ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

දේවදූත සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
චෝදිනා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා
තේ දීඝරත්තං සෝචන්නි හීනකායුපගා නරා

දේවදූතයන් විසින් මෙහෙයවනු ලබන යම් කෙනෙක් කුසල් කිරීමෙහි ප්‍රමාද වෙත් ද ඔවුහු අපායා දී හීන ගතිවලට පැමිණ දීර්ඝ කාලයක් ශෝක කෙරෙති යනු ඉහත සඳහන් ගාථාවේ අදහසයි.
දේවදූත සූත්‍රය හැඳින්වීම
දේවදූත සූත්‍රයෙන් කුසාලකුශලකර්ම පිළිබඳවත්, ඒවායේ කර්ම විපාක පිළිබඳවත්, පවුකරන්නාට මතුවට සිදුවන නිරාදුක් පිළිබඳවත්, විග්‍රහ කෙරේ. මේ සූත්‍රය මගින් පවෙහි විපාක දක්වා, එහි බිය උපදවා, රටවැසියා පාපයෙන් වළක්වා ගැනීම අපේක්‍ෂිත අරමුණ වේ.
බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ භික්ෂූන් අමතා කළ ධර්ම දේශනාවකි. දොර සහිත වූ ගෙවල් දෙකක් යම්සේ පිහිටා තිබේද? ඇස් ඇති මිනිසෙක් එහි මැද සිටිනා විට ගෙට පිවිසෙන්නා වූද, ගෙයින් නික්මෙන්නා වූද ගෙහි ඇවිදිනා, ඔබමොබ හැසිරෙන මිනිසුන් දකියිද? එපරිදි බුදුරදුන්ද මිනිසැස ඉක්මවා සිටි, දිවැසින් මියයන, උපදින, හීන ප්‍රණීත සුවර්ණ දුර්වණ ඇති සත්වයන් දකින ශක්තිය ඇති බව දේවදූත සූත්‍රය ආරම්භ කරමින් බුදුරදුන් වදාළ බව සඳහන් වේ.
බුදුරදුන්ට දිවැස් ඇති නිසා චුතවන, උපදින, කම් වූ පරිදි මිය යන, සත්ත්වයන් දක්නා බවත්, කාය, වාග්, මනෝ, දුශ්චරිතයෙන් යුතු පුද්ගලයන් මරණින්මතු නරක, තිරිසන්, පේ‍්‍රත ලෝකවල උපදින බවත්,දේශනා කර නිරයට පැමිණෙන පුද්ගලයන් යමරජතුමා

1. උඩුකුරුව සයනය කරන ළදරුවා
2. මහලු වී දුක්විඳින පුද්ගලයා
3. රෝගාබාධ වැළඳී මළ මුත්‍රවැකී අප්‍රමාණ දුක් විඳින්නා.
4. රාජ අපරාධ සිදුකර දෙතිස් වධ විඳින්නා.
5. මිය ගොස් දින දෙකක්, තුන්ක ඉකුත් වු ඉදිමී නිල්ව සැරව වහනය වන මළ සිරුර

යන දේවදූතයන් පස්දෙනා දැක, ඒවායින් වැළකීම සඳහා තිදොරින් කුසල් නොකිරීමේ වරදට,පුද්ගලයාම වගකිව යුතු බව පවසා ඔහුට අපාදුක් පමුණුවන ආකාරය විස්තර වේ.
මේ අනුව දේවදූත සූත්‍රයෙන් යම රජු හා අපාය පිළිබඳ විස්තරයෙන් ජනතාව පිනට දහමට පොළඹවයි. පවෙහි ආදීනව පවසා ලක්වැසියා පවින් වැළැක්වීම අරමුණු කරගෙන තිබේ.
………………………………………

දේවදුත සුත්‍රය
1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනියි, භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක.ඒ භික්‍ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
2.´´මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද,හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්‍ණඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්‍මය වූ පරිදි පැමිණියා වූ සත්‍වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආය්‍ර්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෟෂ්ටි වූවාහුය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්‍ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආය්‍ර්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෟෂ්ටික වූවාහූය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.
