ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

ඉස්සර කාලේ - බණ කී තාලේ


කලකට පෙර අපේ ගමේ-පන්සල්වල බණ පින්කම් පැවැති ආකාරය සිහි ගැන්වීමකි මේ.

ධර්ම දේශනාවක පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කරගැනීම මගින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟා වීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ටද එයින් ලෞකික සතුටක් ලබාගැනීම වුව උගහට නොවේ. එහෙයින් අතීත සිංහල ජනතාව ධර්ම දේශනා පින්කම් අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වගබලාගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ විට ඒ බැව් මැනැවින් පසක් වෙයි.
පැරණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති වකවානුවල බව ඉතිහාසය පිරික්සීමේදී පෙනෙයි. රජවරු, මැති-ඇමැතිවරු, සෙන්පතිවරු මෙම අවස්ථාවන්ට සහභාගී වූ බව පෙනෙයි. සතර පොහොය දිනයන්හි ධර්ම දේශනා පැවැත්වුණි. කළුවර පොහොය දිනක, කළු දිය පොකුණ අසල, කළුවර ගසක් යටදී, කළු බුද්ධරක්ඛිත තෙරුන් විසින්, කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව ඉතිහාසගත පුරාවෘත්තයකි.
එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහි ජනතාවද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස් වන ජනතාව උදෑසන වන තෙක් ධර්ම ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු වස්, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. දිවාකථික, පද භාණක, ධම්මකථික යනුවෙන් තුන් නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා, මඟුල්බෙර වාදන, ජාම කාසි එකතු කිරීම වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනියි. දිවා කථික හිමියෝ ජනතාව රැස් වන තුරු පොදු අනුශාසනාවන් පවත්වති. පදභාණක හිමියෝ මාතෘකා සූත්‍ර කිහිපයක් කටපාඩමින් දේශනා කරති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කරමින් ධර්ම දේශනා කරති.
ධර්ම දේශනා සඳහා ජනප්‍රිය සූත්‍ර ගණනාවක් තිබුණි. මහාවංසය වැනි වංසකථාවල සඳහන් පරිදි, දක්ඛිණවිභංග සූත්‍රය, දේවදූත සූත්‍රය, ගිලාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, අරියවංස සූත්‍රය වැනි සූත්‍ර දේශනා සහ ජාතක කථා දේශනාවන් ප්‍රධාන තැනක් ගන්නා ලදි. මෙම දේශනා උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබුණි. ‘වෝහාරතිස්ස’ රජතුමා අරියවංස දේශනා උත්සවය සඳහා දානය පිරිනැමීම සම්පූර්ණයෙන් භාර ගත්තේ ය. ‘තෝනිගල’ සෙල්ලිපියට අනුව ‘දේව’ නැමැත්තෙක් ‘කාලසුමනක’ නම් බැංකුවෙහි වී, උඳු මුං වැනි ධාන්‍ය තැන්පත් කොට එහි පොලියෙන් ‘යහිසපවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි. ‘ලබුඇටබැඳිගල’ සෙල්ලිපියට අනුව, පුද්ගලයෝ දෙදෙනෙක් කහවණු සියයක්ද, විස්සක්ද, තැන්පත් කර, එම පොලියෙන් ‘දේවගිරි’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනා පින්කමට ආධාර කරති.
පසු කාලයෙහි අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස් වී නව මුහුණුවරකින් එළිදකින්නට විය. ඒ අනුව ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, අභිධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගනියි. මෙම ධර්ම දේශනා ක්‍රමද අභාවයට ගොස්, නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතරෙහි සච්චක දමනය, ආලවක දමනය, යමරජුගේ නඩු තීන්දුව, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය යන මේවා ප්‍රධාන තැනක් ගනියි. ශත වර්ෂ ගණනාවක් නොකඩවා පවත්වාගෙන ගිය මෙම ධර්ම දේශනා ක්‍රමයන් අභාවයට ගොස්, ඉතිහාසයට පමණක් එක්ව තිබීම සංවේගයට කරුණකි. ජාතියත්-ආගමත් සම්බන්ධ වන බැම්මක් වශයෙන් පැවති මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලාද අද සොයාගැනීම අපහසුය. එහෙත් ඇතැම් පිටිසරබද ප්‍රදේශවල අදද මෙම දේශනා ක්‍රම නොනැසී පැවතීම වාසනාවකි.
