ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලාව 1.







ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි



"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.
දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.
මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.
මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.
බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.
සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා

මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා

ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.
පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.
සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.
කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච 
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,

මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය

මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත. ඒ පිළිබඳ ඉදිරි ලිපිවල දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ලිපි මාලා අංක – 02

අට මහා නරකය

බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
පසුගිය පොහෝ දිනයෙන් ආරම්භ වුණ බුදු දහමෙහි අපාය සංකල්පය යන ලිපි මාලාවේ පළමුවැන්න අපාය යනු කුමක්ද? යන ශීර්ෂය යටතේ පළ විය. එයින් බුදු දහමේ සඳහන් අපාය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. අට මහා නරකය යන්න එහි දෙවැන්නයි. මේ තුළින් අප දන්නා අටමහා නරකයන්හි ස්වභාවයන් පිළිබඳ යම් අවබෝධයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
සඤ්ජීව නිරය – යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලිවලට කපද්දීත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැඳින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමඟ කෝළාහළ කළ දුභලයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජිව නිරයේ උපදිනවා.

කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලා සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විඳිනවා.
සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවවිමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරළී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුණු විසුණුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට ද වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විඳිනවා.
රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරුවලට ඇතුළු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඬ දෙන සත්වයන්ගේ හඬ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.
මහා රෞරව නිරය – අතිශයින්ම දරුණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙසින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා.තුණුරුවන්ට අයත් දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.
තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල්වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විඳිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනි තැබූ අය මෙහි උපදිනවා.
ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විඳිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.
අවීචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අතින් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා, ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැල් වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන් ද සිටිනවා. ගිනිදැල්වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන් ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනන්තරිය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශ කළ, බෝධි රුක්ෂයන් විනාශ කළ බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැරගත්, මිත්‍ර ද්‍රෝහීන් භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය මිත්‍යා දෘෂ්ටියන් එහි උපදිනවා.
මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.
කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.
ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

ලිපි මාලා අංක – 03

අපායේ දඬුවම්

බිනර අව අටවක පොහොයදා ලිපියෙන් අපායන්ගේ ඇති විවිධත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළෙමු. මෙවර අප බලාපොරොත්තු වන්නේ අපායෙහි උපදින සත්ත්වයන්ට යම රජු විසින් ලබාදෙන දඬුවම් විමසා බැලීමටයි. එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. එය නම්කොට ඇත්තේ ‘දේවදූත සූත්‍රය’ ලෙසයි. එහි සඳහන් දේවදූතයන් තිදෙනා මෙසේ ය.
1. පළමු දේව දූතයා - වයසට යෑම (ජරා) 
2. දෙවන දේව දූතයා - ලෙඩ වීම (ව්‍යාධි) 
3. තෙවන දේව දූතයා - මරණයට පත්වීම (මරණ)

