ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

චතුරාර්ය සත්‍ය ධර්මය (දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ මාර්ග සත්‍ය)

දුක හඳුනා ගැනීම සැපතකි

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 

මිරිස්සේ ධම්මික හිමි

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරමාර්ථ ධර්මයක් ලෙස අවබෝධ කොටගත යුතුමය. බුදුරජාණන් වහන්සේගේ දහම නම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මය නම් බුදුරජාණන් වහන්සේයි.
ඒ අදහස් පෙළ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ඉතාමත් කෙටියෙන් හා සරලව විවරණය කර ගනිමු.
දුක්ඛ හෙවත් ‘දුක’ ආර්ය සත්‍යයක් හැටියට දකින්නේ කෙසේ ද? මෙහි දී ‘ධම්මචක්කපවත්වන’ සූත්‍රයෙහි සඳහන් ධර්ම කොට්ඨාසය උපුටාගත හැකියි. එය මෙසේ දක්වමු. ‘ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංචුපාදනක්ඛන්ධා දුක්ඛාති’.
ආශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට ඉහත සඳහන් කළ දුක, දැනුමට හසුකර ගත හැකි ය. ධාතු ස්කන්ධ ආයතනයන්ගේ නොසංසිඳීම දුකය. එනම් සසර පැවැත්ම, ඉපදීම, භවය දුකක් ය. දිරාගෙන යෑම හෙවත් ජරාවටපත්වීම දුකක් ය. ව්‍යාධිය හෙවත් ලෙඩවීම දුකක් ය. මරණය ද දුකක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය. කැමැති දෑ නොලැබීම දුක ය. එනම් පංචඋපාදානස්කන්දය ම දුකක් ය.
මහා වග්ග පාලියෙහි ධම්මචක්කපවත්වන සූත්‍රයට අනුව මේ දුකෙහි කතාව ආර්ය සත්‍යයක් ආකාරයෙන් දකින්නේ කෙසේ දැයි විමසා බැලිය යුතුයි..
ඉපදීම දුකක් ද? එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඉපදීම දුකක් හැටියට දැක ගන්නේ කෙසේදැයි, ආර්ය සත්‍යයක් හැටියට දැක ගන්නේ කෙසේ දැයි වටහා ගත යුතුවේ. ඉපදීම, ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය ආදී මේ ජීවිතයේ පවත්නා දුක්වලට මුහුණ දෙන්නට සිදුවන බව සැබෑ ය. ඉපදීම ආර්ය සත්‍යයක් හැටියට දකින්නට නම් අරමුණු කීපයකින් දුක පිළිබඳව විමසා බැලිය යුතු ය.
පළමු අදහස නම් උපතක් ලබන්නේ මනුෂ්‍යයෙක් හැටියට ම පමණක් නොවීමයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව කර්මානුරූපව සියලු සත්ත්වයන්ට ඉපදිය හැකි ස්ථාන තිස් එකකි. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර යන තිස් එකයි. මේ උප්පත්ති ස්ථාන තිස් එකෙන් සියලු සත්වයෝ වැඩිපුරම උපත ලබා ඇත්තේ සතර අපායේ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ අනුව උපත දුකක් බව තේරුම්ගත යුතු පළමු පියවරයි.
එසේ නොමැති වූවහොත් සාමාන්‍ය පුද්ගලයකුට සිතෙන්නේ දිව්‍ය ලෝකයක ඉපදීම, බ්‍රහ්ම ලෝකයක ඉපදීම, මනුෂ්‍යයෙක් වී සියලු සැප සම්පත් ලබා ගැනීම සැපතක් නොවේ ද යන්නයි. ලෞකික සැප වශයෙන් මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක ඉපිද එහි කෙළවර නැවතත් දුකකට ම පත්විය හැකි බව සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වේ.
එනමුත් වඩා නුවණින් සිතා බැලිය යුතු දහම් අදහස නම් සියලු සත්ත්වයෝ අතීත සංසාර ගමනේ, වැඩිපුරම එනම් කල්ප ගණනාවක් උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෙහි ම බව ය.
මේ අදහස ඔස්සේ ඉපදීම දුකක් බව අවබෝධ කොට ගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අනවතග්ග සංයුක්තයෙහි’ සූත්‍ර රාශියෙහි ම දේශනා කොට ඇත්තේ, “නුඹලා හැම කෙනෙක් ම අතීත සංසාර ගමනෙහි දීර්ඝ කාලයක් දුක්විඳ ඇත්තෝය.’ යනුවෙනි. මේ අදහස් පෙළ අනුව ඉපදීම දුකක් බව තේරුම්ගත යුතු වන්නේ ය.
ඉන් අනතුරුව දිරාගෙන යෑම, ලෙඩ දුක්වලට පත්වීම, මමය මාගේ ය යන සම්මුතියෙහි පවත්නා සියලු බැඳීම් කෙළවර කොට මරණයට පත්වීම, ජීවත්ව සිටින කාලය තුළ අප්‍රියයන් හා එක්ව වාසය කිරීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම මේවා සාමාන්‍ය දුක් හැටියට තේරුම් ගත හැකියි.
මේ සඳහන් කරන සාමාන්‍ය දුක් පවා, දුකක් හැටියට නොගන්නට නම් දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කොට ගත යුතුමයි. ඒ කෙසේ ද? පඨවි ආදී ධාතූන්ගෙන් සමන්නාගත සවිඤ්ඤාණඛ, අවිඤ්ඤාණක මේ වස්තූන් ආශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා විසින් ‘මම ය මාගේ ය’ යන දැක්මෙන් යුක්තව සිතින් දැඩිව අල්ලා ගනී. උපාදානය කර ගනී.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් තද ගතිය, වැගිරෙන බව, උෂ්ණය, වායුව නම් වූ සතර මහා ධාතූන්ගෙන් සකස් වූ මෙම වස්තූන් සංඛත ලෙස හඳුන්වමු. මේ සංඛත වස්තූන් ස්ථිරයි. සදාකාලිකයි. සැපයි යන අදහසකින් සිතින් දැඩිව ගැනීම කාමයන් හි බැඳීමක් හැටියට සඳහන් කළ හැකියි.
