්‍රාවකයන් තුළ කාම උපාදානය බලවත් ව පවතින්නේ නෑ. එහෙත් කාම උපාදාන නැත්තට ම නැතිවී නැහැ. දිට්ඨි උපාදාානයෙන් හා සීලබ්බත උපාදානයෙන් සම්පූර්ණයෙන් ම මිදීලයි ඉන්නේ. විසි ආකාර ආත්මදෘෂ්ඨිය ද නැහැ. එහෙත් මම ය මාගේ ය මගේ ආත්මය යන අදහස ඔහු තුළ පවතිනවා. එය අසත්‍යක් බව ඔහු දන්නවා. තමාගේ සිත තුළ ගොඩනැගෙන ඒ මායාකාරී හැගීම අවිද්‍යාව නිසා පවතින බව ඔහු දන්නවා. ඒ නිසා ම අවිද්‍යාව දුරු කරගැනීම පිණිසත් විද්‍යාව උපදවාගැනීම පිණිසත් වෑයම් කරනවා. ඒ ශ‍්‍රාවකයා කාම උපාදානයට තරමක් බැඳී සිටින නිසා කාම භවය සකස් වෙනවා. කාම භවය සකස් වන නිසා කාම ලෝකයේ උපදිනවා. ඔහු එක්වරක් මිනිස් ලොව හෝ දෙව්ලොව ඉපිද දුක් අවසන් කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස මේ වන විටත් ප‍්‍රහාණය වී ඇති අතර කාම රාග, පටිඝ තුනී වෙනවා. 

5. අනාගාමී ශ‍්‍රාවකයා…

අනාගාමී ශ‍්‍රාවකයන් තුළ කාම උපාදාන නැහැ. දිට්ඨි උපාදාන නැහැ. සීලබ්බත උපාදාන නැහැ. අත්තවාද උපාදානයේ විසි ආකාර සක්කාය දිට්ඨිය ද නැහැ. එහෙත් මම ය, මාගේ ය යන මතය අභන්තරීකව අනුසහගතව බල පවත්වනවා.එය මේ ආකාර යි. කිළිටි වස්ත‍්‍රයක් සබන් දාලා සෝදලා අලූත් කළ විට වස්ත‍්‍රය පිරිසිදු නමුත් සබන් ගඳ පවතිනවා. එහෙත් සුවඳ කපුරු යෙදූ අල්මාරියක, ඒ වස්ත‍්‍රය නවා තැබූ විට ඒ සබන් ගඳ ත් නැති යනවා. අනාගාමී ශ‍්‍රවකයින්ගේ මමත්වය, සේදූ වස්ත‍්‍රයේ සබන් ගඳ වගෙයි. ඔහු තුළ කාම උපාදාන නොමැති නිසා කාම භවයක් සකස් වෙන්නේ නෑ. ඒ නිසා කාම ලෝකයේ උපතක් නැහැ. එහෙත් අනුසහගත මමත්වය නිසා රූප ධාතුවේ හෝ අරූපධාතුවේ විඤ්ඤණය පිහිටනවා. චේතනාව පිහිටනවා. පැතුම පිහිටනවා. එම නිසා රූප භවය හෝ අරූප භවය සකස් සකස් වෙනවා. එවිට රූපාවචර බ‍්‍රහ්ම ලෝකවල හෝ අරූපාවචර බ‍්‍රහ්ම ලෝකවල උපත ලබනවා. එහිදී මමත්වයෙන් සහමුළින් ම දුරු වී උපාදානය නැති නිසා භවය නැතිවීමෙන් පිරිනිවන් පානවා.

සෝපාදිසේස සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අනාගාමී ශ‍්‍රාවකයන් පස් දෙනෙක් පිළිබඳව විස්තර කරනවා.

* අන්තරා පරිනිබ්බායි

කෙනෙක් සීලය සම්පූර්ණ කරලා, සමාධියත් සම්පූර්ණ කරලා, නමුත් ප‍්‍රඥව ඒ මට්ටමට සම්පූර්ණ වෙලා නෑ. හැබැයි ඔහු ඕරම්භාගිය සංයෝජන (යටි පැත්තට හැරිලා යන සංයෝජන එසේත් නැත්නම් කාම ලෝකය උපත සඳහා සකස් වී ඇති සංයෝජන) ප‍්‍රහාණය කරලා තියෙනවා. ඔහු මේ ලෝකයෙන් චුත වෙලා ආනාගාමී බ‍්‍රහ්ම ලෝකයේ උපදින විට ම පිරිනිවන් පානවා.

* උපහච්ච පරිනිබ්බායි

ඔහුගේ සීලයත් සම්පූර්ණයි. සමාධියත් සම්පූර්ණයි. ප‍්‍රඥව ඒ මට්ටමට සම්පූර්ණ වෙලා නෑ. ඕරම්භාගිය සංයෝජන පහම ඔහුටත් ප‍්‍රහීණයි. ඔහු අනාගාමී බ‍්‍රහ්ම ලෝකයේ ඉපදිලා ටික කලකින් පිරිනිවන් පානවා.