මේ ලෝකයෙහි ඇතැමෙක් කයින්, වචනයෙන්, මනසින් යන තිදොරින් දුශ්චරිත කොට ජීවිතයේ කෙළවර හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදිති. එසේ නරකයෙහි උපදින සත්වයන් නිරය පල්ලන් විසින් ඇදගෙන ගොස් යම රජු ඉදිරියේ දක්වත්. එසේ යම රජුට දක්වා ඔහු පිළිබඳ පැමිණිල්ල මෙසේ ඉදිරිපත් කරයි.
එනම් “දේවයන් වහන්ස, මේ පුරුෂයා, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේ ය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේ ය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුල දෙටුවන් නොපිදුවේ ය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.
අයං දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ ති.
එවිට යම රජු ඔහුට දඬුවම් පැමිණවීමට පෙර ඔහු ජීවත්ව සිටි සමයේ මේ දේවදූතයන් තිදෙනා ඔහු විසින් දැක ඇද්දැයි විමසයි. ඔහුගේ පිළිතුර වනුයේ දැක නැති බවයි. එවිට යම රජු මේ දේව දූතයන් වෙන කවුරුත් නොව ජරා, ව්‍යාධි, මරණ යන ජීවිතයේ මුහුණපාන ස්වභාව සංසිද්ධීන් බව ඔහුට පෙන්වා දෙයි. ඔහුට ජීවිතයේ යථාර්ථ තේරුම් යන්නේ එවිටය. එහෙත් ඔහු ඒ වනවිටත් ප්‍රමාද බැවින් ඔහු කළ වරදට දඬුවම් පමුණුවන ලෙස නිරය පල්ලන්නට උපදෙස් දෙයි.
නිරය පල්ලන්ගේ දඬුවම්
ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධන නම් වූ වධයක් කරත්. එනම්, රත් වූ යකඩ උලක් අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවැනි අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් පයෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවෙනි පාදයෙහි ගසත්, රත් වූ යකඩ උලක් පපුව මැද ගසත්. එහි හෙතෙම දුක් වූ, තියුණු වූ, කෲර වූ වේදනාවන් විඳි යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරලා කෙටේරිවලින් සසිත්.
තමෙනං, භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුධාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලඩ්කරොති යාව න තං පාපකම්මං ඛ්‍යන්තීහොති.
ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ භූමියෙහි ඉස්සරහට යෑම ද කරවත්. අස්සට යෑමද කරවත්. නිරය පාලකයෝ ඔහු, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ, මහත් වූ මහා කුළුගෙයක් පමණ වූ, අඟුරු පව්වට නැංවීම ද කරවත්. බැස්වීම ද කරවත්. ඔහු නිරයපාලයෝ පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට බුබුලු නැඟ පැසෙන්නා වූ යකඩ හැලියක දමත්. ඔහු එහි පෙන නගමින් පැසෙයි. ඔහු එහි පෙන නගමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යයි. වරක් හරහට යයි. ඔහු එහි දුක් වූ, දරුණු වූ, කටක වූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒ තාක් කලුරිය නොකරයි. යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්.
ඒ මහා නරකය සිව් කොනක් ඇත්තේ ය. සිව් දොරටුවක් ඇත්තේ ය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරන ලද්දේ ය. යකඩ ප්‍රාකාරයකින් වට කරන ලද්දේ ය. යකඩ පියනකින් වසන ලද්දේ ය. ඒ නිරයෙහි බිම යකඩයෙන් ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙන සිටී.
යම රජුගේ සිතිවිල්ල
පෙර කාලයෙහි යමරජුට මෙබඳු අදහසක් විය. “මේ ලෝකයෙහි යම් කෙනෙක් ලාමක වූ කර්මයන් කරත් ද, ඔවුහු මෙබඳු වූ නොයෙක් වධ කරනු ලබත්.මම මිනිස් බවක් ලබන්නේ නම්, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම් (ඇසුරු කරන්නෙම් නම්) මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නේ නම්, යහපති” කියායි.
මේ තොරතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේම නුවණිනි. ඒ බව උන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ ය. “මම එය අන්‍ය වූ ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. යමක් මා විසින් තමා ම අවබෝධ කරන ලද්දේ ද, තමා ම දක්නා ලද්දේ ද, තමා ම දැනගන්නා ලද්දේ ද, එය මම කියමි’යි වදාළ සේක. දේවදූතයන් විසින් චෝදනා කරන ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත් ද, ලාමක වූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරත්.
මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දා, වූ පණ්ඩිත වූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත් ද, ඔවුහු කිසි කලකත් ආර්ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්. ජාතියට හා ජරා මරණයට කරුණු වූ, තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්. අප්‍රමාද විහරණ ඇත්තා වූ, සුවපත් වූ මේ ආත්මයෙහි ම නිවුනා වූ, සියලු වෛර, භය ඉක්ම වූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්ම වූවාහුය.
චොදිතා දෙවදුතෙහි, යෙ පමජ්ජන්ති මාණවා, - තෙ දීඝරත්තං සොචන්ති, හීනකායුපගා නරා.