එනම් මේ වස්තූන් ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත්, ඇලුම් කරන ආදී වූ පංචකාම ගුණයෙන් යුක්තව සිතින් දැඩිව ගැනීමයි. එහෙත් මේ සංඛතයේ ස්වභාවය නම්, හට අරගෙන බිඳී නැතිව යෑමයි. එහි පවතින්නේ කය සහ වය ධර්මතාවයයි. එනම් ක්ෂයවීම හා වැයවීමයි. තවදුරටත් සඳහන් කළොත් ඇති වී, බිඳී නැතිව යන ස්වභාවයයි. වෙනස්වන වස්තූන් නිත්‍යකොට සලකා එම වස්තූන්හි තදින් ඇලීම අස්වාද හෙවත් ආස්වාදයක් කොට ගනී. එම සංඛත වස්තු වෙනස්ව යන විට එනම් විපරිනාමයට පත්වන විට අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා එය පිළිගන්නට සිත පුරුදුකොට නොමැතිවීම නිසා ශෝක කරන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්ට, ක්ලාන්ත වෙන්නට, මුලාවට පත්වෙන්නට පටන් ගනී. සාමාන්‍ය ලෝකයා මෙය හඳුන්වා ගන්නේ දුක්විඳීමක් හැටියට ය. මෙය ආර්ය සත්‍යයක් හැටියට දැක ගැනීමට නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් හැම වස්තුවක් ම, පඨවි ආදී වූ හේතුප්‍රත්‍යයන්ගේ විසිරීමෙන්, බිඳීයෑමෙන් නාමය ද වස්තුව ද, බිදී යන බවත් නැතිවී යන බවත් තේරුම්ගත යුතුයි.
ලෝක ස්වභාවය එය බව නුවණින් දකින විට ශෝක කරන්නට, හඬන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්නට, ක්ලාන්තවෙන්නට, මුලාවෙන්නට හේතුවක් නොමැත. භාග්‍යවතුන් වහන්සේ ‘සංඛිත්තේන පංචු උපදානක්ඛන්දා දුක්ඛති’ යනුවෙන් දේශනා කළහ. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයම දුකක් බව දේශනා කළහ. එසේ නම් ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් ඇතිකොට ගත යුතුමයි. ආර්ය සත්‍යයක් හැටියට තේරුම් ගත හැකි වන්නේ එවිටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ‘රූපය’ පෙනපිඬුවක් හැටියටය. ‘වේදනාව‘ දිය බුබුළක් හැටියටය. ‘සංඥාව‘ මිරිඟුවක් හැටියට ය. ‘සංඛාර’ අරටුවක් නැති කෙසෙල් ගසක් හැටියට ය. ‘විඤ්ඤාණය’ – මායාවක් හැටියට ය. එසේ නම් ස්කන්ධ පංචකය වරදවා ‘මම ය මාගේ’ යන දෘෂ්ඨියෙන් අල්ලා ගැනීමෙන්, ඒවායෙහි විපරිනාමය හා සමගින් එනම්, ත්‍රිලක්ඛනයට යටත්වීම සමගින් ඒ පිළිබඳ අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා තම සිතෙහි දුක උපදවා ගනී. රූප, ශබ්ද ආදී කිසිදු ආරම්මනයක දුකක් නොමැත එහෙත් අනවබෝධයෙන් යුතු පුද්ගලයා තමන් කැමැති අරමුණ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සිතෙන් දැඩිව ගනී. ඒවා වෙනස්වන විට දුක උපදවා ගනී. අකැමැති අරමුණෙහි ගැටීම නිසාත්, තමන්ට කැමැති දේ කැමැති ආකාරයට සිදු නොවීම නිසාත් දුක උපදවා ගනී. අවසන් වශයෙන් මේ සියල්ල ම සාරාංශ කොට දුක්ඛ, දුක්ඛ විපරිනාම දුක්ඛ, සංඛාර දුක්ඛ වශයෙන් අපි විස්තර කර ගනිමු.
දුක්ඛ දුක්ඛ හැටියට දක්වන්නේ මුලින් අප සඳහන් කළ ඉපදීම, දිරාගෙන යෑම, 1ලෙඩදුක් මරණය ආදී සාමාන්‍ය දුකයි. විපරිනාම දුක්ඛ හැටියට දක්වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන පවත්නා වූ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන බිඳී නැතිව යන්නා වූ සංඛත ධර්මයන් හි ඇති යථා ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා ඇතිවන වෙනස් වීමේ දුකයි. සංඛාර දුක්ඛ නම් පංච උපාදානස්කන්දය පිළිබඳව පරමාර්ථ ධර්ම වශයෙන් අපි අවසන් වශයෙන් සඳහන් කළ ආකාරයෙන් තේරුම් නොගැනීම නිසා ඇතිවන්නා වූ දුකයි.
මේ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය, ආර්ය සත්‍යයක් හැටියට ම දැක ගැනීමෙන් තොරව සියලු කෙලෙසුන් හි ප්‍රහාණය හෙවත් නිර්වානාවබෝධයට මාර්ගය සකසා ගත නොහැකියි.