3. ´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආය්‍ර්‍ය හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්‍වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආය්‍ර්‍යයන්හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දුෂ්ටික වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.
4.´´මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ´දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක´´ ´´ළදරුවෙකු නුදුටුවෙහිද?´´ ´´හෙතෙම ස්වාමින්, දුටුවෙමියි´ කියයි.
´මහණෙනි, යම් රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවිද? හෙතම ´ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිම්. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමා වූවහුට යම් සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්‍මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මේ පාප කර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය´´.
5. ´´මහණෙනි, යම රජ තෙම මේ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජකය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´´එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම ´´ ස්වාමින්, නුදුටිමියි´ කියන්නේය. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති,තල කැලලින් යුත් සිරුරැති, සත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම ´ස්වාමින්, දුටුවෙමියි, කියයි´´.
6.´´මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. එබැවින් මම කයින්, වචයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවිද? හෙතෙම ස්වාමින්, ´´ කුසල් කරන්නට නොහැකි විමි. ස්වාමින් පමා විමියි.´´ කියන්නේය. මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´´එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින් වචනයෙන්, සිතින් කුසල් නොකෙළහි නම් එම්බා පුරුෂය, යම් සේ පමා වූවහුට යම් සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ පාප කර්‍මය මව විසින් නොකරණ ලදි. පියා විසින් නොකරණ ලදි. සහෝදරයා විසින් විසින් නොකරණ ලදි. නැගණිය විසින් නොකරණ ලදි. යහඵ මිත්‍රයින් විසින් නොකරන ලදි. සහ ලේ නෑයන් විසින් විසින් නොකරණ ලදි. මහණ බමුණන් විසින් විසින් නොකරණ ලදි. දෙවියන් විසින් නොකරණ ලදි. මේ පාප කර්‍මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විදිනෙහිය.
7.´´මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේය. කියා තුන් වන දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිද? හෙතම ස්වාමින් නුදුටිමියි´ කියයි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ දුකට පත්වූ දැඩි ගිලන් ඇත්තාවූ, සවකිය මල මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි´ අසන්නේය. ´ ස්වාමින්, දුටුවෙමියි´ කියයි. මහණෙනි, ඔහුට යම රජ තෙම
´එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවිම ස්වාභාව කොට ඇත්තේ වෙමි. ලෙඩවිම නොඉක්මවුයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක්, කරමි. කියා අදහස් නොවුයෙහිදැයි අසන්නේය. හෙතෙම ´´ස්වාමින් කුසල් කරන්නට නොහැකිවිම. ස්වාමිනි පමාවිමයි.´ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවු බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයෙක් නොකෙළහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම් සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්‍මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහඵ මිත්‍රයින් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ නෑයින් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්‍මය කරණ ලදි. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විදිනෙහිය.´
8.´´ මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව් වන දේවදුතයා දක්වයි. පිළිගන්වයා. කරුණු කියා සිව්වන දේවදුතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදුතයා නුදුටුවෙහිද?´ හෙතෙම
´ස්වාමීනි, දුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙන රජුන් විසින් නෛායෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලඬ්ගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඬ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්‍ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතවඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපීඨක නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන්, දුටුවෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, දුටුවෙමි´ යි කියයි. ්‍යාත්මිකවූද බාහිරවූද සෑමදෙයක අනිත්‍යාදී ස්වභාවය දකින්නෙම්ද?
9. ,මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්‍වයෝ මේ ආත්මභවයෙහිම මෙබඳු කම් කටොලු කරවනු ලබත්. පරලොවදී කියනු කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ´ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරන ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරන ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ් නෑයන් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරන ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.
