ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු 1

පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී 
දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි

සම්බුද්ධ දේශනාවේ හරය වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි. මෙයට හේතුඵල දහම කියලත් කියනවා. නිවන හැර ලෝකයේ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නෙ හේතුවක් නිසාය. කිසිම දෙයක් ඉබේ ඇතිවන්නෙ නැත. අපිට ඇතිවෙන හිසේ කැක්කුමේ ඉඳලා කයේ සහ හිතේ ඇතිවන සියලුම ආබාධ ඇතුළු ලෝකයේ ඇතිවෙන නැතිවන සියල්ලක්ම සිදුවන්නේ මෙම ධර්මතාවයට අනුවයි. ‘හෙතුං පටිච්ච සම්භූථා හෙතු භංගා නිරුජ්ඣති’ යනුවෙන් එය පැහැදිලි කරයි. එවගේම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලියක් මේ විශ්වය පුරාම දකින්නට පුළුවන්. ඉතින් ක්ෂණය කියන්නේ තප්පරයටත් වඩා ඉතාම අඩුම කාලයක්. ඒක වචනවලින් විස්තර කරන්න බෑ. එය තේරුම් ගන්න පුළුවන් වන්නෙ නිතරම ඔබගේ සිත භාවනාවේ පිහිටුවා ගැනීමෙන් ය.
පෙර බුදුවරු වගේම අප වඳින පුදන මේ භද්‍රකල්පයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේත් උතුම් වූ බුද්ධත්වයට පත්වූයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනයි. ධර්මය දේශනා කිරීමට පෙරාතුව එම උතුම් චතුරාර්ය සත්‍යය හේතුඵල ධර්මයට අනුව කෙසේ සිදුවන්නේද කියා තේරුම් ගෙනයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ‘එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජෙඣන තථාගතො ධම්මං දෙසෙති. යදිදං අවිජ්ජා පච්චයා සංකාරා.....’ ආදී වශයෙන් එය දක්වා තිබේ. එසේම උන්වහන්සේගෙ බුද්ධත්වයෙන් පළවෙනි බෝමැඩ ගතකළ සතියේම පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන්ද මෙනෙහි කළ සේක. අනුලෝම සහ පටිලෝම වශයෙන් යනු මුල ඉඳලා අගට අංග දොළහ මෙනෙහි කිරීමයි. පටිලෝම කියන්නෙ අග ඉඳලා මුලට අංග දොළහ මෙනෙහි කිරීමය. එය විනය පිටකයේ දෙවන පොතවන මහා වග්ග පාලියේ පළමු කොටස වන මහා ඛන්ධකයේදි සඳහන් කර තිබේ. ‘තෙන සමයේන බුදේධා භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙඤෙජාය තීරෙ බොධිරුක්ඛමුලෙ...... පටිච්ච සමුප්පාදං අනුලොමං පටිලොම මනසාකාසි’ මෙම ලිපිය කියවන පින්වත් ඔබ පටිට්ච සමුප්පාදයේදී විස්තර කරන අංග දොළහ හොඳින් දන්නවා ඇතැයි සිතමි. ඒවා නම් අවිද්‍යාව, සංස්කාර, විඥානය, නාමරූප, සලායතන, ස්පර්ශය වේදනාව, උපාදාන, භවය, ජාති සහ ජරාව මරණය, සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස යනුවෙනි. මෙහි ජරාවේ සිට උපායාසය දක්වා වූ කොටස දොළොස්වන අංගය ලෙස විස්තර කරයි.

විශේෂයෙන්ම ඔබ මා ඇතුළු සියලු සත්වයාගේ ඉපදීම සිට මරණය දක්වා වූ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? කියන බොහෝ කාරණාවලට පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් පිළිතුරු සොයාගත හැකියි. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ 28 වන සූත්‍ර දේශනාව වන මහා හත්ථි පදෝපම සූත්‍ර දේශනාවේදි බුදුන් වහන්සේ දේශනා කළේ ‘චුත්තං ඛො පනේතං භගවතා යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති’ යො ධම්මං පස්සති යො පටිච්චසමුප්පාදං පස්සති’ යනුවෙනි. පින්වත්නි මෙම ගාථාවේ එන තේරුමෙන් කියවෙන්නෙ යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය දකීද ඔහු ධර්මය දකින බවත්, යමෙක් ධර්මය දකිනව නම් ඔහු පටිච්චසමුප්පාදය දකින බවත්ය. ඔබ දන්නවා බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමවන සැරියුත්, මුගලන් දෙනමද පැවිදිවීමට පෙර ගිහිකලදී උපතිස්ස සහ කෝලිත නමින් සිටියදී ගිරග්ග සමජ්ජ කියන නාට්‍යය නරඹලා කළකිරී එම දෙපළ ධර්මය හොයමින් ඇවිදිමින් සිටි වෙලාවෙ පළමුවෙන්ම ධර්මය තේරුම් ගන්නෙ අස්සජි මහරහත් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්මය අඩංගු දේශනාව ශ්‍රවණය කිරීමෙන්. ‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ, තෙසංච යො නිරොධො එවං වාදිමහාසමණො’ යනුවෙනි.
එසේම බුදුන්වහන්සේගේ පළමු දේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස පහළ වූයේ හේතුඵල ධර්මතාවයට අනුව තේරුම් ගැනීමෙනි. ‘... ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති’ යනුවෙනි. පින්වත් ඔබට මෙම අංග දොළහ තේරුම් ගැනීමට නම් සන්සුන් මනසක් හදාගන්න ඕන. එවගේම පිනට, කුසලයට නිතරම ඔබගේ සිත යොමුවුන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමා සම්මාදිට්ඨිය කියලා කියන්නෙ. එවැනි යහපත් සම්මාදිට්ඨික සමාජයක් තිබෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් ඇතිවන දේවල්වලින් අයින් වෙන්න අප උත්සාහ කරනවා. ටිකෙන් ටික දාන, සීල, භාවනා පැත්තට යොමුවෙනවා. අපට අකුසල් සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම අප අනවශ්‍ය විදියට නොයෙක් දේවල් සමඟ සිතින් බැඳෙන නිසාය. අපගෙන් අනිත් අයට වියයුතු යුතුකම් හරියාකාරව අවබෝධයෙන් යුතුව කරනවා නම් අපට සිතේ අනවශ්‍ය බැඳීම් ඇතිවන්නේ නැහැ. ඒක අකුසලයක් එයට ලෝභය කියනවා. ලෝභය නිසා කේන්තිය හටගන්නවා. කේන්ති යෑම නිසා මෝහය හටගන්නවා. මෝහය කියන්නෙ අපට හරියැයි හිතෙන අපේ හිතේ හටගන්නාවූ වැරදි සිතුවිලියි. මුලින්ම හිතින් හැදෙන එක නවත්වාගන්න පුළුවනී නම් ඉතුරු අකුසලයත් නැති කරලන්න පුළුවන්. ඒ සඳහා දානය ප්‍රගුණ කරන්න ඕන.
අපගේ ගෞතම බුදුන්වහන්සේ බෝසත් අවධියේ දී පළමුවෙන්ම පූරණය කළේ ද දාන පාරමිතාවයි. ඒකට හේතුව දානය තුළින් තමා අපට ලෝභය නමැති අකුසලය නැති කරගන්න පුළුවන් වෙන්නෙ. දානය කියන්නෙ ධර්මදාන, ආමිෂ දාන, අභය දාන වලට. දානයෙන් අපට ශීලය ඇතිවෙනවා. ශීලයෙන් අපට භාවනාව වඩන්න පුළුවනි. ශීලයෙන් ද්වේෂය යටපත් වෙන අතර භාවනාවෙන් මෝහය හෙවත් අවිජ්ජාව නැතිකර ගැනීමට පුළුවන් වෙනවා. ලිපි මාලාවකින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නෙ කොහොමද? ඒ සඳහා ප්‍රගුණ කළයුතු භාවනා මොනවාද? එදිනෙදා ජීවිතයට ඒවා කොහොමද සම්බන්ධ කරගන්නෙ? සසර පැවැත්ම නවතාලීමට පටිච්ච සමුප්පාද ධර්මය ඉවහල් කරගන්නෙ කෙසේද? කියන ගැටලු සඳහා මෙම ලිපි මාලාවෙන් පින්වත් ඔබට උත්තර ලබාගත හැකිය.
පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ දී ඉතාම වැදගත්ම කොටස තේරුම් ගැනීමට උත්සාහ කරමු.
“අස්මිං සති ඉදං හොති 
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති 
අස්මිං අසති ඉදං න හොති 
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති

“මෙය ඇති කල්හි මෙය වේ. මෙය හටගැනීමෙන් මෙය හටගනී.
මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. යන එහි අර්ථයයි. ඊට පසුව එන ‘යදිදං’ (එනම්) කියන පදයෙන් කියවෙන්නේ මුලින් දැක්වූ අංග දොළහ එම ගාථාවට ඇතුළත් කළයුතුය යන්නයි. එයට සිද්ධාන්ත කොටස කියලා කියනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන එම අංග දොළහ ඉහත දැක්වූ පද හතරෙන් සමන්විත වූ ‘ඉමස්මිං සති’ කියන ගාථාවට සම්බන්ධ කළයුතුවෙනවා. පින්වතුන් ට තේරුම් ගැනීමට ජාති කියන අංගය අර මුලින් දැක්වූ ගාථාවට සම්බන්ධ කර බලමු. ‘ඉමස්මිං සති ඉදං හොති’ කියනවා වෙනුවට ජාති කියන පදය සම්බන්ධ කිරීමේ දී මෙසේ සාදාගත හැකිය.
“ජාතිය සති ජරා මරණං හොති, ජාතිය උප්පාද ජරා මරණං උප්ජ්ජති, ජාතියා නිරෝධා ජරා මරණං නිරුජ්ජති” යනුවෙන් ගළපා ගනිමු. සෙසු අංග එකොළහද පද දෙක බැගින් මෙසේ සම්බන්ධ කර ගත හැකිය. මෙහි අර්ථය මෙසේද දැක්විය හැකිය. “උපත ඇති කල්හි ජරා මරණය වේ. ඉපදීමෙන් ජරාමරණය හටගනී. උපත නැති කල්හි ජරාමරණය නොවෙයි. උපත නිරුද්ධවීමෙන් ජරාමණ නිරුද්ධ වෙයි. මෙම අදහස කියවීමේදී උපත සහ ජරාමරණය දෙකෙහි ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගත හැකිය. අපට උපත සදාකාලිකව නවතා දැමීමට පුළුවන්නම් එවිට ජරාවට පත්වෙන ස්වභාවය මරණයට පත්වෙන ස්වභාවයෙන් මිදීමට හැකිවේ. එසේම පින්වත් ඔබ කුමන හෝ අංගයකින් මෙය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා වැටහෙනවා නම් එය මෙම ගාථාවට සම්බන්ධ කරගෙන අවබෝධ ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. තමන් කැමති යුගලයක් මෙසේ ගාථාවට සම්බන්ධ කරගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න.
පටිච්ච සමුප්පාදය ධර්මයෙහි කියවෙන පළමු අංගය අවිජ්ජාවයි. අවිද්‍යාව කියලා සාමාන්‍යයෙන් අප හැමදෙනාම තේරුම් ගෙන ඉන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අප තුළ ඇති අනවබෝධයට කියලයි. ඇත්තෙන්ම ඒක සත්‍යයයි. නමුත් අවිද්‍යාව කියන්නේ ඒකටම විරතක් නොවේ. සංසාරගත සත්වයා තුළ අඳුර පි‍්‍රයකරන ආලෝකයට අපි‍්‍රය කරන ස්වභාවයත් අවිද්‍යාවයි. මෙහි අඳුර කියන්නේ, පිනට කුසලයට අපේ හිත බර නොවෙන එකටයි. ඒකට හේතුව දාන, ශීල, භාවනා කියන ධර්මයන් වැඩීමට උත්සාහ නොකිරීම. එවිට නිවරණ ධර්ම වන,
කාමචඡන්ද , ව්‍යාපාදය , ථිනමිද්ධය 
උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්චා

කියන නීවරණ පහ බලවත් වෙනවා. මේවා බලවත් වෙන්නේ මුලින් සඳහන් කළ අකුසල මූලයන්වල ලෝභ, ද්වේශ, මෝහ බලවත්වීමයි. ලෝහ, ද්වේශ, මෝහ බලවත් වෙන්නේ සංසාරගත ස්වභාවයන් නිසා මෙන්ම මේ ජීවිතයේ අප ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් එනම් ඇස කන නාසය දිව සහ මනසින් අප ගන්නා අරමුණු පිළිබඳ අවදියෙන් එසේ නැතිනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීමෙනුයි. පින්වත්නි අවිද්‍යාව ආශ්‍රවයක් හැටියටත් දක්වා තිබෙන්නේ මේක මොන තරම් ප්‍රබල අකුසල චෛතසිකයක් නිසාය. ඒ නිසා තමා පටිච්ච සමුප්පාද දේශනාවේ මුලින්ම මෙය දක්වා තිබෙන්නේ. මෙම කාරණ තේරුම් ගත්තොත් අනිත් කාරණා එකොළහ ඉතා සරලව තේරුම් ගත හැකිය. මොන තරම් මහා තීක්ෂණ ප්‍රාඥායින්ට පවා එකසැරේට රහත්භාවයට පත්වන්නට නොහැකි වන්නේද අවිජ්ජා ආශ්‍රවය ආදී ආශ්‍රවයන්ගේ ප්‍රබල බලපෑම නිසාය.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 02: 

අවිද්‍යාව මලකඩකි


බුදුන් වහන්සේ අවිද්‍යාව මලකඩට උපමාකර තිබෙන ආකාරය විමසා බලමු.
මලා වෙ පාපකා ධම්මා
අස්මිං ලෝකේ පරමිභීච
තතො මලා මලතරං 
අවිජ්ජා පරමං මලං