දුක පිළිබඳව සඳහන් කරන්නේ දුක්විඳීමට නොව දුකෙන් නිදහස්වීමට බව අප විසින් තේරුම්ගත යුතුමයි. එවිට දුක දුකක් නොව දුක ගැන දැන ගැනීම සැපතට හේතුවක් බව, නිවනට ම හේතුවක් බව අවබෝධකොට ගත හැකි වන්නේ ය.

වඩාත් කැමැති දෙය වඩාත් දුක උපදවයි

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවන්නේ ඉතාමත් කලාතුරකිනි. උන්වහන්සේ ලොව පහළ වනතුරු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව විද්‍යාමාන නොවේ.
අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයාට ම සොයාගත නො හැකි සිතාගත නො හැකි පරම ගම්භීර ධර්මතාවයක් අවබෝධ කොට ගෙන උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ දහම පතුරුවා හරිති. ඒ දේශනා කළ ධර්මය කුමක් ද? මේ ගැන මජ්ක්‍ධිම නිකායේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.
”පින්වත් මාලුංක්‍යපුත්ත මා විසින් කුමක් ද වදාළේ? එය වනාහි දුකයි. එය වනාහි දුකේ හට ගැනීමයි, එය වනාහි දුක නැතිවීමයි, එය වනාහි දුක නැති කිරීමේ මාර්ගය යැයි මා විසින් වදාරන ලදී” ඒ අනුව තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළව දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි.
දුක වනාහි සමස්තයක් ලෙස ගත්විට පංච උපාදානස්කන්ධය යි. යමක් උපදින්නේ ද, දිරන්නේ ද, ලෙඩ වෙන්නේ ද, පි‍්‍රය වෙන්නේද, අපි‍්‍රය වන්නේ ද, සෝක වන්නේ ද, පංච උපාධානස්කන්ධයක් නිසාම ය. එනම් රූප, වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ නිසා ය.
දුක්ඛ සමුදය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර් භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ ඒ තණ්හාව යි.
දුක නැතිවීම වනාහි ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? අත් හැරීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද , ආලය නැතිවීමක් වේ ද එයයි.
දුක නැතිවීමේ මාර්ගය වනාහි මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ අංග අටකින් යුතු ප්‍රතිපදාව යි. එයින්ද දුක කෙළවර කළ හැකි ය.
අප මේ ලිපිය තුළින් කතා කරන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ යි. එහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුක හට ගන්නේ තණ්හාව නිසා බව යි. කාමයට ඇති ආශාවත්, භවයට ඇති ආශාවත් (පැවැත්මට ඇති ආශාව) විභවයට (නො පැවැත්මට) ඇති ආශාවත් වශයෙන් සිතක තණ්හාව විසිර තිබේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම සම්පත්තියට කරන ආශාව, ඒ ගැන ඇති කැමැත්ත, වුවමනාව, ස්නේහය, ඇල්ම, ආලය, කාම තෘෂ්ණාව යි.
කාම තණ්හාව යම් තැනකද දුක හට ගැන්ම එතැන යි. මේ ලෝක සත්ත්වයා හඹා යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නම් ඔවුන්ට හමුවන්නේ දුකක් ම යි. මේ ලෝක සත්ත්වයා තමා නිසා වැළපෙන්නේ ද, දරුවන් නිසා වැළපෙන්නේ ද, ගේ දොර ඉඩකඩම් නිසා වැළපෙන්නේ ද, රැකී රක්ෂා, ඉගෙනීම ආදියට විඳවන්නේ ද, පංචකාමය නිසා ම විනා අත හැරීමක් නිසා නොවේ. ඔබගේ සිතේ යම් දුකක් වේ නම් විමසා බලන්න. එය තවත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නිසා බව නුවණට තේරුම් යයි. එනිසා පංචකාම ආශාව පෝෂණය කරමින් දුකෙන් නිදහස් වීමක් පැතුවාට ඉටුවන්නේ නැත.
පංච කාමයෙන් පීඩා විඳින කෙනා නො විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පතයි. දුක් නැති දිනයක් පතයි. නැතිනම් ඊටත් වඩා සුවදායක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පතයි. එවැනි පැවැත්මකට සිත ආශා කරයි. මේ වනාහි භව තණ්හාවේ ස්වභාවය යි. භවයට ආශා කරමින් , ප්‍රාර්ථනා පොඳි බැඳගෙන නම් දුක කෙළවර කළ නො හැකි යි. භව තණ්හාව දුක උපදවන බැවිනි. පංච උපාදානස්කන්ධය යම් තැනක ද, දුක එතැන යි. තව ආකාරයකින් නම් භවය ලෙස ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. ආයතන හය යම් තැනක ද දුක එතැන යි. භව තෘෂ්ණාව දුකේ හට ගැනීම වන්නේ එනිසා ය.
