ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

අට මහා නරකය

මහත් පිං කොට දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් සිටිය දී එක් දිනක උදයේ එම දිව්‍යාංගනාව ආයු නිම වීමෙන් දෙව් ලොවින් චුත විය. එම දිව්‍ය පුත්‍රයා ඇයව සොයමින් සිටි අතර එම කාලයේ දී එම දිව්‍යාංගනාව මනු ලොව ස්ත්‍රියක් ව ඉපිද දරුවන් කිහිප දෙනෙකු ම හදා වඩා ලොකු මහත් කොට සියලු යුතුකම් ඉෂ්ඨ කොට අපරිමාණ වැඩ කොටසක් කර සැත්තෑ ගණනක ආයු වළදා බොහෝ පිං තිබූ හෙයින් පෙර පරිදි ම දිව්‍යාංගනාවක් ව ඉපදුණාය.
එවිට පෙර කී දෙවියා ඇයගෙන් විමසා සිටියේ ,, ඔබ ව මම අද උදේ හෙව්වා. ඔබ කොහෙද සිටියේ?,, කියා ය.
මෙම කථාවෙන් අපට උගත හැක්කේ කුමක් දැ යි ප්‍රඥාවන්ත ඔබට වැටහෙනු ඇත.
මනුලොව ජීවත් වන අපට හිමි ව ඇත්තේ ඉතා ම සීමිත කාලයක් බව මින් වැටහේ. එම කාලයේ දී අප කරන්නේ කුමක් ද? දස අකුසල් කරමින් අපාගාමී වීමේ අකටයුතුකම් ම කරමින් සිටීම දියුණු යයි සම්මත නූතන සමාජයේ දක්නට ලැබෙන දෙයකි.
ඔබ අප ගෙදර බුදුන් වූ, ඉතාම කෙටි මුත් මෙවැනි වටිනා මිනිසත් භවයකට අත දුන් අපගේ දෙමව්පියන්ට සලකන්නේ කෙසේ ද? ගුරුවරු, උපද්‍යායන් වහන්සේලාට අගෞරව කරන්නේ නොසලකා හරින්නේ කෙසේ ද?
මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට කාලසූත්‍රය නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 1,000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් යනු = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා අවු. 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) නිරි සතුන්ව කෑලි කෑලි බවට පත් කරයි. ආයුෂ ගෙවෙන තෙක් එතන ම නැවත නැවත උපදී.
ඉහත පරිදි ඉතා ම තාවකාලික ව ජනිතව සිටින අප මේ පොළෝ තලයේ භූමි කොටසක් වෙනුවෙන් මිනී මරා ගන්නේ කෙසේ ද?
ඉහත පරිදි අනාරාධිත ව ම තම කුසට පැමිණි, අතිශයින් ම තාවකාලික සම්බන්ධයක් වූ තවත් එක් ජීවයක් පමණක් ම වූ තම දරුවා වෙනුවෙන් අල්ලපු ගෙදර මවගේ කුසෙහි ජනිත වූ එවැනි ම දරුවකුට කරන අකටයුතුකම් කෙසේ වන්නේ ද?
තම කුස රැක ගැනීමට හෝ සුළු මොහොතක ආරක්ෂාවක් වෙනුවෙන් හෝ අප වැනි ම සසර ඇවිදින තවත් ප්‍රාණියකු ඝාතනයට ලක් කරන්නේ කෙසේ ද? 
මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට සංජීව නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 500 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) සතුන්ට නොයෙක් විධ හිංසා කරන්නන් ද සංජීවයේ ඉපදේ.
ගව ඝාතන ආදිය කරන්නන් සංගාත නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 2000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. වැදි පවුල්වල අය ද උපදින්නේ එහි ය. පොලු මුගුරු අවි ආයුධ දරන්නන් මෙහි ඉපදී එහි ඇති ගල් කුළුණු නිරි සත්ත්වයා මත පතිත වීමෙන් මරණයට පත් වී නැවත නැවත එතන ම උපදී.
ඉතා ම ක්ෂණයක වැනි කාලයක විනෝදයක් ප්‍රීතියක් වෙනුවෙන් සිල්වත් ගුණ උතුමන් වහන්සේලාට නිග්‍රහ කරමින් හැසිරෙන්නේ කෙසේ ද?
ඉහත සදහන් කළ කාලසූත්‍රය නම් නරකයේ උපදී.
අනුන් රවටමින් චිත්ත පීඩාදිය දෙමින් ජීවත් වන්නේ කෙසේ ද? 
ඔවුන් රෞරවයේ නිර අවුරුදු 4000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. බොරු සාක්ෂි දෙන්නන් ආදිය නිරි සත්ත්වයන් ව ඉපිද ඔවුන්ගේ නව දොරින් ගිනි ජාලාවන් ඇතුළු වෙමින් ඔවුන්ව දවාලයි.
තුණුරුවන් සතු දේපොළ ගනිමින් පොදු දේපොළ කඩමින් ජීවත් වන්නේ කෙසේ ද?