හුදෙක් ධර්මාවබෝධය ලබාගැනීම පමණක් මේවා මගින් අපේක්ෂා නොකළ අතර, දැයෙහි සමගිය, සමාදානය, සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චාරිත්‍ර පිළිබඳ විමසීමේදී පෙනෙයි. මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනප්‍රිය වන්නටත්, ජනතාව මේවා නොකඩවා ග්‍රහණය කරගන්නටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් වහන්සේලා අනුගමනය කළ ක්‍රියාමාර්ග බෙහෙවින් බලපා ඇත. වත්මන් ධර්ම දේශනාවක් පැයකට පමණ සීමා වන බව කවුරුත් දනිති. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරා පැවත්වුණි. ගොවිතැන් කර, අස්වනු කපා, අටුකොටු පුරවාගත් සරුසාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත් වෙයි. නිදහසේ මෙවැනි පින්කම්වලට සහභාගි වීමට හැකියාව ලැබුණි. එයින් ඔවුහු අසීමිත ආස්වාදයක් ලැබූහ.
ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ ගැන ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමටද නැරඹීමටද ජනතාව බෙහෙවින් කැමැති විය. එවැනි දේශනාවක් පැවැත්වෙන බව ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි; දැන්වීම් පත්‍රිකා මගින්ද ප්‍රචාරය කරයි. මුද්‍රණ කටයුතු පහසුවෙන් කරගත නොහැකි එදා, අත් අකුරෙන් ලියන ලද දැන්වීම් මගින්ද ප්‍රචාරය කරයි.
‘සම්බුදු පියා දෙසු බණ ටික අහගන්න
බිහිසුණු අලව් යකු දමනය කරලන්න
දහ අට වන දිනය අමතක නොකරන්න
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන්න.’
මෙය අදට වසර හැටකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටාගත් කවියකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දින ගෘහිණියෝ වේලාසනින් ආහාර පිළියෙල කරති. අඳුර වැටෙත්ම පන්දම්, හුළුඑළි දල්වාගෙන කවුරුත් පන්සලට පැමිණෙති. එකල සොරසතුරු බියක් නොමැති බැවින් නිවෙස්වල දොරගුළු නොලා වුවද සියලු දෙනාටම පන්සලට පැමිණීමේ හැකියාව ලැබුණි. පන්සලට උචිත ඇඳුමින් සැරසීමට කවුරුත් වග බලාගත්හ. නොගැළපෙන ඇඳුමින් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක් වීමේ හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදු විය. බුදුන් උදෙසා මල් පහන් ගිලන්පස පිදීම විශේෂ විය. පංචතූර්ය වාදනය මැද්දේ එම කටයුතු සිදු විය. අනතුරුව මල් බඳුන් වෙන්දේසිය ආරම්භ වෙයි. කිසියම් ගමක නමක් කියා මල් බඳුනට මුදල් දමති. සියලු දෙනාම උත්සාහ කරන්නේ කිසිවකුත් නොකී ගමක නමක් කියා මුදල් දැමීමටය. මෙවැනි ක්‍රියා මගින් ගැමියෝ අහිංසක විනෝදාස්වාදයක් ලැබූහ. මල් බඳුන් අලෙවියෙන් පසු සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු වෙයි. මේ සියල්ල සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙනි. මේවා අතරට පන්තේරු නැටුමක් වැනි නැටුමක් ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කරගෙනය. ඒ සඳහා සුදුසු ශිල්පීන් ගමෙන්ම සොයාගත හැකි විය.