තවත් කෙනෙකුගේ විභව තණ්හාව බලවත් වේ. හිමාලයේ සමහර යෝගීින් මෙය පුරුදු කරයි. සිතත්, කයත් නො පවත්වා යම් සාමාධියක් ස්පර්ශ කිරීමට වෑයම් කරයි. එය නිවන ලෙස සිතයි. සංඥාවක් නො පවත්වා ඉන්නට සිතයි. ඊට සිත හුරු කරයි. නිරෝධයක් යැයි සමාධියක් (සසුනෙන් බැහැරව) සිතෙන් අරමුණු කරයි. කෙසේ හෝ එය නො පවතින බවට ආශා කරයි. එය සිතක පවතින ස්වභාවයක්. එය විභව තෘෂ්ණාව යි. ලෝකයාට කාම තණ්හාව ම ඕලාරික වශයෙන් සිතේ බලපවත්වන නිසා භව තණ්හා, විභව තණ්හා ප්‍රකට ව තේරුම් ගැනීමට අපහසු ය. කෙසේ නමුත් මේ විභව කැමැත්ත, ආශාව, ඇල්ම, නිසා ද තවත් උපතක් සාදා දෙයි. විභව තණ්හාව එසේ දුක උපදව යි. මෙලෙස කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණා ව ම උපන් සත්ත්වයාට දුක ම උපදව යි. සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රයේ ඒ දහම් කරුණ පැහැදිලිව ඇත.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවේලකප්ප නියම් ගමේ වැඩ සිටි සේක. එදා භද්‍රක ගාමිණි නමැත්තා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ “භාග්‍යවතුන් වහන්ස, මට දුකෙහි හට ගැනීමත්, නැතිවීමත් පිළිබඳ දේශනා කරන සේක්වා” යි කී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, අතීතයේ දුක හට ගත් ආකාරය, නැති වූ ආකාරය දේශනා කළොත් හෝ අනාගතයේ මෙසේ දුක ඇති වන්නේ ය, නැති වන්නේ ය යැයි දේශනා කළොත් ඔබට සැක ඇති වෙන්නට පුළුවනි. ගාමිණි මම ඔබට මේ ආසනයේ දී ම දුකේ ඇතිවීම, නැතිවීම කෙසේ සිදුවන්නේදැයි තේරුම් කරන්නම්.”
“ගාමිණි මේ ගමේ යම් කෙනෙක් මියගියහොත් , කරදරයක් වුණොත් ඔබට දුක හිතෙන පිරිසක් ඉන්නවා ද? ඒ වගේම යම් කෙනෙක් මිය ගියොත්, දුකට කරදරයකට පත් වුණොත් ඒ ගැන දුකක්, ශෝකයක් හට නො ගන්නා පිරිසක් ඉන්නවා ද?
ස්වාමිනි, එහෙම පිරිස් සිටිනවා. සමහර අයට කරදර එනකොට මට ඉතාමත් දුකයි. ශෝකය උපදිනවා. නමුත් සමහර පිරිසට කරදරයක් ආ විට මට දැනීමක් නැහැ.
එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසක් ගැන ඔබට දෙ ආකාරයකට හිතෙන්නේ ඇයි? කෙනෙක් ගැන දුක උපදිනවා. කෙනෙක් ගැන දුක උපදින්නේ නැහැ.”
”ස්වාමිනි, කෙනෙක් මියගියාම, කරදරයකට පත්වුණාම මට ශෝකය උපදින්නේ මගේ ඔවුන්ට කැමැත්තක් නිසා යි. ඇලීමක් තිබෙන නිසයි. නමුත් සමහර පිරිසට එසේ කැමැත්තක්, ඇලීමක් නැති නිසා ඒ අය ගැන මට දුකක් ඇතිවන්නේ නැහැ.
පින්වත් ගාමිණි, වැටහුණු මේ ධර්මය ම අතීතයට ගලපා සිතන්න. අතීතයේ යම් දුකක් ඇතිවූ විට ඒ සෑම දුකකට ම මුල් වූයේ කැමැත්ත යි. දුකේ මුල ආශාවම යි. අනාගතයේ යම් දුකක් හට ගන්නවානම් එයට හේතුව කැමැත්ත යි. මුල් වන්නේ ආශාව ම යි. “ස්වාමිනි, ඒ වදාළ වචන කෙ තරම් ඇත්ත ද? මට චිරවාසී නමින් පුතෙක් සිටිනවා. ඔහු පිට පළාතක ඉගෙනුම ලබන්නේ. ඔහුගේ සුව දුක් සොයන්නට මම පුරුෂයෙක් එහි යවනවා. ඔහු එන්නට ප්‍රමාද වුණොත් මම තැවෙනවා. ශෝක කරනවා. බියට පත්වෙනවා.
”පින්වත් ගාමිණි, යම් දවසක ඒ දරුවා මිය ගියොත්”
”අනේ ස්වාමිනි, මට ඒ ශෝකය දරා ගන්නට බැරි වේවි.”
”ගාමිණි යම් දුකක් උපදිනවා නම්, ඒ සෑම දුකකට ම මුල් කොට තිබෙන්නේ ආශාව යි. ඒ වගේ ම ගාමිණි ඔබගේ බිරිඳ ඔබ මීට පෙර දැක නැත්නම්, ඇය ගැන ආසා නැත්නම් ඔබට ඇය ගැන කැමැත්තක්, රාගයක් හෝ පේ‍්‍රමයක් ඇති වන්නේ ද?”
“නැත ස්වාමිනි”
“ගාමිණි, යම් දවසක ඇය දැක්කා ද, ඇය ගැන ඇසුවා ද, ආශාවක් කැමැත්තක් ඉපදුනේ එදින සිට නේද?”
“එසේය ස්වාමිනි”
“ගාමිණි ඇයට යම් කරදරයක් වුණොත්?”
“අනේ ස්වාමිනි, එය මට ඉවසිය නොහැකි වේවි. දුක සෝකය ඇය වෙනුවෙන් ඉපදෙනවා ම යි.”
”එසේනම් ගාමිණි, දුකට හේතුව කැමැත්ත බව තේරුම් ගන්න යැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එසේනම් දුකට හේතුව ආශාව බව තේරුම් ගෙන ඒ ගැන හොඳින් විමසමින් අවබෝධ කර ගන්නට උත්සුක වන්න.
දුක උපදවන තෘෂ්ණාව, ආශාව ප්‍රහාණය කර ගැනීමට අපටත් වාසනාව උදා වේවා.