10. ,මහණෙනි, යම රජ තෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දේවදූතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනි, නුදුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ´යි අසන්නේය. ´ස්වාමීනි, දුටිමි´ යි කියයි. ´එම්බල පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙමි නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි´ යි කියයි. ´එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන්, සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ´එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය. ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරන ලදී. පියා විසින්ද නොකරන ලදී. සොහොයුරු විසින්ද නොකරන ලදී. නැගණිය විසින්ද නොකරන ලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරන ලදී. සහලේ් නෑයන් විසින්ද නොකරන ලදී. මහණ බමුණන් විසින්ද නොකරන ලදී. දෙවියන් විසින්ද නොකරන ලදී. මේ පාප කර්මය තා විසින්ම කරන ලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳිනෙහිය. ,මහණෙනි, යම රජ තෙම, මේ පස්වැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.
11. ,මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤචවිධ බන්‍ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්‍වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. යම්තාක් කල් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.
12. ,මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි
1. කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.´´
2. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
,මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙනහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු බිත්තියෙහි හැපෙයි. දකුණු බිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු බිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය´´.
13. ,මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘත වේද, එබඳු කාලයක් වන්නේය. එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය´´.
14. ,මහණෙනි, දීර්‍ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි.
ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.
15. උතුරු දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.
16. දකුණු දොරටුව විවෘත වේද, හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.
17. ,මහණෙනි, දීර්‍ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැගෙනහිර දොර විවෘත වෙයිද,
හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එහි දොරටුවෙන් නික්මෙයි.
18. ,මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ,මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්මය යම්තාක්ද ඒතාක් කල් නොමැරෙන්නේය.
19. ,මහණෙනි, ඒ ගූථ නරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.´´
20. ,මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාප කර්‍මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.
21. ,මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද
කපත්. අත් පා දෙකම කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.

22. ,මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්‍ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.
23. ,මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි අසන්නාහ. හෙතෙම ´ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඒ මේ තිරිසනාගේ , ගිනිගෙන දිලිසෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නාවූ රත්වූ ලෝහ ගුලියක් කටෙහි දමත්. ඔහුගේ තොලද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.
24. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ
කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

,මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.
25. ,මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටලු කරනු ලබත්. ´මම මනුෂ්‍යාත්මයක් ලබන්නේ නම් අර්හත්වූ, සම්‍යක් සම්බුඬවූ සර්‍වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්‍ම දේශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය දැනගන්නෙම් නම් යහපති´ කියායි.
,මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දැක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය එයම මම කියමි.´´
26. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෘාන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.
1. ´´දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සඬඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.´´
2. ´´මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආය්‍ර්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.´´
3. ´´ ඔව්හු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්‍ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.´´
4. ´´නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්‍වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.´´
අග්ග මහා පණ්ඩිත, 
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි
එක කල්පයක් තුළ පමණක් මෙලෙස ඉපදි ඉපදී මැරි මැරී යන එක් අයකුගේ ශරීර ඇටසැකිලි කොටස්වල ප්‍රමාණය කොපමණ වෙයිද ?
ඔව්, එක කල්පයක් තුළ වුණත් අපි විවිධ ආත්මභාව ලබා උපන් ශරීරවල ඇට සැකිලි කොටස් මේ විශ්වය පුරා විසිර තිබිය හැකියි. ඒ අතරින් ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ එම පූර්ව ආත්මවල ශරීර කොටස් නූතන ඩී. එන්. ඕ. තාක්‍ෂණයෙන් හරි, මෝහණ විද්‍යාවෙන් හරි සොයා හඳුනාගත හැකි නම්, ඒවා එකතු කර ගොඩක් ගැහුවොතින් ඔබ පුදුම වනු නියතයි. ඒ තරමටම ඔබ විවිධ ආත්මභාවවල ඉපද ඉපදී මැරි මැරී යනවා.
මෙලෙස අපි විවිධ ආත්මභාව ලැබ උපන් ශරීරවල ඇට සැකිලි ඇසුරෙන් කල්පයක විශාලත්වය පිළිබඳව අප ගෞතම බුදු රදුන් ද පෙන්වා දී තිබෙනවා. ඒක සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායෙහි එන කුඩා ග්‍රන්ථ 15 න් එකක් වන “ඉතිවුත්තක” කථා පෙළෙහි විස්තර කර ඇත්තේ මෙසේයි.