මෙම මූලික කටයුතුවලින් පසුව දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි හඬ මධ්‍යයේ අත්පුටුවෙනි. අත්පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහුවලින් අල්ලාගෙන පුටුවක් මෙන් සකස් කරගත් එම අත් මත දේශකයන් වහන්සේ වැඩි කරවාගෙන ඔසවාගෙන ධර්මාසනය මතට වැඩමවීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වැඩ හිඳීමෙන් පසු, මංගල භේරි නාදය පවත්වනු ලැබේ. රැස්ව සිටින සියලු දෙන එකපැහැර සාධු නාද පවත්වති. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතුය. පන්සිල් ඉල්ලීමට හැකියාව ඇති, හඬ නගා මිහිරිසරෙන් ගායනා කළ හැකි බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියෙහි දොහොත් මුදුනේ තබාගෙන,
බුද්ධමානි චිත්‍යපාද පුම්බුපේත රෝරුගම්
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම්
කාමනාථ සග්ග පාද නිබ්බුතේන අන්ත්‍යගම්
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමං’
යැයි ගායනා කරති. නැතොත්:
‘කොමල මල ලෙස දෑත දසැඟිලි පුදා පා මෙත ප්‍රේමයෙන්
නිමල මොළකැටි බොළඳ සුරතල් බසින් ආසිරි දී උතුම්
විපුල කළ සිත් සුදන අනුමැති ලත් මෙමා කළ අයදුමෙන්
සපල කර මුනි සරණ පන්සිල් දෙවන් යති කරුණා සිතින්
යැයි කවියෙන් කියමින් පන්සිල් ආයාචනා කරති. පන්සිල් ඉල්ලීමෙන් පසු නමස්කාරය කීමට අවසර ඉල්ලන්නේ මෙසේය: ‘පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම් ලත් මෙම මන්දිරේ
එවෙනි සව්සත දහම් අසමින් නිවන් පුරයට සන්තොසේ
දිව පුරට ගොස් ඉසුරු විඳිනට සැම සතුන්ටම සිද්ධවේ
මෙ-අපි සැමටම නමස්කාරය කියන්නට දැන් අවසරේ
මෙලෙස නමස්කාරය කීමට අවසර ඉල්ලා නමස්කාරය කියති. අනතුරුව පන්සිල් දෙති. පන්සිල් සමාදන් වීමෙන් පසුව දහම් දෙසන මෙන් ආරාධනා කරති. ඒ සඳහා කවි ගාථා රැසක්ම ඇත. මේ එවැනි කවි කිහිපයකි:
ගගන තල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳි සොඳ උඩු වියන්
අවට වට තරු විලස බබළන අඳුර දුරු කරලා පහන්
රුවට වගුරැළ පෙළට මලලොඹු දොරටුවල සැදි පුන් කලස්
එමැද වැඩ උන් බණ අසුන් පිට යතිඳු පා වැඳලා කියම්

අමිත සිරින් පිරි කුලග පසන් නර නාරිගණා රඳනා නිතිනා
සුපිපි කුසුම්තුරු මනනඳයෙන් සැදි පතළ මෙ-මායා රටෙහි මෙනා
අසල මෙ-ගම්වල වසන විගන්තර සහිත මෙ-නම් සුජනා බැතිනා
කරව දහම් සබ මැද බණසුන් වැඩහිඳි මුනි නන්දන ඔබ විසිනා

දිනා මුනි මරඟනා බිඳ බුදු වුණා දෙසු දම් තිසරණා
සනා දුක් සනසනා සව් සත සසර සයුරෙන් ගොඩ වුණා
ගුණාකාර දෙසු දහම් අම රස පොවන මෙන් දෙසනා මෙනා
මනා සිත් පින-පිනා ඔබ වෙත කරමි වැඳ ආරාධනා
මෙලෙස ආරාධනා කිරීමෙන් පසු දේශකයන් වහන්සේ ‘සග්ගේ කාමේච රූපේච ගිරිසිඛරතඨේ චාන්තලික්ඛේ විමානේ, දීපේ රට්ඨේච ගාමේ තරු වන ගහනේ ගේහ වත්ථුම්හි ඛෙත්තේ...’ ආදි වශයෙන් වර්තමානයේද භාවිත වන ගාථා කිහිපය දේශනා කිරීමෙන් දේවාරාධනය කරති. අනතුරුව පැරණි තාල අනුව නමස්කාර ගාථා කියති. එනම්:
‘සංපීන ලක්ඛණ විරාජති රූප සාරං
සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං
දේහං වරක්ඛිත භවන්තය ඤෙය්‍ය ලෝකං
ලෝකඤ්ඤුතං ජිනවරං සිරසා නමාමී

‘සන්තින්ද්‍රියං විත පාපමලං විසුද්ධං
සම්බුද්ධ සාසන නභේ විය පුණ්ණ චන්දං
යංඅග්ග පුග්ගල පවග්ග මහග්ඝ දානං
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමී’
අනතුරුව දීර්ඝ ‘චූර්ණිකාව’ කියති. මෙය අනුප්‍රාස සමාසවලින් සපිරි කියමනක් නිසා උවසු-උවැසියෝ සැදැහැයෙන් යුතුව අසාගෙන සිටිති. ‘ශ්‍රීමත් මධුරෝධාර ගම්භීර ධීර වීර වික්‍රම ප්‍රතාපාලංකෘතාති ප්‍රවර නෛක ගුණ ගණානුභාවෝත්පන්න...’ ආදි වශයෙනි.