නිරෝධ සත්‍ය - කෙලෙස් නිරෝධයට සිත සකසා ගැනීම

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ගුණවර්ධන යෝගාශ්‍රමයේ 
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ 
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි

නිරෝධ සත්‍යය යනු නිර්වාණ ය යි. සියලු සංසාර දුකෙන් නිදහස් ව ලැබෙන උතුම් සම්පත නිර්වාණය යි. ‘නි’ යනු නැත යන අදහස යි. ‘වාණ’ යනු තණ්හාව යි. එනම්, තණ්හාව නැති බව ‘නි-වාණ යි’. එලෙස පවසන්න අපහසු නිසා, ‘ව’ යන්නෙහි ස්වර වෙන්කර ‘ව’ වෙනුවට ‘බ’ යොදාගෙන නිබ්බාණ නම් වෙයි. විශේෂයෙන් තණ්හාවෙන් නිවීම නිරෝධය යි. එනම්, කෙලෙස් නිරෝධ වීම යි.
නිර්වාණය අවබෝධ කරගන්න ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වන්න, අඩුම තරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් විවරණ සහිතව පාරමී පුරාගෙන පැමිණිය යුතු යි. පසේ බුදු වී නිවන් දකින්න, අසංඛ්‍ය කල්ප දෙකකුත්, කල්ප ලක්ෂයකුත්, පාරමී පුරාගත යුතු යි. රහත් බව සඳහා කල්ප ලක්ෂයක් සිත දියුණු කළ යුතු යි. ඒ උත්තමයන්ට නිරෝධ සත්‍ය අවබෝධ වෙයි. ආලාරකාලාම, උද්දකරාම පුත්ත, අසිත ආදී තාපසයාණන් වහන්සේට, සංජය පරිබ්‍රාජක තුමාට නිරෝධය අවබෝධ කරගන්නට බැරි වුණා. ඒ අය නිවන් සුව පතා නැහැ. නමුත් ඔවුන්ට අහසින් යා හැකි ලෙස ධ්‍යාන අභිඤ්ඤා තිබුණා. හොඳ නුවණක් තිබුණා. නමුත් නිවන් සුව ප්‍රාර්ථනා නොකළ නිසා නිර්වාණය අවබෝධ කළ නොහැකි වුණා. ඒ නිසා අරූපාවචර බඹතලයේ උපත ලැබුවා. නිවන් සැප ලැබේවා යනුවෙන් ඕනෑම කෙනෙක් සිතුවොත්, ඒ අයට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවනි.
කෙලෙසුන් නිරෝධ කර ගැනීමේ තත්ත්වයට මේ සිත සකසා ගත යුතු යි. එක්දහස් පන්සියයක් තරම් ක්ලේෂයෝ සිතෙහි පවතිනවා. එය කෙටිකළ විට ලෝභ, ද්වේශ, මෝහ නම් වෙයි. එය ව්‍යාප්ත කළ විට කෙලෙසුන් එක්දහස් පන්සියයක් වෙයි. බුදුන් වහන්සේ තණ්හාවට නාමයන් සියයක් දේශනා කර වදාළා. එවැනි ගැඹුරු දෙයක් නැති කිරීමෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවනි.
‘නිර්වාණය’ නමැති වදන විවිධාකාර නාමයන් රාශියකින් හඳුන්ව යි. ඉපදීමක් නැති නිසා නිර්වාණය ‘අජාති’ නම් වෙයි. ජරාවක් නැති නිසා නිර්වාණය ‘අජර’ නම් වෙයි. ලෙඩ රෝග නැති නිසා නිර්වාණය ‘අව්‍යාදි’ නම් වෙයි. මරණයක් නැති නිසා නිර්වාණය ‘අමත’ නම් වෙයි. ඇලීමක් නැති බැවින් ‘අශෝක’ නම් වෙයි. වැළපීමක් නැති බැවින් ‘අපරි’ නම් වෙයි. කායික දුකක් නැති බැවින් ‘අදුක්ඛ’ නම් වෙයි. මානසික වේදනාවක් නැති බැවින් ‘අදෝමනස්ස’ නම් වෙයි. දැඩි ආයාසයක් නැති බැවින් ‘අනුපායාස’ නම් වෙයි. රාගය නැති බැවින් ‘වීතරාග’ නම් වෙයි. තරහව නැති බැවින් ‘වීත දෝස’ නම් වෙයි. මෝහය නැති බැවින් ‘ වීත මෝහ’ නම් වෙයි. මාන්නය නැති බැවින් ‘අනතිමානී’ නම් වෙයි. ක්ෂේම භූමියක් බැවින් ‘කේම’ නම් වෙයි. භය නැති බැවින් ‘ අභය’ නම් වෙයි. ආශ්චර්ය ධර්මයක් බැවින් ‘අච්ඡරිය’ නම් වෙයි. අද්භූත ධර්මයක් බැවින් ‘අද්භූත ධම්ම’ නම් වෙයි. ආලයක් නැති බැවින් ‘ආලය සමුග්ඝාත’ නම් වෙයි. මද මාන්න නැති බැවින් නිර්වාණය ‘මදනින් මදන’ නම් වෙයි. ශාන්ත ගති පැවතුම් නිසා නිර්වාණය ‘ශාන්ත’ නම් වෙයි. සිසිලසක් බැවින් ‘සිසිලස’ නම් වෙයි. ආශ්‍රවයෝ නැති බැවින් ‘අනාශ්‍රව’ නම් වෙයි. ඇසට නොපෙනෙන බැවින් ‘අනිදස්සන’ නම් වෙයි. පටිඝයක් නැති බැවින් ‘අප්පටිඝ’ නම් වෙයි. ක්‍රෝධයක් නැති නිසා ‘අක්‍රෝධ’ නම් වෙයි. නිර්වාණයට එවැනි තේරුම් රාශියක් බුද්ධ ධර්මයේ තිබෙනවා.