ලෝකයේ මෙලොවත්, පරලොවත්, නියම විදියේ මලකඩයක් තමයි පාපකර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකු මලකඩයක්. ලෝකයේ තිබෙන ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා ‘තතො මලා මලතරං’ ඊටත් වඩා ලොකුම මලකඩය තමයි අවිජ්ජා පරමං මලං - අවිද්‍යාව කියලා කියන, ඒ නොදැනුම කියලා කියන, චතුරාර්ය සත්‍යය නොදැනීම කියලා කියන ඒ මෝඩකම ඒ අඥානකම. සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ඒ අඥානකම. ඒක තමයි ලොකුම මලකඩය.
එතකොට මෙන්න මේ මලඩකය කපාහැරීමට තමයි බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා වදාළේ. එතනත් අපට තිබෙන්නේ අනුපිළිවෙල වැඩපිළිවෙලක්. මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒක බොහෝ විට මෙතන තිබෙන වටිනාකම බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මහ පුදුම විදියේ ධර්ම මාර්ගයක් මෙතන තිබෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ අංග අටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වන්නේ.

මේක අප අපට තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ, ‘හරි දැකුම්’ එතන දැකුම කියලා කියන්නේ ඇහැට පේන දර්ශනය නෙවෙයි. ජීවන දර්ශනය පිළිබඳව, - ජීවිතය පිළිබඳව දැක්මයි. ලෝකය පිළිබඳ දැක්මයි. හරි දැකුම් කියලා කියන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ ‘හරි සිතුම් පැතුම්’ ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ ‘හරි කියුම්’ හරි වචන කියලා කියන එකයි. සම්මා කම්මන්ත කියලා කියන්නේ ‘හරි කෙරුම්’ සම්මා ආජීව කියලා කියන්නේ ‘හරි දිවි පැවතුම්’ ජීවිතය පවත්වා ගැනීම පිළිබඳව ක්‍රමය. ඊළඟට සම්මා වායාම කියන්නේ ‘හරි වෙර දැරුම්’ වීර්යයි. සම්මා සති කියලා කියන්නේ ‘හරි සිහි කෙරුම්’ නියම විදියේ සිහි කිරීමයි. සම්මා සමාධි කියලා කියන්නේ ‘හරි සිත් එකඟ කෙරුම්’ හරි විදියට සිත එකඟ කර ගැනීමයි. මේ එක එකක් ගැන දිග විස්තර කිරීමට කාලය මදි නිසා, කෙටියෙන් සඳහන් කළොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ, හැම කෙනාටම ජීවන දර්ශනයක් තිබෙනවා. අපරාධ කාරයාටත්, හැම කෙනාටම තියෙනවා යම්කිසි ජීවන දර්ශනයක්. පළඟැටියාටත් තියෙනවා ජීවන දර්ශනයක්. ඒක පිළිස්සීමෙන් කෙළවර වෙනවා. ඊළඟට ඒ විදියට ජීවන දර්ශනය යම් කෙනෙකුගේ හරි නම්, එතන ඉඳලාම දියුණුව කරා යන්න පුළුවන්. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය වැරැදි නම් එතන ඉඳලාම පරිහානියයි. එතකොට පළවෙනි පියවර තමයි ජීවන දර්ශනය කියන එක. ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ - සම්මා දිට්ඨි කියලා. ඒ කියන්නේ, එක අතකින් දක්වනවා, නොගැඹුරු වශයෙන් දක්වනවා නම්, මේ සංසාරය ගැන පමණක් කල්පනා කරලා ප්‍රකාශ කරනවා නම්, හොඳ නරක පිළිබඳව වටහාගැනීම. කුසල් අකුසල් පිළිබඳව වටහා ගැනීම. ලෝකයේ දානමානාදියේ ආනිශංස ඇත. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත ආදි වශයෙන් කාරණා දහයක් හැටියට දක්වනවා. ඒ කුසල් කිරීමට, පින් කිරීමට උපකාර වන විදියේ යම්කිසි දර්ශනයක්, ඒක මේ සංසාරයේ දුගතියට නොගිහින්, සුගතියට යාමට උපකාර වන විදියේ දර්ශනයක්.
නමුත් ඊටත් වඩා ගැඹුරට යන එක තමයි චතුරාර්ය සත්‍යය. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුන් විසින් ම දක්වා වදාරණ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මේ මුළු මහත් සාංසාරික පැවැත්මම, මේ පංචස්කන්ධයම, දුකක්. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හා පිපාසය සංසිඳුවා ගත්තු කියන වැරැදිවලින් ඉවත් වෙන්න. පරපණ නැසීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන ඒවායින් වෙන් වෙන්න. ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේක සම්මා කම්මන්තයයි. සම්‍යක් කර්මාන්තයයි. ‘හරිකෙරුම්’ ඒකයි.
ඊළඟට එතනින් නවතින්නේ නැහැ. සමහර විට මේ කාලයේ බොහෝ දෙනාට තිබෙන ලොකු ගැටළුවක් තමයි දිවි පෙවෙත, ජීවන මාර්ගය පිළිබඳ ප්‍රශ්නය. අධර්ම මාර්ගයට ඇද හෙළීමට නොයෙකුත් තැන්වලින්, මේවාට ආධාර ලැබෙනවා. ඒකෙන් විශාල ලෙස බෞද්ධයාගේ ජීවිතය පරිහානිය කරා යනවා. එතකොට මිච්ඡා ආජීව කියන්නේ වැරැදි ජීවිකා ක්‍රම. ඒවා අතහරින්නට ඕන. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා, බෞද්ධ පින්වතෙකු විසින් නොකළයුතු දේවල් හැටියට, නොකළයුතු රැකියාවන් හැටියට අවි ආයුධ වෙළදාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළෙදාම, විෂ ද්‍රව්‍ය වෙළෙඳාම, ඊළඟට මත්පැන් වෙළෙඳාම ඔන්න ඕවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිකාවක් සකස් කරගන්න උත්සාහ වන්ත වෙන්නට ඕන. එහෙම නැතිනම් ඒ බෞද්ධ ජීවන මාර්ගය, ඒ ආජීවය කියන කාරණය, සම්පූර්ණ කරගන්න බැරිවෙනවා.
ඒ විදියට දිවි පැවතුම අමාරුවෙන් හරි, යම්කිසි පරිත්‍යාගයකින් හරි, කෙනෙක් සකස් කරගත්තා නම් ඒක අපතේ යන්නේ නැහැ. ඒ සඳහා යොදන උත්සාහය තුළින් තමයි, ඊළඟට, ඒ උත්සාහය තුළින් ඒ තැනැත්තා යෝගාවචර භූමියට, භාවනා භූමියට, ඉබේම ඇතුල් වෙනවා. ඉබේම ඒ තැනැත්තාට ඒ ඇතුල්වීමේ සුදුසුකම ලැබෙනවා. මොකද, අර තමන්ගේ දිවි පැවතුම් සකස් කරගැනීම සඳහා දරණ උත්සාහ තුළින් ඒ තැනැත්තා කරන්නේ මොකක්ද, හිත ඇතුලේ කෙරෙන්නේ මොකක්ද ඒකට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ‘හරි වෙර දැරීම’ නියම වීර්යය ඒකයි. ලෝකයේ කෙරෙන වීර්යයක් නෙවෙයි ඒක. සිත ඇතුලේ කෙරෙන වීර්යයක්. මොකක්ද ඒ වීර්යය. නූපන් අකුසල් ධර්ම නූපදවීම සඳහා යොදන වීර්යය. උපන් අකුසල් ධර්ම නෙරපා හැරීම සඳහා යොදන වීර්යය. නූපන් කුසල් උපදවාගැනීම සඳහා යොදන වීර්යය. ඊළඟට උපන්නා වූ කුසල්, ආරක්ෂා කරගැනීම, තහවුරු කරගැනීම සඳහා යොදන වීර්යය. කෙටියෙන් සළකා ගත්තොත් එතකොට මෙන්න මේ සතර ආකාරය වීර්යය තුළ තිබෙනවා විශාල වටිනා භාවනාවක්. ඒ භාවනාව දිගින් දිගට යාම තුළින් තමයි ඒ තැනැත්තා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහි කෙරුම, හොඳ සතියක් ඇති වෙන්නේ. හරියට මුරකාරයෙකුට වැඩක් දුන්නා නම්, මෙතනට නරක අය වද්දා ගන්න එපා, නරක අය ඉන්නවා නම් මෙතනින් පන්නන්න, හොඳ අය ළං කරගන්න, ඒ අයට හොඳට සළකන්න කියලා මුරකාරයෙකුට වැඩක් දුන්නා නම්, ඒ තැනැත්තාට නිදිනැතිව, ප්‍රමාදයට වැටෙන්නේ නැතිව , ඒ තැන නිවනයි. ඒ නිවනට ඇති මාර්ගයම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය ඒ විදියට සකස් කරගත්තා නම්, ඒ තැනැත්තා තුළ ඇතුළතින් ම යම්කිසි පරිවර්තනයක් ක්‍රමානුකූලව ටිකෙක් ටික, මොහොතින් මොහොත ඇතිවෙන්න පටන් ගන්නවා. හරියට අර පළමුවෙනි පඩියට නැග්ගාම, එක අඩියක් තිබ්බාම, අනෙක් කකුළ ඉස්සෙනවා වගේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන මේ දර්ශනය, ජීවන දර්ශනය යම් කෙනෙකු තුළ ඇති වුණා නම්, ඒ තැනැත්තා තුළ ක්‍රමික වශයෙන් ක්‍රමානුකූලව සිතුම් පැතුම් පිළිබඳව, යම්කිසි සියුම් පරිවර්තනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දක්වලා තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙක්ඛම්ම කියලා කියන්නේ, මේ ගිහිගෙයින් නික්මීම කියන අදහස, ගිහිගෙයින් නික්මීම පිළිබඳ අදහස. මේක කියන කොට මේ සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් කියලා හිතන්න නරකයි. ගිහිගෙයින් නික්මීම කියලා කියන්නේ මේ සංසාරයය දුකයි. දැන් සමහර විට ගිහි පින්වතුනුත් කලබල අවස්ථාවල ප්‍රකාශ කරනවා මහණ වෙන්න ඕන කියලා. යටත් පිරිසෙයින් යටි හිතේ හෝ තිබෙනවා ඒ මහණවීම පිළිබඳව මේ බෞද්ධ පින්වතුන් තුළ යම්කිසි නැඹුරුවක්. ඒකට උපකාර වෙනව සංඝයා වහන්සේලාගේ දර්ශනය, සංඝයා වහන්සේලා ඇසුරු කිරීම් ආදිය. අන්න එබඳු අවස්ථාවල මේ පින්වතුන්ට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්පයයි. නික්මීම පිළිබඳ අදහසක්. ඒක කුසල් අදහසක්. ඒක කුසල සිතක්. අති දීර්ඝ කාලයක් නික්මීම පිළිබඳ සිතිවිලි ඇති වීමෙන් තමයි කෙනෙකුට පැවිදි වෙන්න පවා ශක්තියක් ලැබෙන්නේ. ඒ විදියට ‘නෙක්ඛම්ම සංකල්පයට සිත නැඹුරු වෙනවා.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 03: 

ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැටලුවක් කර නොගත යුතුයි


අව්‍යාපාද සංකප්ප, ඒ කියන්නේ මෛත්‍රී සිතිවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි, ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසාව පුරුදු කරන්න.
කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා කියන සිතිවිලි. මෙන්න මේ සිතිවිලිවලට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සිතිවිලි අනුසාරයෙන් ඒ තැනැත්තාගේ වචනත් ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම්, කේළාම් කීම්, පරුෂ වචන කීම්, නිශ්ඵල වචන දෙඩීම් යන ඒවායින් ඉවත් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. ආජීවක අෂ්ඨමක සීලයේ මේ ගැන කියවෙනවා. ඊළඟට ඒ හොඳ වචන කතා කරන අතරේ ඒවායින් වෙන් වෙලා සත්‍ය වචන, අනෙක් අය සමඟ කතා කරන වචන, ඒ වගේම අර්ථවත් වචන ඒ විදියට පාවිච්චි කරනවා නම් මෘදු මොළොක් වචන භාවිතා කරනවා නම්, ඒ තැනැත්තා ඊළඟට කල්පනා කරනවා. මගේ වචන හැටියට මගේ වැඩත් තියෙන්න ඕන කියලා. අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර කියන වැරැදිවලිනුත් ඈත් වෙනවා. අන්න ඒ වගෙයි අර තමන්ගේ දිවි පැවතුම් පිළිබඳව උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සන්තානයේ ඇති වෙන ඒ විශාල පෙරළිය. විශාල පරිවර්තනය, ඒ විශාල වීර්යය, උත්සාහය, ප්‍රයත්නය නිසා ඒ තැනැත්තා තුළ ක්‍රම ක්‍රමයෙන් වටිනා ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් ඇති වෙනවා සම්මා සතිය කියලා. නියම සිහිය, නියම සිහි කෙරුම.