යෙ ච ඛො දෙවදුතෙහි, සන්තො සප්පුරිසා ඉධ, - චොදිතා නප්පමජ්ජන්ති, අරියධම්මෙ කුදාචනං 

උපාදානෙ භයං දිස්වා, ජාතිමරණසම්භවේ, - අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඩ්ඛයෙ 

තෙ අප්පමත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා, - සබ්බවෙරභයාතීතා, සබ්බදුක්ඛං උපච්චගුන්ති, ඡට්ඨං,

වරක් බුදුරජාණන් වහන්සේ සසරින් එතරවීමේ මාර්ගය මේ බඹයක් පමණ වූ ශරීරය තුළම පවතින බව දේශනා කළහ. මෙම දම් දෙසුමෙන් ද අර්ථවත් කරන්නේ එයයි. මේ ගෝර සසරින් මිදීමට අවශ්‍ය කරන අවබෝධය ලබා දීම සඳහා දෙවියන් විසින් එවන දූතයන් තිදෙනෙකි, ජාති, ජරා හා මරණ. අප කොතෙකුත් උපත් දැක ඇත. වයසට ගිය වූවන් ද කොතෙකුත් දැක ඇත. එමෙන් ම මරණයට පත් වූවන් ද කොතෙකුත් දැක ඇත. එහෙත් අප මේවා දේව දූතයන් ලෙස සිතුවාද? නැත, ඒ අප තවමත් මේ කාම ලෝකයේ කාමයෙන් වෙලී, මත්ව සිටින නිසාය. යමෙක් මේ පිළිබඳ අවබෝධයෙන් සිතා කටයුතු කරන්නේ නම් ඔහු යම රජු පමණක් නොව මරුවා ද පරාජය කරන්නෙකි. එසේ නැති වූ කළ යම රජු ප්‍රශ්න විචාරන පුරුෂයා මෙන් බියට තැති ගැනීමට පත්ව තියුණු වූ කටුක වූ දුක් විඳියි. මෙසේ ප්‍රමාද වූවන්ට දඬුවම් නියම කරන යම රජු ද, සිතන්නේ තමා ද සම්බුදු කෙනෙකු දැක උන්වහන්සේගේ දහම අනුගමනය කරන්නේ නම් මහත් භාග්‍යයක් ලෙසය. එබැවින් කුමට ප්‍රමාද වන්නේ ද? උතුම් දහමක් පවතින කාලයක ඉපදීමට භාග්‍යවන්ත වූ අප කුමට ප්‍රමාද වී නිරයට යන්නේ ද?

ලිපි මාලා අංක – 04

අපායෙහි දුක කියා නිමකළ හැකිද?

මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක් කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. අත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. . හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විදී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.

බිනර අමාවක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ අපායෙහි ඇති දඬුවම් ක්‍රම ගැනය. ඒ සඳහා පාදක කරගත්තේ දේවදූත සූත්‍රයයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ මජ්ක්‍ධිම නිකාය ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය විමසා බැලීමටයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා කයින්, වචනයෙන් මනසින්, දුශ්චරිත-යන්හි නියැළෙන බාල පුද්ගලයා සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදින බව දේශනා කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරන්නේ නිරයෙහි උපදින මෙම සත්ත්වයන් විඳීන දුක් උපමාවකින් පැවසීම ද අපහසු බවයි. එහිදී භික්ෂූන් වහන්සේ නමකගේ ඉල්ලීමකට අනුව එම කාර්යය උපමාවකින් පැවසීම අපහසු වුවද දැනගැනීමේ පහසුව සඳහා මෙසේ විස්තර කරයි.