* අසංඛාර පරිනිබ්බායි

අසංඛාර පරිනිබ්බායි අනාගාමී ශ‍්‍රාවකයාගේ සීලයත්, සමාධියත් සම්පූර්ණ වී ඇත. ඔහුට ඉතිරි වී ඇත්තේ උද්ධම්භාගිය සංයෝජන පහ ප‍්‍රහාණය කිරීමටත් ප‍්‍රඥාව සම්පූර්ණ කරගැනීමටත් ය. අවිහ, අත්ප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ, ආදී අනාගාමී බ‍්‍රහ්ම ලෝකයක ඉපදී ටික කාලයක් ඉන්නවිට ලොකු උත්සහයකින් තොරව උද්ධම්භාගිය සංයෝජනත් ප‍්‍රහාණය වෙලා පිරිනිවන් පානවා.

* සසංඛාර පරිනිබ්බාය

සසංඛාර පරිනිබ්බායි අනාගාමී ශ‍්‍රාවකයාගේ සීලයත්, සමාධියත් සම්පූර්ණ වී ඇති අතර ඔහුට ඉතිරි වී ඇත්තේ උද්ධම්භාගිය සංයෝජන පහ ප‍්‍රහාණය කිරීමටත් ප‍්‍රඥාව සම්පූර්ණ කරගැනීමටත් ය. අනාගාමී බ‍්‍රහ්ම ලෝකයක ඉපදී ඉපදී මාර්ගයේ ඉතුරු කොටස සම්පූර්ණ කිරීමට වීර්යය කරනවා. එහි දී ම පිරිනිවන් පානවා.

* උද්ධංසෝත අකනිට්ඨගාමී

සීලයත්, සමාධියත් සම්පූර්ණ කර ඇති ඔහු ඕරම්භාගිය සංයොජනත් ප‍්‍රහාණය කොට ඇත. ඔහු මියගොස් අවිහ ලෝකයේ ඉපදෙනවා. අවිහ ලෝකයේ යම්තාක් ආයුෂ ඇද්ද, ඒ තාක්කල් එහේ ඉදලා පිළිවෙලින් අතප්ප, සුදස්ස, සුදස්සී, යන අනාගාමී බ‍්‍රහ්ම ලෝකවල උපරිම ආයුෂ පරිභෝජනය කරමින් ජීවත් වෙනවා. අවසානයේ අකනිට්ඨ බ‍්‍රහ්ම ලෝකයේ ඉපදී දස සංයෝජනය ප‍්‍රහාණය කරමින් මාර්ගය සම්පූර්ණ කොට පිරිනිවන් පානවා.

අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, උද්ධංසෝත අකනිට්ඨගාමී යන සියලූ අනාගාමී ශ‍්‍රාවකයාගෙන් සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ නම් වූ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජන සම්පූර්ණයෙන් ම ප‍්‍රහාණය වී තිබෙනවා.

6. අරහත් ශ‍්‍රාවකයා….

උතුම් අරහත්වය සාක්ෂාත් කරන ශ‍්‍රාවකයා සියලූ ආශ‍්‍රවයන් ක්ෂය කරනවා. බඹසර වාසය නිමා කරනවා. ක‍්‍රමානුකූලව පැමිණි ගමන් මගේ අවසානය සනිටුහන් කරමින් රාග, ද්වේශ, මෝහ මුළුමනින් ම ප‍්‍රහාණය කොට අනවරාග‍්‍ර සංසාර ගමන නිමා කරනවා. දස සංයෝජනයන් මුළිනුපුටා දමන ඒ ශ‍්‍රාවකයා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වී පිහිටුවාලන ශ‍්‍රී සම්බුද්ධ ශාසනය සම්පූර්ණ කරනු ලබනවා.

ඕරම්භාගිය සංයෝජන :- කාම ලෝකයේ සත්වයා බැඳ තබන සංයෝජනයන් ඕරම්භාගිය සංයෝජන කියලා හදුන්වනවා.

01. සක්කාය දිට්ඨිය – මම ය, මාගේ ය යන හැඟීම.
02. විචිකිච්චා – තෙරුවන කෙරෙහි සැකය.
03. සීලබ්බත පරාමාස – සීල ව‍්‍රත වලට වහල්වීම.
04. කාම රාග – පංචකාමයන් පිළිබඳ ඇති ආශාව.
05. පටිඝ – ක්‍රෝධය, විනාශකාරී හැඟීම.

උද්දම්භාගිය සංයෝජනය :- කාම ලෝකයෙන් ඉහළට (අවිහ, අත්ප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ* වැනි බ‍්‍රහ්ම තල වලට සත්වයා බැඳ තබන සංයෝජනයන් උද්දම්භාගිය සංයෝජන කියලා හදුන්වනවා.

06. රූප රාග – රූපයට බැඳීම.
07. අරූප රාග – අරූප තලයන් වලට බැඳීම
08. මානය – මාන්නයට බැඳීම.
09. උද්ධච්ච – සිතේ විසිරීමට බැඳීම.
10. අවිජ්ජාවයි – අවිදයාව.

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසරක් පුරා දේශනාකොට වදාළ මේ ශ‍්‍රී සද්ධර්මයේ ඒකායන අරමුණ, එනම්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය යි. අනුපිළිවෙලින් ඒ මග ගමන් කොට අප‍්‍රමාණ දෙව් මිනිසුන්, පිරිසක් සසර දුක් කෙළවර කරගත්තේ මේ ශ‍්‍රී සද්ධර්මයේ පවතින සන්දිට්ඨික බව නිසා ම යි.

ඉතිං ඒ සන්දිට්ඨික (මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි) ධර්මයක් අදටත් ඒ ආකාරයෙන් ම අපටත් අසන්නට ලැබෙනවා. අපිත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දී ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගනිමු.

තෙරුවන් සරණයි !!!

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X