ඔවුන් මහා රෞරවයේ නිර අවුරුදු 8000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.
මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද? නිවැරදි ජීවන රටාවෙන් ඈත් ව ජීවත් වන්නේ කෙසේ ද? අනුන්ගේ බෙල්ල කපා තමාගේ උසස් වීම සකසා ගන්නේ කෙසේ ද? 
ඔවුන් තාපයේ නිර අවුරුදු 16,000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.
බුදු රජාණන් වහන්සේ නැහැ, බුදු දහම නැහැ, සංඝයා වහන්සේ නැහැ ආදී තුණුරුවන් කෙරෙහි විශ්වාසයක් නොමැති ව දානයේ ආදියේ ආනිශංස නැත ආදී මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද?
ඔවුන් මහා තාපයේ අන්තර් කල්ප භාගයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.
මේ කෙටි කාලය වෙනුවෙන් (පංච) ආනන්තරීය පාප කර්ම කරමින් ජීවත් වන්නේ කෙසේ ද?
ඔවුන් අවීචියේ මහා කල්පයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.
අන්තර් කල්පය යනු :-
මිනිස් ආයුෂ උපරිම අවුරුදු 10 ක් වූ කාලයේ සිට -------> අසංඛෙයියක් වී ---------> නැවත මිනිස් ආයුෂ පිරිහී උපරිම අවුරුදු 10 ක් වීමට ගත වන කාලය යි.
එවැනි අන්තර් කල්ප 64 ක් -------> අසංඛෙයිය කල්පයකි.
එවැනි අසංඛෙයිය කල්ප 4 ක් -------> මහා කල්ප 1කි.
(මෙවැනි මහා කල්පයක් වූ අප ජීවත් වන මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 4 දෙනෙකු බිහි වී ඇත.
1. කකුසද සම්මා සම්බුදු රජාණන් වහන්සේ
2. කෝනාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේ
3. කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ
4. ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
5. මෙම මහා භද්‍ර කල්පය ඉවර වීමට පෙර මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ බිහි වීමට නියමිත ය.
(පංච) ආනන්තරීය පාප කර්ම කර අවීචියට ගිය විට, එවැනි කල්පයක් තුළ මෙසේ බිහි වන එක් බුදුවරයකු ද දක්නට ලැබෙන්නේ නැත. ධර්මය අසන්නට ලැබෙන්නේ නැත.
මෙය ඉතාම කෙටියෙන් කළ ඊමේල් පණිවිඩයක් බව සිහිපත් කර ගත යුතු යි. මෙම නිරයවල් කොටස් කර 136 ක් ලෙස දක්වා ඇත. (එකකට ශාඛා (ඔසුපත් නිරයවල්) 16 ක් බැගින් 8 ට ම 128 ක් ද ඊට මහා නිරයවල් 8 ද එකතු වීමෙන්)
මෙය අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සර්වඥ ඥාණයෙන් දකිමින් දේශනා කරන ලද්දකි. මෙලොව දී සමත් කරන ලද විභාගයකින් ලත් දැනුමකින් මෙම ධර්මය හසු නොවන බව සිහිපත් කර ගනිමින් ප්‍රථම ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි සම ශ්‍රද්ධාව ඇති කර ගන්නා ලෙස මතක් කර සිටිමු. ඔබට ද භාවනා කොට සිත දියුණු කර මේ තත්ත්වයන් දැකිය හැකි පුද්ගලයකු විය හැකි ය.
දිගින් පළලින් යොදුන් 100ක සම සතරැස් ප්‍රදේශයක් එක් මහා නිරයකට අයත් වේ. යොදුන් 9ක ඝනකම සහිත බිත්ති සහිත ය. මේ සෑම නිරයක් ම යොදුන් 15,000ක් පරතරය බැගින් යටට යටට පිහිටා ඇත. මෙහි ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධානව දක්වා ඇති අකුසල කර්මයන් පමණක් බව මතක තබා ගත යුතුයි.
මෙම නිරයවල් පැත්ත නො දැක ම සිටීමට නම් අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වීම අනිවාර්්‍යය. ඊට කුසල් මද නම් ඔබගේ උත්සාහයන් ඊළග භවයක දී එය මුදුන්පත් කර ගැනීමට උපකාරී වනු නියත යි.
Sabbe Saththa Bhawanthu Sukhithattha
"සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා "
Path to Nirvana