“එක් කල්පයක් තුළ රැස් කරන ලද එක් පුද්ගලයකු උපන් ජාතීන්ගේ (ආත්මභාවයන්හ) ශරීරවල ඇටසැකිලි සමූහය එක් කළ (ගොඩ ගැස) විට රජගහනුවර මේ වේපුල්ල පර්වතයට සමාන වෙනවා”
වේපුල්ල පබ්බත හෙවත් පර්වත කන්ද කියන්නේ අසල්වැසි දඹදිව රජගහනුවර පිහිටි ප්‍රධාන කඳු පහ (05) අතරින් විශාලම කන්දටයි. ඉතින් අප එක කල්පයක් තුළ පමණක් එපමණ ආත්ම ගාණක් ඉපදී මැරෙනවා.
සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවරදීම ඊට පෙරත් අප බෝසතුන් ශරීරය අතැර ගොස් තිබෙනවා ද ?
ඔව් උන්වහන්සේ කුසිනාරාවේදී අවස්ථා කිහිපයකදීම ශරීර නික්‍ෂෙපය හෙවත් සිරුර අතහැර යාම (පොළවට බහාලීම) සිදු කර ඇති බව “මහා සුදස්සන සූත්‍රයෙහි” දැක්වෙනවා. දීඝ නිකායට අයත් 17 වන සූත්‍රය ලෙස සැලකෙන මෙම “සුදස්සන සූත්‍රයෙන්” මෙබඳු විස්තරයක් කර තිබෙනවා.
‘කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී ආනන්ද තෙරුන් බුදු රදුන් වෙත ගොස් මෙසේ කීය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කුඩා නුවරක් වූ නොසම නුවරක් වූ ශාඛා නගරයක් වූ මේ කුඩා කුසිනාරා නුවර පිරිනිවන් නොපාන සේක්වා.”
“ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නගරයයි, මෙසේ නොකියව, පෙර කාලයක අභිෂේක ලැබුවාවූ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන් මහා සුදස්සන නම් රජෙකු මෙහි විය. ඔහුගේ මේ කුසාවතී නමැති පුරාණ රාජධානිය සියලු සම්පතින් සමෘද්ධිමත්ව පැවතිණ.
ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව. සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ.
ආනන්දය, මම වනාහී මේ ප්‍රදේශයෙහි මීට පෙර හය වාරයක්ම ශරීරය නික්‍ෂෙපය (සිරුර අතහැරීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මික වූ ධර්මරාජයන් වූ චක්‍රවාළය (සක්වළ) කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජය ගත්තා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පැමිණියා වූ සප්තවිධ රත්නයෙන් යුක්ත වූ සක්විති රජ කාලයන්හිමය. මේ මාගේ සත්වෙනි ශරීර නික්‍ෂෙපය (සිරුර අතහැරීම) වන්නේය.
ආනන්දය, දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිතවූ දෙව් මිනිසුන් සහිත වු ලෝකයෙහි (සක්වළෙහ ) යම් තැනක්හි තථාගත තෙම (බුදුන් ) අටවෙනි වර ශරීර නික්‍ෂෙපය (ශරීර කොටස් දැමීම) කරන්නේ ද එබදු වූ ප්‍රදේශයක් කිසිම සක්වළක මම නොදක්නෙමි යි “ වදාළ සේක.
එතකොට, අද සිටින සිත දියුණු කළ භාවනා යෝගීන්ට වුණත් මේ කල්පය තුළ තමන් උපන් අතීත ආත්මභාව දකින්න බැරිද?
දැන් ඔබ හිතලා බලන්න. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ එකම නගරයක් තුළ හත් (07) වතාවක්ම ඊට ආසන්න විවිධ ආත්මභාවවල ඉපදී ශරීරය අතහැර ගියා නම්, අපි කල්පයක් තුළ විවිධ තැන්වල අපේ ශරීරවල ඇට කටු ඉතිරි කර මැරි මැරී යන්නට ඇතිද ? අපේ භවයේ (සසර) ඇති දිගු බවත් කල්පයක පවතින දීර්ඝ බවත් බුදුහාමුදුරුවෝ තවත් තැනක මෙලෙස විග්‍රහ කර තිබෙනවා.