හරියට සිහිය මතු වෙනකොට ඒකට යොමු වෙන්නේ, ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සතර සතිපට්ඨානයයි. මේ ශරීරයේ ස්වභාවය ගැන සිතන්න පටන් ගන්නවා මේ ශරීරයේ ඇති වන වේදනාවන් ගැන, මේ හිතේ ස්වභාවය ගැන, සිතට එන, ඇති වන - සිතිවිලි ගැන, මෙන්න මේවා පිළිබඳව. මේකයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තමයි නිවනට ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය, නොවරදින මාර්ගයත්, ඒ සතර සතිපට්ඨානයයි. එතකොට ඒ සතිපට්ඨානය වැඩීම තුළින් ඊළඟට යම් කෙනෙකු තුළ සුළු වෙලාවක් ඒ සිහිය පවත්වා ගන්න ශක්තිය ලැබුණා නම් ඒක ක්‍රම ක්‍රමයෙන් ඒ වෙලාව වැඩි කරන කොට ඒ තැනැත්තාට යම්කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ තැනැත්තාගේ සිත තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට හරි සිත් එකඟ කෙරුම් තුළින් සිත එකඟ කරගන්න පුළුවන් වෙනවා. යම්කිසි කර්මස්ථානයක් තුළ එයින් කෙරෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයයි. අප මේ කාලයේ වචනයක් යොදනවා. ‘පෞරුෂය’ කියලා කෙනෙකුගේ ජීවිතය පිළිබඳව අදහස පෙන්නුම් කරන්න. ‘පෞරුෂය’ කියලා කියනවා. පෞරුෂය කියන එක මතු වෙන්නේ ඔන්න ඔතනදී. හරියට අර චෛත්‍යයක් හදන්න පටන් ගෙන කොත පැළැන්දුවාම වගේ සම්මා සමාධිය යම්කිසි සන්තානයක ඇති වුනා නම් ඒ තැනැත්තාගේ පෞරුෂය ඒකාග්‍ර වෙනවා. අන්න ඒ තත්ත්වයටපත්වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම කියලා කියන්නේ.
යම්කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා නම් ඒ තැනැත්තාට එතනම නිවනයි. මේ ධර්ම මාර්ගය කොයි තරම් පුදුමද කියතොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, මේ ස්වාක්ඛාත වූ ධර්මය, සන්දිට්ඨිකයි අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි’ කියලා. ඒ කියන්නේ මේ මැනවින් දේශනා කරන ලද ධර්මය. ධර්ම ප්‍රතිපත්ති, ඒවා නොසිස් ප්‍රතිපත්ති ඇති ඒවා. ‘හරියට ආනිසංස දෙන නොවරදින ප්‍රතිපත්තියක් ඇති ධර්මයක් මේ. අන්න ඒක නිසා ඒක ස්වාක්ඛාතයි. සන්දිට්ඨික කියලා කියන්නේ. මේක එදිනෙදා ජීවිතයේ තමන්ට මෙලොවම ඇස් පනාපිටම ඒවායේ ප්‍රතිඵල දකින්නට පුළුවන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ‘ථොක ථොකං ඛණෙ ඛණෙ’ කියලා, ප්‍රකාශ කළ ආකාරයට, ටිකෙන් ටික, හෙමින් හෙමින් හරි පටන් ගෙන ඒ කරන කරන ප්‍රමාණයට ආනිසංස තියෙනවා. ඊළඟට ඒ වගේ ම තමයි අකාලික ධර්මතාව අනුව විපාක දෙනවා. අර විශේෂයෙන් අප ප්‍රකාශ කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනකොට එතනම නිවනයි. ආයිත් වෙන කෙනෙක් ඇවිල්ලා දැන් සම්පූර්ණ කරාද, ඔන්න එහෙම නම් මම නිවන දෙනවා කියලා, කරන්න දෙයක් නැහැ. ඒකයි මේ ධර්මයේ අකාලික බව.
ඊළඟට ඒහිපස්සික කියලා කියන්නේ ‘එව, බලව, කියනවා. ධර්මයමයි. මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ. ‘එන්න බලන්න’ කියලා. බොහෝ විට ඔය වෙළෙන්දන් එහෙම පදික වේදිකාවල ‘එන්න බලන්න’ කියලා ආරාධනා කරනවා. ඒ විදියේ දෙයක් නෙවෙයි බුදුපියාණන් වහන්සේ මෙතන මෙහි දක්වලා තියෙන්නේ. ධර්මයයි මේ ‘එන්න, බලන්න’ කියලා. මේ මා මෙහෙම ක්‍රියාවට නගලා බලන්න, මෙහි ප්‍රතිඵල තිබෙනවාද කියලා. අන්න ඒ අදහසයි ඒහිපස්සික කියලා කියන්නේ. ‘එව බලව‘ කියන එක. ඒ වගේ ම ඕපනයික කියලා කියන්නේ, එකින් එකකට ඇදගෙන යන ශක්තියක් තිබෙනවා. අප අර කිව්ව මහ මුහුදේ උපමාව අනුව, එකින් එකට ඇදගෙන යනවා. එකින් එකට ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒක, පඩි පෙළක් නගින කොට එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා වගේ, ඒ නිසා ම මේ ධර්ම මාර්ගයේ යම් තැනකින් ආරම්භ කළා නම්, හරියට ආරම්භ කළා නම්, හරියාකාර ආරම්භයක් කළා නම්, එතන ඉඳලාම ඒ තැනැත්තාට දියුණුව තිබෙනවා. නිකම්ම නොවේ එහි යෙදෙනවා නම්.
අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ එයින් පෙන්නුම් කරන්නේ ඒහිපස්සික, ඕපනයික, ගුණ ඊළඟට පච්චත්තං’ වේදිතබ්බෝ විඤ්ඤුහි නුවණැති පුද්ගලයින්ට අමුතුවෙන් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ, තමන්ටම ඒක ක්‍රියාවට නගලා, තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් තිබෙනවාද මේ සංසාරය කෙළවර කරගන්න පුළුවන්ද, මෙලොවදීම ඒ ‘දිටේඨව ධමේම’ කියන ආකාරයට මෙලොවම, ඒ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? බැරිද? කියන එක කරලාම බලන්න ඕන. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ මෙතන දේශනා කර වදාළා. එතකොට මේ ගිහි පින්වතුන්ට තමන්ගේ ගිහි භාවය නිසා හෝ මේ ධර්ම මාර්ගය ගැන පසුබට වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේ දී බුද්ධ කාලයේ පවා, අනාථ පිණ්ඩිකාදීන් ඔය මේ කාලයේ ධනවතුන් ගැන කල්පනා කරනකොට ඊට වඩා සිය දහස් ගුණයක් විශාල ධනයක් ඇති කෙනෙක් අනාථ පිණ්ඩික සිටාණන්, නමුත් සෝවාන් උපාසකයෙක්. ඒ තැනැත්තාගේ, ඒ උපාසකතුමාගේ දූ දරුවන් පවා මාර්ග ඵල අවබෝධය ලැබුවා. විශාඛා මහා උපාසිකාව, ඊළඟට චිත්ත ගෘහපති, හත්ථක ආලවක ආදී ඒ ගිහි නාම රාශියක් තියෙනවා. ඒ මාර්ග ඵල අවබෝධය ලැබූ අය අතර වූවන්.
ඒ පින්වතුන් නිකම්ම නෙවෙයි කාලය ගත කළේ නියම ධර්ම මාර්ගය හැම අවස්ථාවකදීම යොදා ගත්තා. බුදුපියාණන් වහන්සේ සමඟ ධර්මය සාකච්ඡා කරනවා. බණ භාවනාවල යෙදෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ජීවිතය ගෙවුවේ. අන්න ඒ විදියට ජීවිතය සාර්ථකව ගෙන යන බෞද්ධ පින්වතුන්ට පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් අදත් ප්‍රතිඵල නෙළාගන්න. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, දැන් අද විශේෂයෙන් ම තම තමන්ගේ ජීවිතයේ තිබෙන වැඩ කටයුතු ආදිය නිසා මේ කාලයේ දී බොහෝ දෙනා පසුබට වෙනවා. මේ වැඩ කටයුතුවලට කාලය සොයා ගැනීම පිළිබඳ වූ ගැටළුවයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේ ම ඒ නිසාම ප්‍රමාදයට වැටෙනවා.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 04