අටමහා නරකය ගැන දැනගන්න

පින්වත් මිතුරනේ..
අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.

ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට "ලෝකවිදූ" කියලා කියන්නේ.

උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද?

"භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

පින්වත් මිතුරනේ.. මෙය බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කළ අනුශාසනයක්.

"පින්වත් මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි."

මේ දුර්ලභ කාරණා අපට ලැබී තිබෙනවා නේද? අපට ඒ සිරිසදහම් අසන්නට ලඅබුන නිසා තමයි මේ නිරය ,තිරිසන්,ප්‍රේත,අසුර ඒ වගේම දෙව්ලොව ගැන පවා තොරතුරු අපි දන්නේ.. ඉතින් ඒ අප සරණගිය ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් විශ්මිත අවබෝධ‍යන් යුතුව දේශණා කළ , නිරයන් පිළිබද විස්තරයක් මේ ලිපියෙන් මම කියන්නයි සූදානම්.

පින්වත් මිතුරනේ..

තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,

කාම භවය
රූප භවය
අරූප භවය.

මෙහි කාම භවයට,

සතර අපාය
මිනිස් ලොව
දිව්‍යලෝක හය , ඇතුළත් වෙනවා.

‍‍සතර අපාය කියන්නේ,

නිරය
තිරිසන්ප්‍රේත
අසුර ලොක වලට යි.

මේවා කරුණු විදිහට ලියන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගැනීම පිණිසයි.

නිරය

බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශණා කර තිබෙනවා. මේ නිර අතුරින්,
සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් තිබෙනවා. මේ නිරයන හතරැස් හැඩයෙන් යුක්ත යි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16ක් ති‍බෙනවා.

සඤ්ජීව නිරය - යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි වලට කපද්දී ත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැදින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමග කොළාහළ කළ, දුලභයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජීව නිරයේ උපදිනවා.

කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාල සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට, ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විදිනවා.

සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරලී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුනු විසුනුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විදිනවා.

රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරු වලට ඇතුලු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඩ දෙන සත්වයන්ගේ හඩ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.

මහා රෞරව නිරය - අතිශයින්ම දරණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා. තුණුරුවන්ට අයති, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.

තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල් වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විදිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනිතැබූ අය මෙහි උපදිනවා.

ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විදිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෟෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.

අවිචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැලි වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන්ද සිටිනවා.ගිනිදැල් වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන්ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනත්තරීය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශකළ, බෝධි රුක්ෂයන් විනාශකළ, බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැර ගත්, මිත්‍ර ද්‍රෝහීන් , භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය සහ මිත්‍යාදෟෂ්ඨිකයින් එහි උපදිනවා.

කුඩා නිරයන් - ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලීවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකෑරුණු අසුචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන , උණ ගස්,පොළ ගස්,තල් ගස් පමණ මහත පණුවන් ගැවසීගත් තැනක්. කුක්කුල නිරය කියන්නේ, යටින් ගිනි අගුරු ඇති අළු වලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලීවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි. තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැන වදාළා.

ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අදුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැ‍ටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට.

එසේ මේ තුන් ලොවම කම්පා කරවමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධශාසනයක යි අප මේ ඉන්නේ. ඒ ගෞතම බුද්ධශාසනය යි.

මේ ගෞතම බුද්ධරාජ්‍යය තුළ, මෙකළ මනු ලොව උපන් පින්වත් මිනිසුනේ , ඔබට නැවත සතර අපායට නොවැටෙන්නටත්, සතර අපා දුකින් මිදෙන්නටත්, ගෞතම සසුනේ පිහිට ලබන්නටත් උතුම් වු තිසරණයේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා..!

තෙරුවන් සරණයි !
සටහන - චමින්ද ජයවර්ධන

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X