මෙලෙස චූර්ණිකාව දේශනා කිරීමෙන් පසු ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ‘සංග්‍රහවක්’ කියයි. එය දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. ‘තොසින් ගුණ යුත් මහිංසාසක කුමාරව ඉපිද සිත කුකුස් තද අකුස්සක් වැනි රකුස් සක් හට ලෙව් පහන් වන දෙව් දහන් කියා තමන් මල්....’ ආදි වශයෙනි. මෙසේ පූර්ව කටයුතු රැසක් සිදු කිරීමෙන් පසු, මාතෘකා පාඨයක් හෝ සූත්‍රයක් කියති; ධර්ම අවවාද කරති; මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරති.
‘ආලවක දමනය’ වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනාවලදී බුදු හිමියන් සහ අලව් යකු අතර ඇති වන සංවාදය මගින් දහම් කරුණු ලිහිල්ව ඉදිරිපත් කරනු ලැබේ. අකුරු ශාස්ත්‍රය නොදත් බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් වටහාගත හැකිය. දහස් ගණන් සෙනග රැස් වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු බලා සිටිති. ඝෝරබිරම් හඬ නංවමින් අලව් යකු පැමිණෙන විට නින්දට වැටී සිටි ළමා ළපටියෝ බියට පත් වී හඬ නගති. එය ඉතා උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමගම
අලව් යකු දමනයට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යක්ෂයාට බිලි පිණිස පිළිගැන්වීමත්, යකු විසින් කුමරු බුදු හිමියන්ට පූජා කිරීමත් දකින සංවේදී කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩාවැටීම අනුවේදනීය දර්ශනයකි.
සියල්ල අවසන් වීමෙන් පසු ‘මෛත්‍රී වර්ණනාවෙන්’ ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. මෛත්‍රී වර්ණනාව මගින් පැවසෙන්නේ මෛත්‍රී බුදුන් දකින සහ නොදකින අය පිළිබඳවයි. ‘මවුන් මැරුවෝද, පියන් මැරුවෝද, රහතුන් මැරුවෝද, බුදුන් ඇඟින් ලේ සෙල්ලුවෝද, සංඝ භේදය කළෝද පවිටු සංඝයය යන මොවුහු අවීචි මහ නරකයෙහි උපදනා හෙයින් ඒ මෛත්‍රී බුදුන් දැක්ක නොහෙන්නාහුය. දාගබ් බිඳ බෝධි ශාඛා කපා රං පිළිම පොතු උපුටා බණපොත් සිඳබිඳ...’ මෙලෙස මෛත්‍රී බුදුන් නොදකින අය ගැන සඳහන් කරන අතර, ‘තවද බුදු සසුන් ඇති කරවන්නට ආධාර වූවෝ දකිති. ධම්ම කථිකයන්ට මණ්ඩප තනවා පිළිගැන්වූවෝද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත්මය...’ මෙලෙස මෛත්‍රී බුදුන් දකින අය සහ නොදකින අය හඳුන්වා දෙන්නේ මෛත්‍රී වර්ණනාව මගිනි.
පුණ්‍යානුමෝදනාව කිරීමෙන් පසු, හේවිසි මධ්‍යයේ දේශකයන් වහන්සේ පෙර පරිදිම අත්පුටුවෙහි තබාගෙන පන්සල තුළට වැඩමවනු ලබති. මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම සකස් වී තිබූ ක්‍රමයි. මෙවැනි සත්කාර්යයන්ගෙන් එදා ජනතාව මෙන්ම මහා සංඝරත්නයද බලාපොරොත්තු වූයේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය වැනි කරුණු මිස යම් යම් ලාභ ප්‍රයෝජන අත් කරගැනීම නොවන බව පැහැදිලිය.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X