අතීතයමෙනෙහි කිරීම


"මේ අපේ ශරීර කූඩුවත් මේ අනිකුත් දේවලුත් මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ, කහවනු රත්තරන් කියලා කිව්වත්, මේක රත් කරලා ගත්තත්, රත්-රන් වුණත්, අමු - රන් වුණත්, මේ හැම එකකම තියෙන්නේ ඔය කියපු ධාතු සතර විතරයි. හැම දෙයක් පිළිබඳවම ඔය විදියට කල්පනා කරනකොට මෙතන තියෙන්නේ වේදනා ගොඩක්, සංඥා ගොඩක්, චේතනා ගොඩක් සිතිවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක් මනසින් මෙනෙහි කිරීමක් කියලා ඒ විදියට හඳුන ගන්නවා."
අප පසුගිය පොහොය සතරේදීම පටිච්ච සමුප්පාදයේ විස්තර වන පළවෙනි අංගය වන අවිද්‍යාව කියන්නේ කුමක්ද? කියලා සරලව පැහැදිලි කළා. උතුම් නිකිණි පෝය දින වන අද දවසේ දී ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාද දේශනාවේ දෙවන අංගය වන ‘සංස්කාර’ පිළිබඳ නාම කොටසේ තුන්වන අංගය ලෙසත් සංස්ඛාර දක්වලා තියෙනවා. පින්වත්නි සංඛාර කියන්නේ අවිද්‍යාව නිසා ඇස, කන, නාසය, දිව ශරීරය මනස කියන මෙම ඉන්ද්‍රියන් හයෙන් රැස්කර ගන්නා වූ සිතිවිලිවලට, එය පින් ලෙසත් පව් ලෙසත් ධ්‍යාන සිත් ලෙසත් පැහැදිලි කරනවා. නිවනට සාපේක්ෂව පින් රැස්කිරීමෙන් ක්ෂණ සත් වැඩිවීමත් භවය දැක්වීමට හේතුවක්. එම තුනට පාලියෙන් කියන්නේ.
1. පුඤ්ඤාභි සංඛාර
2. අපුඤ්ඤාභි සංඛාර
3. ආනේජ්ඣාහි සංඛාර ලෙසයි.
මේවා දෙවතාවක් තුන්වතාවක් කියෙව්වට ඔබට නොතේරෙන්න පුළුවන්. නිතර නිතර ධර්මයට ඇලුණු සිතක් ඇති කරගත්විට ඔබට පුළුවන් ජීවිතය පටිච්සමුප්පන්න ආකාරයට තේරුම් ගන්න අපි දැන් බලමු අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ කොහොමද කියලා. ‘අවිජ්ජා පච්චයා සංඛාර’ යනුවෙන් පින්වත්නි එය පැහැදිලි කරනවා.
බුදුපියාණන්වහන්සේ මේ ‘සංස්කාර’ කියලා වචනයට දීලා තියෙන උපමාව බොහෝම පුදුම උපමාවක්. මේක අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ‘සංඛාරා කදලූපමා’ කියලා. මේ සංස්කාර කියලා කියන දේ හරියට කෙහෙල් කඳක් වගේ, කියලා. කෙහෙල් කඳ කියන එක කවුරුත් දන්නවා. දැන් බුදුපියාණන් වහන්සේ හොඳ කථාන්තරයක් වගේ ඒක පෙන්වනවා. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කෙහෙල් ගහක් දැකලා නෑ. ඒ තැනැත්තා කැලේකට ගියාම කෙසෙල් ගහක් දකිනවා පළමුවෙනි වරට. ඒක බැලුවාම බොහොම කෙලින් මේ කෙසෙල් කඳ. හිතා ගන්නවා මේකෙ අරටුවක් තියෙනවා කියලා. මේක උඩිනුයි යටිනුයි කපලා කරගහගෙන එනවා ගෙදරට, මොකද, අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්නේ මේකේ අරටුවෙන් කියලා. මෙහෙම අරගෙන ඇවිල්ලා මේ කෙසෙල් කඳ ගැන බුදුපියාණන් වහන්සේ මේ කතාව පැහැදිලි කර දෙන්නේ අප නෙමෙයි, අප මේක තව ටිකක් තේරුම් කරන්නයි. අනිකුත් විස්තර දෙන්නෙ, නමුත් උපමාව බුදුපියාණන් වහන්සේයි දෙන්නේ මේ ගෙනාපු කෙහෙල් කඳේ ඉස්සෙල්ලාම පතුරක් ගලවනවා, බලාපොරොත්තු වෙනවා අරටුවක් තියෙයි කියලා. ඊළඟට බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. එකින් එක පතුරු ගලවනවා. අන්තිමට කෙහෙල් බඩේට ඇවිල්ලා. එතනත් තිබෙන්නේ පතුරු ගොඩක්. ඒ විදියට බලන කොට කෙහෙල් ගහේ කොහෙත්ම අරටුවක් නැති බව අර තැනැත්තා තමන් ම වටහා ගන්නවා පළමුවෙනි වරට.
ඔන්න ඔය විදියේ උපමාවක් බුදුපියාණන් වහන්සේ දෙන්නේ ඔය සංස්කාර කියන වචනයට. අප දැන් මේක තේරුම් කරගන්න පුළුවන් ආකාරයට සිංහල වචනයක් මේ විදියට කිව්වා. ‘සූදානම් වීමක්’, ‘අර ඇඳීමක්’, ‘සකස් වීමක්’ කියන එක. එතකොට මේ මුළු ජීවිතය තුළම කරන දේවල් ගැන කල්පනා කරලා බලන කොට, හැම එකකම ඔන්න ඔය විදියේ ස්වභාවයක් තියෙනවා, එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා, ඒ එක එකක් බලාගෙන යනකොට එකකවත් අරටුවක් නෑ. ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම දැන් ඔය කුඩා දරුවකුගේ ජීවිතයේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා හෝ නොවුණා හෝ තව ටික දවසකින් තරුණයෙක් වෙනවා. තරුණයාගෙත් යම් යම් බලාපොරොත්තු ඒවා ඉෂ්ට වෙන්නත් කලින්, ඒවා එක්කො විනාශ වෙලා ගිහිල්ලා ඊළඟට දන්නෙම නැතුව මහලු වයස එනවා. මහලු කෙනාගෙත් යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඒවා ඉෂ්ට කර ගන්නත් කලින්, සමහර විට, මරණයට පත් වෙනවා. ඔය විදියට මුළු ජීවිතයේ ම තියෙන්නේ සූදානම් වීම්, අර ඇඳීම් ගොඩක්.
ඔන්න ඔය විදියට මෙතන හරයක් නැති බව, අරටුවක් නැති බව, තමන්ගේ යටතෙහි පවත්වා ගන්න බැරි බව, අර කාල කියන දරුවාටත් තේරෙන්න ඇති. අර තමන්ගේ කර්මස්ථානේ භාවනා මාතෘකාව ඔස්සේ. මොකක් ද භාවනාව? මේ මසුරන් මල්ල. මසුරන් මල්ල තුළින් ම මේ දරුවට තේරෙන්න ඇති ‘දැන් ඉතින් මේ වගේ ම තමයි අනිත් දේවලුත්’ කියලා. මේ ශාසනයේ අවුරුදු හතේ දරුවන් රහත් වුණා කියලා තියෙනවා. පොතක් පතක් කියවල වත් වෙන ලොකු පණ්ඩිත කමක් උපාධියක් ඇතිව නොවෙයි. මොකක් ද සිද්ධ වෙන්නේ. අර හිත ඇතුළේ වෙන වෙනස. මේ දරුවා කල්පනා කරලා බලවා. පුණ්‍ය ශක්තියක් තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආශ්‍රයෙන් ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලටත් සිද්ධ වෙන්න ඇත්තේ එහෙම එකක්. මේ මසුරන් මල්ල පිළිබඳ භාවනාව තුළින්, බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරන ඒ ක්‍රමය, ඒ ආකාරය නිසා, මේ දරුවාට ටිකෙන් ටික අර මසුරන් මල්ල තුළින් භාවනාවට අදාළවෙන කාරණා මතුවෙන්ට ඇති.