“ස ඛො සො, භික්ඛවෙ, බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, යංඛො තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාපන්ති, නිරයමෙව තං සම්මා වදමානො වදෙය්‍ය ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප ‘න්ති , යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව දුක්ඛා නිරයා “ති .
“මහණෙනි, රාජපුරුෂයන් අපරාධකාරි සොරකු අල්ලා, රජුට දේවයන්වහන්ස,මේ ඒ අපරාධකාරි හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනැවැයි දක්වති.
රජු රාජපුරුෂයන් අමතා මෙසේ කියයි. එම්බා රාජපුරුෂයනි. මේ පුරුෂයාට උදය කාලයෙහි උල් සියයකින් අනිව්යැයි කියන්නේය. රාජපුරුෂයෝ ඔහුට උල් සියයකින් පෙරවරු කාලයෙහි අනිති. ඉක්බිති රජු දවල් කාලයෙහි රාජපුරුෂයන් ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය. දේවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජු රාජපුරුෂයන්ට මෙසේ කියන්නේය. රාජපුරුෂයනි, යව්, ඒ පුුරුෂයාට දවල් කාලයෙහි උල් සියයකින් අනිව්, යයි කියන්නේය. ඔහුට දවල් කාලයෙහි ද උල් සියයකින් අනින්නාහුය. ඉක්බිති රජු සවස් කාලයෙහි, රාජපුරුෂයනි, ඒ පුරුෂයා දැන් කෙසේදැයි අසන්නේය. දේවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජු නැවත රාජපුරුෂයන්ට මෙසේ කියයි. රාජපුරුෂයනි යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට උල් සියයකින් අනිව්යයි කියන්නේය. රාජපුරුෂයෝ ඔහුට සවස් කාලයෙහි උල් සියයෙන් අනින්නාහුය.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විමසති. මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? උල් තුන්සියයකින් අනිනු ලබන්නා වූ ඒ පුරුෂයා ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේද?”
එවිට භික්ෂූණ් වහන්සේලා “ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නා වු පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය. අඩයටි තුන් සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මට පමණ කුඩාවූ ගලක් අතට ගෙන භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි” කුමක් සිතන්නාහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් යම් කලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත් වන්නේදැයි” ඇසූහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩාය. හිමවත් පර්වතරාජයා හා සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක් වැනි, දහස් වැනි, ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම උල් තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි සියක් වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි”. ඉන්පසු බුදුරජාණන් වහන්සේ නිරයේදී පාපි පුද්ගලයින් විඳින වධබන්ධනයන් මෙසේ විස්තර කරයි.
මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක්කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. අත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. . හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විදී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.
නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් හසිත්. හෙතෙම එහි දුක්වූ කටුක වූ වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය. නිරය පාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකරු කොට තබා, වෑවලින් සසිස්. හෙතෙමේ එහි තියුණුවූ, කටුකවූ දුක්වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙලවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි. නිරය පාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්, පස්සටද ගමන් කරවත්, හෙතෙම එහි තියුණූ වූ කටකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් මේ පාපකර්මය කෙලවර නොවේද. ඒ තාක් කල් කලුරිය නොකරයි.
ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිළෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ, ගිනිදැල් සහිත වූ අඟුරු පර්වතයකට නැංවීම්ද බැස්වීම්ද, කරවත්, හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුක වූ වේදනාවන් විඳීයි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට ගෙන , ගිනිගෙන ඇවිළෙන්නාවූ අතිශයින් දිලිසෙන්නා වූ, ගිනිදැල් සහිතවූ තැවීම් ඇති ලෝකුමු නරකයෙහි බහාලත් හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැඟීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සිරසටද යයි. හෙතෙම එහි දුක් වූ, තියුණුූ වූ කටුක වු වේදනා විඳීයි. යම්තාක් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කලුරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්.
ඒ මහා නිරය නම් කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
අනෙකපරියායෙනපි ඛො අහං භික්ඛවෙ, නිරයකථං කථෙය්‍යං, යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරා අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා නිරයා
“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