“මහණෙනි, තමන්ගේ අතීත ජාති (පූර්ව ආත්ම) සිහිපත් කළ (ස්වයං මෝහනය) හැකි වන සේ “ පුබ්බේනිවාසානුස්සති ඤාණය” ලැබූ මහා ශ්‍රාවකයන් සතර නමක්, වෙනත් සියලුම කටයුතු නවතා දමා ඉතා වේගයෙන් ඔවුහු පෙර ජාති (ආත්ම) සිහි කරන්නාහු, එහි එක දිනකට එක කල්පයක ජීවිත සිහිපත් කොට අවසන් කළහොත්, මේ ලෙසින් අවුරුදු සියයක් ගත කිරීමට උන් වහන්සේලාට හැකි වුවත්, උන්වහන්සේලාගේ සියලු කාලය ගෙවී අවසන් වන්නේ මුල (ආරම්භය) නොදැකමයි.”
එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?
එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?
ඔව්, හැම කල්පයක්ම එකිනෙකට වෙනස් වෙනවා. දැන් අපි මේ ගත කරන්නේ මහා භද්‍රකල්පයකයි. ඉනික්බිතිව, නිර්මාණය වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පාවලියක්. ඒ කියන්නේ මේ භද්‍ර කල්පයේම මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙන් පසු කල්ප ගණනාවක් ඉදිරියට බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ නොවන මිසදිටු අඳුරින් පිරුණු කල්ප ශුන්‍ය කල්ප ලෙස හැඳින්වෙනවා. මේ වගේ බුද්ධොත්පාද කාල අශූන්‍ය කල්ප වශයෙන් දැක්වෙනවා. මෙම අශූන්‍ය කල්ප සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ හා මහා භද්‍රකල්ප යනුවෙන් වර්ග කෙරෙනවා.
(1) මිස දිටු ශුන්‍ය කල්පයකට වඩා සාරගුණ උපදින කල්පය “සාර කල්පය” යි. මිථ්‍යා දෘෂ්ටියෙන් තොරවූ සාර කල්පය ශූන්‍ය කල්පවලට වඩා ගුණධර්මවලින් සාර වෙනවා.
(2) කන් දෙකටම කණ්ණාභරණ පැළැදීමෙන් මනා ලෙස සැරසිය හැකි ලෙස බුදුවරුන් දෙදෙනෙකු එක කල්පයක් තුළ පහළ වීමම ලොවට බුද්ධ මණ්ඩපයක් වැනියි.
(3) අසිිරිමත් බුදු උපත් තුනක වර, ලැබීමෙන් වර කල්පයේ මිනිසුන් බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙහි පළමුව පහළ වන බුදුන් මීළඟ බුදුන්ගේ ගුණත්, දෙවනුව පහළ වන බුදුන් තෙවැනි බුදුන්ගේ ගුණත් පවසනවා. එමගින් බුදුගුණ රැසක් ඇසීමට වර කල්පයේ මිනිසුන්ට වරයක් (භාග්‍යයක්) ලැබෙනවා.
(4) මේ සියලු කල්පවල උපත ලැබුවාට වඩා ඉතා අතිශය යහපත සලසාගත හැකි කාලය භද්‍ර කල්පයේදී අවස්ථාව සැලසෙනවා. මේ භද්‍ර කල්පයට වඩා බුද්ධාදින්ගෙන් සැරසුණු අනෙක් කල්පයක් තවත් ඇත්තේ නැහැ. ලෝකයට භද්‍ර කල්පයක් උදාවීම යනු “නුග දිඹුල් රුක්වල මල් හට ගැනීමක්” මෙන් අති දුර්ලභ කාලයක්. භද්‍ර කල්පයක උපත ලද හුඟ දෙනෙකුට බුදු, පසේ බුදු, මහ රහත් උතුමන්ගේ ඇසුර ලැබීමට හා එම උත්තරීතර දහම් කරුණු දැන ගැනීමට මඟ සැලසෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X