මේ ධර්මයේ භාවනානුයෝගීන් පිළිබඳව කියවෙන කාරණයක් තමයි, මේ සංස්කාර කියන දේවල් මෙනෙහි කරන්නට ඕන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වශයෙන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරන කොට දැන් මේ’ හැම එකකටම අප නොයෙකුත් නම් දීලා තිබුණට මොකද, භාවනානුයෝගියා ඒවා ගැන කල්පනා කරන්නේ නාමරූප ධර්ම හැටියට. නාම රූප කියලා කිව්වම අපට හිතාගන්න පුළුවන් මෙතන තියෙන්නේ නම් ගොඩක් සහ රූප ගොඩක් විතරයි. අසවල් අසවල් දේ කියලා අප ලෝකයේ නම් තබාගෙන තිබුණට මොකද, මේවා ඇතුළතින් බලනකොට, සිතට වැටහෙන ආකාරයට අනුව බලනකොට, මෙතන තියෙන ධර්ම බුදුපියාණන් වහන්සේ මේ විදිහටයි දක්වලා තියෙන්නේ. මෙතන තිබෙන්නේ වේදනාවක් තියෙනවා ‘වේදනා’ කියලා දෙයක් තියෙනවා. සංඥාවක් තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ස්පර්ශයක් තිබෙනවා. මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර, මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම හැටියට හඳුන්වලා තියෙන්නෙ. දැන් ලෝකයේ අප යම් යම් දේවල්වලට ‘මේසය’, ‘පුටුව’ කියලා එහෙම නම් දාලා තියෙනවා. දැන් අර මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි ඇත්ත වශයෙන් ම සිතට වැටහෙන්නේ මෙච්චරයි, ගැඹුරින් කල්පනා කරලා බලනකොට, අර දරුවටත් තේරෙන්න ඇති මෙතන මේ ලෝකයේ නමක් දාලා තිබුණට මේවා රත්තරන් කියලා කිව්වට මොකද, මෙතන තිබෙන්නේ, මේ සිත ඇතුළේ මෙන්න මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා. මේක ලබාගන්න තියෙන බලාපොරොත්තුව නිසා සැප වේදනාවක් තිබෙනවා. ඒ අනුව යම්කිසි හැඳිනීමක් තියෙනවා. රත්තරන් කියන ජාතිය, මසුරන් කියන ජාතිය, බොහෝම වටිනා දෙයක් කියලා. ඒවා ලබාගන්න චේතනාවක්, බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සිතිවිල්ල අර බණ පදය ඇහෙන කොට සිතේ යම්කිසි ගැටීමක්, ස්පර්ශයක්, තිබෙනවා. ඒ ස්පර්ශයට අනුව මෙනෙහි කිරීමක් සිත ඒ පැත්තට යොමුවීමක් තිබෙනවා. සිත ඇතුළේ සිද්ධ වෙන්නේ ඔය ටික විතරයි. එතකොට බුදුපියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවට වැටහෙනවා, කියන බණ පදයක් පාසා, ‘මගේ සිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමක් නැහැ. මෙතන වටින දෙයක්, අමුතු දෙයක් නැහැ. මෙච්චරයි තියෙන්නේ’ කකියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය.
ඊළඟට රූපධර්ම කියලා කියන්නේ, මෙන්න මේ දැන් ලෝකයේ තිබෙන තාක් දේවල් නොයෙකුත් පාට ගාලා, ලස්සන කරල, හැඩරුව ඇතිව තිබුණට මොකද, මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේත්, හැදිලා තිබෙන්නේත් මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරෙන් පඨවි කියලා කියන්නේ මේ මහ පොළවේ තිබෙන තද ගතිය ඇති ගස් ගල් ආදියේ තිබෙන ඒ මූල ධාතුවයි. ඒ වගේ ම ආපෝ කියලා කියන්නේ දැන් මේ අවස්ථාවේ වහිනවා. මේ ආපෝ ධාතුව මහ මුහුද, ජලාශවල තිබෙන වතුර ආශ්‍රයෙන් අප ආපෝ ධාතුව හඳුන ගන්නවා. ඒ වගේ ම තේජෝ ධාතුව උණුසුම් බව, වායෝ ධාතුව සුළඟ, ඔය විදියට මෙන්න මේ මහ පොළවෙන්, ජලයෙන් ගින්නෙන් සුළඟෙන් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කූඩුවත් මේ අනිකුත් දේවලුත්. මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ, කහවනු රත්තරන් කියලා කිව්වත්, මේක රත් කරලා ගත්තත්, රත්-රන් වුණත්, අමු - රන් වුණත්, මේ හැම එකකම තියෙන්නේ ඔය කියපු ධාතු සතර විතරයි. හැම දෙයක් පිළිබඳවම ඔය විදියට කල්පනා කරනකොට මෙතන තියෙන්නේ වේදනා ගොඩක්, සංඥා ගොඩක්, චේතනා ගොඩක් සිතිවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක් මනසින් මෙනෙහි කිරීමක් කියලා ඒ විදියට හඳුන ගන්නවා. ඊළඟට අනික් හැම දෙයක් ම ලෝකයේ තියෙන වටිනා, නොවටිනා, ඒ කතන්දර මොකවත් නැහැ. හැම දෙයක් තුළම තියෙන්නේ මේ ධාතු හතරයි කියන ඔය වැටහීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු තත්ත්වය ලබාගන්නට පුළුවන් වෙන්නේ. ඒකට කියන්නේ, නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට කාලටත් අර විදිහට අර මසුරන් මල්ල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැතිවෙලා, ‘මේක මේ නිෂ්ඵල වැඩක්. ඊළඟට බලනකොට මම මොකක් ද මේ කරන්නේ. මම මේ බුදු පියාණන් වහන්සේ ගේ බණ පදයට ඇහුම් කන් දෙන අතරේ මේවා ගැන මේ මසුරන් මලු ගැන සිත සිතා ඉන්නවා. ඔන්න ඊළඟට ටික ටික මේ කාලට අර මසුරන් පිළිබඳ ආසාව නැති වුණා. මේවා ගැන කලකිරීමක් ඇති වුණා. ඇත්ත වශයෙන් ම මේ ලෝකෝත්තර තත්ත්වය ලබාගන්න උපකාර වෙනවා සසර ගැන කලකිරීම - සංසාරය ගැන කළකිරීම, මේ උතුම් තත්ත්වය ලබාගත්තු සමහරුන් ගැන කියවෙනවා. ධර්මයේ ඔය පටාචාරා, කිසාගෝතමී ආදීන් ගැන එහෙම තමන්ගේ ජීවිතයේ යම් කිසි භයානක විදියේ විපත්තියක් සිදුවුණාම, ඔන්න කල්පනා කරනවා, මේ ලෝකයේ තත්ත්වය මේකයි කියලා. අන්න ඒවගේ දැන් මෙතන කාටත් මේ කාරණය නිසා තේරුණා මේවා නිෂ්ඵල වැඩ, මේ අනිත්‍යතාව, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා.