ලිපි මාලා අංක – 05

අපායන්ගේ විවිධ ස්වභාවයන්

වප් පුර අටවක පෝදා පත්‍රයේ පළවූ ලිපියෙන් අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ආශ්‍රයෙන් අපායෙහි නිරි සතුන් විදින දුක්ඛයන්ගේ ස්වභාවය විමසා බැලීමටයි. මෙම ලිපි මාලාවේ දෙවන ලිපියෙන් අටමහා නරකය පිළිබඳ කරුණු විමසා බැලුවෙමු. මේ අටමහා නරකයන්ට අමතරව තවත් අපායයන් (අප + අය - සැපයෙන් පහ වූ ස්ථානය) හෙවත් නිරිසතුන් දුක්විදින ස්ථාන 128ක් තිබේ. ඒවා පිළිබඳව ද ඉතා කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කිරීම යෝග්‍යයැයි පාඨකයන් කිහිප දෙනෙක් ම ප්‍රකාශ කළ හෙයින් මෙම ලිපියෙන් ඒ පිළිබඳ කෙටි අවධානයක් යොමුකිරීමට කැමැත්තෙමි.
අබ්බුද නරකය

යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු මෙය ගිනිගෙන දිළිසෙන නවයොදුන් ප්‍රාකාරයකින් වට වී ඇත. මෙය වැසීමට හැකි නව යොදුන් ඝන යකඩ පියනක් ඇත. මෙහි එන නිරිසතුන්ට පාරාවළලු තෝමර දඬුමුගුරු ආදියෙන් ඇණ කපා කොටා තලා මහත් වධ කරති. මෙහි උපදින්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් වැඩි හිටියන් ආදී ගරු කළ යුතු අයට නිසි ගෞරව නොදැක් වූ බිය ගැන් වූ මෙන් ම ඒ අය බිම සිටිය දී උස අසුන්වල සිට හෙළා දැක කටයුතු කළ අයයි. මෙහි ආයුෂ මිනිස් වර්ෂවලින් ප්‍රමාණ කළ නොහැක.
නිරබ්බුද නරකය
මෙහි ද දිග පළල අබ්බුද නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙහි උපදින්නේ මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කළ අය, මත්පැන් විකුණු අය, අන් අය මත්පැන්වලට හුරුකළ අය යන පිරිසයි. මෙහි උපදින නිරි සතුන් බිම දිගා කොට යමපල්ලන් විසින් ගිනිගෙන දිළිසෙන ඉතා තියුණු අවිවලින් අත් පා පපුව යන පස් ස්ථානයට අනිත්. මෙසේ වධ දෙන කල විලාප නගන ඔවුන්ට පඤ්චවිධ නම් වූ ඉවසීමට නොහැකි වධ බන්ධනය කරති. එසේ කොට ඔවුන්ගේ මුඛය ප්‍රවේශ කොට රත් වූ ලෝදිය දමත්. ඔවුන් කළ අකුසල කර්මය ගෙවී යන තෙක් කළුරිය නොකරති.
අබබ නරකය
මෙහි ද දිග පළල අබ්බුද නරකය මෙන් යොදුන් සියයක් උසින් ද යොදුන් තුන්සියයක් පළලින් ද යුතු වෙයි. මෙහි උපදින්නේ දූ කෙළියෙහි ලොල් වී තමනුත් තම පවුලත් විනාශයට පත් කරගත් අයයි. පෙර මෙන් අන් අය දූ කෙළියට හුරුකළ අය අන් අය දූ කෙළියෙහි යොදවන අය ද මෙහි උපදී. මෙහි උපදින නිරිසතුන්ට බුර බුරා නැගෙන ගිනිදැල් මත්තෙහි ඇවිද යෑමට සිදුවෙයි. එසේ ඇවිදින අතර යමපල්ලෝ ඔවුන් ලුහුබැඳ ඇවිත් ගිනිගෙන දිලිසෙන යකඩ මුගුරුවලින් පහර දෙති. එයින් ඔවුන් ජීවිතක්ෂයට පත් වූව ද කර්ම බලය නිසා නැවත එහිම උපදිති.