මේ ගැන හොඳ දැනීමක් ඇති කරගන්නට හොඳට පොත පත කියවා දැනුම වැඩිකර ගත යුතු යි. එවිට නිර්වාණය ගැන මනා වැටහීමක් තමන්ට ඇති කරගත හැකි යි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ නිර්වාණය අවබෝධයෙන් දේශනා කර වදාළා. බුද්ධ ගයාවේ දී ගෞතම මහ බෝසතාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා. තණ්හාව දුරු කළා. නිවනට වැඩම කළා. නිර්වාණය අවබෝධ කළා. එනම් නිරෝධ සත්‍ය අවබෝධ වුණා. එයයි බුදුන් වහන්සේ දේශනා කර වදාළේ. සූවිසි අසංඛ්‍යෙයක් නිවනට පත් වුණා. අද වැනි වෙසක් පුන් පොහොය දිනක වුව ද, බෞද්ධ ජනතාව නිවන් මඟ ගමන් කරන්නේ බුදුන් වහන්සේ පහදා දුන් දහමට අනුකූලව යි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් නිර්වාණය මනාකොට පැහැදිලි කර තිබෙනවා. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයෙන් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබෙනවා.
දන්දීම, ශීලය පමණක් ප්‍රමාණවත් නැහැ. භාවනාවත් අවශ්‍යය යි. එවිට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. දාන පාරමිතාව, ශීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්යය පාරමිතාව, ඛන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, ආදී දස පාරමිතා රහතන් උතුමෝ බොහොම ඉහළින් දියුණු කළා. පසේ බුදු උතුමෝ උප පාරමී ලෙස පාරමිතා දහයක් සමඟ විස්සක් දියුණු කළ යුතු යි. ලොවුතුරා බුද්ධත්වයට පත්වන උතුමන් පාරමිතා තිහක් සම්පූර්ණ කළා. දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා වශයෙන් එකක් ත්‍රිවිධාකාරව දියුණු කළ යුතු යි. එලෙස දියුණු කිරීමෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා.
ලෝකයේ සැමට බුද්ධ ධර්මය අවබෝධ කරගන්න බැහැ. තණ්හාවෙන් , තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් යුක්තවන සත්ත්වයන්ට බුද්ධ ධර්මය අවබෝධ කරගන්නට බැහැ. ධර්මය අවබෝධ කරගන්නට නම්, සිල් ගුණ හොඳින් දියුණු කළ යුතු යි. පාරමිතාවන් හොඳින් දියුණු කර ගන්න. සිතේ සතුටෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. එවිට නිරෝධ සත්‍ය නොහොත් නිර්වාණය අවබෝධ කරගන්නට පහසුවක් වෙයි. පාරමිතා ගුණ දියුණුවෙන් ශක්තිය ලැබෙන්නේ තමන්ටම යි. ඒ ශක්ති විශේෂය ලබාගත් බුද්ධාදී උතුමන් වහන්සේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කළා.
බුදුන් වහන්සේ අවබෝධ කළ නිරෝධ සත්‍යය පළමු මංගල ධර්ම දේශනාවේ දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ වහන්සේට නිවන් පසක් කර දුන්නා. දහඅට කෝටියක් දෙවිවරු රහත් බවට පත්ව අසංඛ්‍යෙයක් දෙවි දේවතාවුන් ඉතිරි මාර්ගඵලයන්ට පත් වුණා. ධර්මයට අනුව කටයුතු කළ කිසිම කෙනෙකුට වැරැදුණේ නැහැ. නොමඟ යන දේ සිතට එන්නේ නැහැ. මිථ්‍යාවාදී අදහස් එන්නේ ම නැහැ. සම්මා දිට්ඨිය නොහොත් නිවැරැදි ප්‍රඥාවෙන් යුතුවම යි කටයුතු කරන්නේ. ඒ අය නිර්වාණ ධර්මය, සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී අනාගාමී අර්හත් මාර්ග ඥානයෙන් අවබෝධ කරනවා. සක්කාය දිට්ඨි නොහොත් ශරීරය පිළිබඳ ව තිබෙන සැකය දුරු වෙනවා. විචිකිච්ඡා එනම්, සැකය දුරු වෙනවා. ශීලබ්බත පරාමාස එනම්, වැරැදි ශීල දුරුව යනවා. කාමරාග යනුවෙන් පංචකාම වස්තූන් පිළිබඳ ව තිබෙන තණ්හාව දුරුව යනවා. ව්‍යාපාද නොහොත් තරහව දුරුව යනවා. රූප රාග නොහොත් රූපාවචර බඹතලය කෙරෙහි තිබෙන ආශාව දුරුව යනවා. අරූප රාග නොහොත් අරූපාවචර බඹතලය පිළිබඳව තිබෙන ආශාව දුරුව යනවා. මාන්නය, උඩඟු බව, අවිද්‍යාව දුරුවී යනවා. මේ දස සංයෝජනයෝ මාර්ගඵල අවස්ථාවේ දී සම්පූර්ණයෙන් ම නැති වෙනවා. අසංයෝජන තත්ත්වයට පත් වෙනවා. එවිට සංසාරයේ උප්පත්තිය සැකසෙන කිසිම ඉතිරියක් නැහැ. එලෙස කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ තත්ත්වය නිරෝධ අවස්ථාව නම් වෙයි. එවැනි උතුමෝ පමණක් තථාගත ධර්මය අවබෝධ කළා. ඒ තථාගත ධර්මය අවබෝධ කිරීමෙන් මාර්ගඵල අවස්ථාවන්ට පත්ව ජාති, ජරා, මරණාදී කිසිම දුකක් නැහැ. උන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නට භාග්‍යවත් වූවා. සංසාර දුකෙන් නිදහස් වුණා. ඒ තත්ත්වයට පත්වෙන්න යැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
තවත් අවුරුදු දෙදාස් හාරසිය ගණනාවක් ඉදිරියට බුදු සසුන පවතිනවා. ඒ කාල වකවානුවේ පාරමී ගුණ දියුණු කරගන්නා අයට මාර්ග ඵල නිවන් සුව ලබාගත හැකි යි. මේ කාලයේ නිවන් සුව ලැබෙන්නේ නැහැ’යි සිතන්නට එපා. උත්සාහවත් බව යි අවශ්‍ය වන්නේ. මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නුවණින් බලා මෙනෙහි කරන්න. නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. එසේනම්, නිරෝධ සත්‍ය පාදක කරගෙන ගුණ සම්පත් ද දියුණුවෙන්, මාර්ග ඵල පිළිවෙළින් නිවන් පසක් කරගන්නට සියලු ම පින්දහම් පින්වතුන්ට හේතු වාසනා වේවා!