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 05:

දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි


කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා.
බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්‍රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට සිතාගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අත්හැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දේකින්ම කරන්නේ අත්හැරීමයි.අත්හරින්න අත්හරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඔය විදියේ තත්ත්වයක් තිබෙන්නේ. කාලටත් මේක තේරුණා. ඔන්න ඔහොම සිත ඇතුළේ වුණ ලොකු විපර්යාසයකින් වෙන්ට ඕන කාලට අර විදියේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. අතීත සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්ට පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල්කාලයේදී අර විදියට ජීවත් වුණත් බුදුපියාණන් වහන්සේගේ ඒ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබාගත් බව අපට හිතාගන්න පුළුවන්.

යහපත් ආදර්ශයක්

දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදු උපක්‍රමය ගැන සිතලා බලන කොට ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුනුරුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ. “සද්ධා දායාදය”යි, “ධර්ම දායාදය”යි.අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුනුරුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්
ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටලු තුළින්ම පුළුවන් අපට නිවන මතු කරගන්න. මේ ළමයට තිබුණ ගැටලුව තමයි අර බණපදයක් කොහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටලුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමකෙනාටම තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට ,ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්‍රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝක වාසීන් දන්නේ නැහැ. අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. අප ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන.ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය වැසියා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? අනිචිචෙව නිච්ච සඤ්ඤා’ –අනිත්‍යදේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්,අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුකේඛ සුඛසඤ්ඤා’– දුක් සහිත දේ සැපය කියලා. හිතන – එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක්, ලෝකයා තුළ තිබෙනවා. ‘අසුභෙ සුභසඤ්ඤා – ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසුදු හැටියට, ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම, ‘අනත්තන්නි අත්තසඤ්ඤා’ –ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා ‘මමය, මගේය” කියලා ගන්නවා. ඔන්න ඔය විදියේ වැරැදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියා බුදුපියාණන් වහන්සේ දේශනා කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්, විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරැදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම නිවැරැදි ආකල්පය ඇතිකරගන්න උත්සාහවත් වීමයි. කොහොම ද? ඒ නිවැරැදි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක් සහිත දේ දුක් හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ මමය, මගේය කියලා ගත නොහැකි දේ මගේ නොවන බව හිතෙන විදියට ඒ සිත පුරුදු කර ගන්න ඕන.
දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුණේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා සිතා ගත්තා. මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට සිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්‍රාර්ථනාවකින්, බණ අහන්නට පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන්, වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, මෙතන සුභ දෙයක් නැහැ. මේකෙ මමය, මගේය කියලා ගන්න දෙයක් නැහැ කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අප මේ හැම දෙයක්ම පිළිබඳව සිත යොදලා, ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා. මෙනෙහි කිරීම, මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරැදි ආකාරයටයි. බොහෝ විට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අප සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්ට පටන් ගත්තේ මසුරන් මල්ල සිතේ තියාගෙන . සිතට සිතේ පිටිපස්සෙන් තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස, මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණබදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නැහැ. ඒක තමයි වැරැදි මෙනෙහි කිරීම, ලෝකයේ බොහෝදෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරැදි ආකාරයටයි. මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින් දේවල් කියලා සිතාගෙන, මෙතන තියෙන්නේ වින්ඳන –විඳීම් ගොඩක්, හැඳීනීම්” ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා. ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ , වායෝ කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදියට මේවායේ යථා තත්ත්වය,ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම, ඒක තමයි දියුණූ කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්ත මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරැදි මෙනෙහි කිරීම අත්හැරලා හරි ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන.
ඒ වගේම තවත් එකක් තිබෙනවා. මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්, සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් හිටියා සමහර අය ගවයන් හැටියට, ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන් නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතිනම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ පිරිසක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට සිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. දැන් භාවනාවෙදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් අර ‘අතගෑම වගේ ‘හිතගෑම විතරයි. මේ කටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා –කෙහෙල් ගහ කරගහගෙන ඒක බදාගෙන ගියා. ඒක බදාගෙන ගියේ ‘මේකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන . මෙන්න මේ විදියට බදාගැනීම අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන් දකින්ට බැහැ. මේ දුකින් නිදහස් වෙන්ට බැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙවුවට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි. ඊළඟ පතුරත් තිබෙන බව අහුවෙන්නේ. එක පාරටම අල්ල ගත්තහම මේක පතුරු ගොඩක් බව වැටහෙන්නේ නැහැ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්, ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ශනයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ සිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන්, රිදී, මුතු , මැණික් , ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව, බොහොම වටින දෙයක්, හැම ගෙදරකම තිබිය යුතු දෙයක්. මේ විදියට ආශාව, ලෝභය වැඩෙන හැටියටයි. කෙනෙක් සිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලන කොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි. වැටහීම එන්නේ. සිත ඇතුළෙන් ඇතිකරගත්තු දෙයක් පමණයි. සිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා, අන්තිමට, අරකෙසෙල් කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ. මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි. සිතුවිලි ගොඩක්. මමය, මාගේය කියලා ගන්න දෙයක් නැහැ. සිතිවිලි රාශියක් ඇතිවෙනවා නැතිවෙනවා.

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X