                                           - ජම්මික ප්‍රබෝධනී වැලිකල

අනර්ථය පිණිස හේතුවන අන්ත දෙක

පොල්පිටිමූකලානේ 

පඤ්ඤාසිරි හිමි

තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කර වදාළ ප්‍රථම සූත්‍රය වන දසදහසක් සක්වල කම්පා කරවමින් දේශනා කළ ධම්මචක්කපවත්වන සූත්‍රයෙහි පළමුවරට අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඉගෙන ගන්නට ලැබෙනවා. එහිදී තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන අපට ප්‍රථම වතාවට ඉගෙන ගන්නට ලැබෙන්නේ. එහිදී උන්වහන්සේ දේශනා කරනවා පැවිද්දන් විසින් අත්හල යුතු අන්ත දෙකක් පිළිබඳව. (ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා)
ඉන් පළමුවැනි අන්තය තමයි කාමයන්හි අලී ගැලී වාසය කරන කාමසුඛල්ලිකානු යෝගය. බුදුරජාණන් වහන්සේ එය හැඳින්වූයේ හීන වු (හීනෝ) ග්‍රාම්‍ය වූ (ගම්මෝ) පෘථග්ජනයන්ට අයත්වු (පෝතුජ්ජනිකෝ) උතුම් නෙවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ථ සංහිතෝ) දෙයක් කියලා. දෙවැන්න තමයි අත්ථකිලමතානුයෝගය. එය දුක පිණිස පවතින ( දුක්ඛෝ) උතුම් නොවු (අනරියෝ) අනර්ථය පිණිස පවතින (අනත්ත සංහිතෝ) දෙයක් බවයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ එම අන්ත දෙකෙන් විශේෂණ පද රාශියකින් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම නුසුදුසු බව පෙන්වා දී තිබෙනවා. එය අවධාරණය කිරීමට හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන්ට අයිති, උතුම් නොවන, අනර්ථය පිණිස පවතින යන විශේෂණ පද උන්වහන්සේ භාවිත කර තිබෙනවා.
අත්ථකිලමතානු යෝගයට භාවිත කරන්නේ දුක පිණිස පවතින, උතුම් නොවන, අනර්ථය පිණිස යන විශේෂණ පදයි. එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ මෙම අන්ත දෙකම අතහැර මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ සම්බුද්ධත්වයට පත් වූ බවයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යි.
මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ප්‍රථම ධර්ම දේශනාවේ දී ද සච්ච විභංග සූත්‍රයේ දී ද වෙනත් සූත්‍ර ගණනාවකදී ද විශේෂයෙන් ම මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ මහා චත්තාරීසික සූත්‍රයෙන් ද විස්තර වෙනවා. මහා චත්තාරීසික සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙයාකාරයි. එහි දී මිථ්‍යා දෘෂ්ඨිය මිථ්‍යා දෘෂ්ඨිය වශයෙන් හඳුනා ගන්නා අතර සමමා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් හඳුනා ගන්නවා. මිථ්‍යා දෘෂ්ඨිය යනු දන්දීමේ විපාක නැත. පූජා පැවැත්වීමේ විපාක නැත, ඇප උපස්ථාන කිරීමේ විපාක නැත, හොඳ නරක කර්මවල ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව කියා විශේෂ කෙනෙක් නැත. පියා කියා විශේෂ කෙනෙක් නැත, ඕපපාතික සත්ත්වයෙක් නැත. (ඉබේ පහළ වන සත්ත්වයන් වන අපායේ නිරි සතුන් , පේ‍්‍රතයන්, අසුරයන්, දෙවියන් බ්‍රහ්මයන් වැනි අය නැතැයි සිතීම ) මෙලොවත් , පරලොවත් විශිෂ්ට නුවණින් දැනගෙන කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැත යන දෘෂ්ඨියයි.
සම්මා දිට්ඨිය යනු එහි විරුද්ධ පැත්තයි. එය දෙයාකාරයි. ඒ කියන්නේ ආස්‍රව සහිත වු , පින් කරන්නට අනුබල ලැබෙන, මතුවට සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨිය ඒ වගේම ආර්ය වු ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා .
ඒ කියන්නේ පින්වතුනි උතුම් වූ ආස්‍රව නැති ලෝකෝත්තර මාර්ග අංගයක් වන ආර්ය මාර්ගය ප්‍රගුණ කරන යම් කෙනෙකුගේ යම්කිසි ප්‍රඥාවක් තිබෙනවාද? ප්‍රඥා ඉන්ද්‍රියක් තිබෙනවාද? ප්‍රඥා බලයක් තිබෙනවාද? ධම්ම විචය සම්බෝක්‍ධජංගයක් සම්මා දිට්ඨි මාර්ගාංගයක් තිබෙනවද?
අන්න ඒ නිසා පින්වතුනි, ඒ ශ්‍රාවකයා මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කිරීමට, ඒ වගේම, සම්මා දිට්ඨිය උපදවා ගැනීමට උත්සාහ කරනවා. එය තමයි ඒ පුද්ගලයාගේ සම්මා වායාමය. ඔහු සිහියෙන් මිථ්‍යා දෘෂ්ඨිය අත්හරිනවා. සිහියෙන් සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒ තමයි ඔහුගේ සම්මා සතිය, ඔය විදියට ඒ ශ්‍රාවකයා තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨියට අනුව වේගයෙන් සකස් වෙනවා. ඒඅනුව පවතිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය.
ඇත්තෙන්ම සම්මා දිට්ඨිය, සරලව කියනව නම් දුක පිළිබඳ දැනීම, දුකේ හටගැනීම පිළිබඳ දැනීම, දුකේ නැතිවීම පිළිබඳ දැනීම, දුක නැතිවීම පිළිබඳ ප්‍රතිපදාව දැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් සම්මා දිට්ඨිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කෙරෙනවා.
සම්මා සංකප්පයත් මහා චත්තාරීසික සූත්‍රයට අනුව ඉහත ආකාරයට විස්තර කරන්න පුළුවන් වුවත් එහිදී පාඨකයා විසින් ඉතිරි අංග පිළිබඳව ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වටිනවා. මෙම ලිපිය මඟින් අවස්ථානුකූලව අනිකුත් මාර්ග අංග විස්තර කෙරෙනවා. සම්මා සංකප්පය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් දක්වන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්පය, අව්‍යපාද සංකප්පය, අවිහිංසා සංකප්පය ආදි වශයෙන්. කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්ම සංකල්පනාවයි. සියලු සතුන් කෙරෙහි මෙත් සිතින් වාසය කිරීම අව්‍යාපාද සංකල්පනාවයි. සියලු සතුන්ට හිංසා නොකිරීම අවිහිංසා සංකල්පනාවයි.බොහෝ දුරට අපි පුංචිකාලෙ ඉඳල ඉගෙන ගෙන තියෙන්නේ යහපත් සංකල්පනාව කියන කොට අව්‍යාපාද,අවිහිංසා, නෙක්ඛම්ම කියලා.
ඒ කියන්නේ කාමයන්ගේ නික්මීම අගට දාල තියෙන්නේ. එය කෙසේ සිදු වූවාද යන්න ප්‍රශ්නයක්. නමුත් බුද්ධ වචනවයට අනුව යහපත් සංකල්පනාවල පළමු වැන්න වන්නේ කාමයන්ගෙන් නික්මීමයි. කාමයන්ගෙන් වෙන්වීමයි. නැත්නම් කාමයන් අත්හැරීමයි.
යහපත් වචනය කියන්නේ බොරු කීමෙන්, කේලාම් කීමෙන් , පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන්වීම. යහපත් කර්මාන්ත කියන එකත් බොහෝ අය වරදවා වටහාගෙන තිබෙනවා. ඔවුන් හිතන්නේ වැරැදි වෙළෙඳාම් නොකිරීම ලෙසයි. නමුත් සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරැදි කාම සේවනයෙන් වෙනවීම.
සම්මා ආජීවය කියන්නේ මිථ්‍යා ජීවය බැහැර කරලා යහපත් දිවි පැවැත්මෙන් කටයුතු කිරීමයි. මහා චත්තාරීසික සූත්‍රයේ මිථ්‍යා ආජීවය ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ඒ කියන්නේ වංචාවෙන් ජීවත්වීම ලාභ සත්කාර ලබා ගැනීමේ කැමැත්තෙන් වර්ණනා කර කතා කිරීම ලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විශේෂ ලකුණූ ඉස්මතු කර කතා කිරීම සත්‍ය වහල කටයුතු කිරීම ලාභයෙන් ලාභය උපයනවා. බොහෝ දෙනෙක් වැරැදි වෙළදාමේ ආදියත් මිථ්‍යා ආජීවය ලෙස විග්‍රහ කර ගන්නවා.
සම්මා වායාම කියන්නේ නුපන් අකුසල් නොඉපදීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩි කර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම,උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, හිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම ඒ වගේම නූපන් කුසල් ඉපදවීමට කැමැත්ත ඇතිකර ගැනීම, වෑයම් කිරීම, වීරිය ආරම්භ කිරීම, සිත දැඩිකර ගැනීම, ඒ අනුව කටයුතු කිරීම.
උපන් කුසල් පවත්වාගෙන යාම සඳහා ඒ කුසල ධර්මයන් විනාශ නොවීම පිණිස වඩ වඩා වර්ධනය වීම පිණිස වැඩීම පිණිස , පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇතිකර ගැනීම , වෑයම් කිරීම, වීර්ය ආරම්භ කිරීම හිත දැඩි කර ගැනීම ඒ අනුව කටයුතු කිරීමයි. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයයි. කය අනුව බලමින් වාසය කිරීම (කායානුපස්සනාව) විඳීම අනුව බලමින් වාසය කිරීම (වේදනානුපස්සනාව) සිත අනුව බලමින් වාසය කිරීම (චිත්තානුපස්සනාව) සිතේ ස්වභාවය අනුව බලමින් වාසය කිරීම (ධම්මානුපස්සනාව) යන සතර සතිපට්ඨානය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සතිපට්ඨාන සූත්‍රයේ හා දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් මෙය ඉතා මැනවින් විස්තර කෙරෙනවා.
සම්මා සමාධි කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවැනි ධ්‍යාන හතරයි. ඒ නිසා මේ උතුම් ආර්ය මාර්ගය ඉගෙනගෙන ඒ පිළිබඳව විශ්වාසය ඇතිකරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිමු.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X