අටට නරකය
මෙම අටට නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ උස ගව් තුනක් පමණ වෙයි. යම පල්ලන් විසින් බිම දිගාකරන ඔවුන් වහල පලයක් පමණ දිග ඇති වෑවලින් සසිත් කුල්ලක් පමණ මහත ඇති කෙටේරිවලින් සසිත්. පය උඩට ඔසවා හිස බිමට යටිකුරු කරවා ගිනිගත් වෑවලින් ශරීරය පිට කටුව තෙක් සසී. මෙහි උපදින්නේ ආර්යයන් වහන්සේලාට නිගරු කළ මෙන් ම ආර්ය ධර්මයන් හෙළා දකිමින් මිත්‍යාදෘෂ්ඨියෙන් යුතුව ක්‍රියා කළ අයයි.
අහහ නරකය
මෙම අහහ නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මේ නරකයෙහි උපදින අය යම පල්ලන් විසින් ගාලකය රැගෙන යන ගෙරි රැළක් මෙන් රත් වී දිළිසෙන අවි ආයුධ අතැතිව ගෙන ගොස් බුර බුරා නැගෙන ගිනි දැල් ඇති මහා වළවල්වල හෙළති. ගව් තුනක් පමණ උස ඇති මේ නිරිසතුන් බෙල්ල තෙක් එම වළවල්වල එරෙන අතර ගොඩඒමට නොහැකිව විලාප නගති. එවිට ඔවුන්ගේ හිස මත රත් වූ යවට බදු වූ ගිනි අඟරු දමති. මෙහි උපදින්නේ දානාදි පිංකම් කරන්නටැයි සම්මාදන් කර එම මුදල් ඒවාට නොයොදවා තමාගේ පරිභෝජනයට යොදාගත් අය හා දන් දෙන අන් අයට නිගරු කළ මෙන් ම දන්දීම වැළැක්වීමට කටයුතු කළ අයයි.
කුමුද නරකය
මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් සත්වයන් නිරන්තරයෙන් පිපාසයෙන් පෙළෙන අතර යමපල්ලෝ ඔවුන්ගෙන් කුමක් අව්‍යදැයි විචාරති. එවිට ඔවුහු පිපාසයැයි පවසති. එවිට යමපල්ලන් විසින් ගිනිගෙන දිලෙන යකඩ අඬුවලින් මුව දෙපසට කොට ගින්නෙන් පැසී තිබෙන ලෝගුලි හා ලෝදිය මුඛයෙහි දමනු ලැබේ. එකෙණෙහිම ඒ ලෝදිය ඔවුන්ගේ උගුර ළය, බඩ, පපුව දාගෙන විත් අධෝමුඛයෙන් පිටවෙයි. මෙසේ ඒ වේදනාවෙන් ඔවුන් මැරෙන අතර නැවත අකුසල් ගෙවෙන තෙක් එහිම උපදිති. නැවත යමපල්ලෝ එසේ ම කරති. නැවත ඔවුහු වේදනාවෙන් මැරෙති. මෙහි උපදින්නේ බුදුපිළිම චෛත්‍ය කඩා දැමූ අය. ඒවා දැක නොසතුටු වූ අය, ඒවාට නිගරු කළ අය, හා ඒවා හෙළාදැක කටයුතු කළ අයයි.
සෝගන්ධික නරකය
මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් ගිනිගත් තියුණු අවිවලින් ඇණ කපා කොටා මරනු ලැබේ. ඔවුන්ගේ අකුසල කර්මය ගෙවී යනතෙක් නැවත උපදිති. නැවතත් යමල්ලෝ එසේ ම කරති. මෙහි උපදින්නේ ධර්මයට ගරු නොකළ ද්වේශ කළ මෙන්ම යහපත් ධර්මය තිබිය දී එය හැර අවඥාකොට අධර්මයෙහි පිහිටා කටයුතු කළ අයයි.
උප්පල නරකය
මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් නිරිසතුන්ගේ ශරීර තුන්ගව් පමණ වේ. යමපල්ලන් විසින් මේ නිරිසතුන් නහඹු තල්කඳන් පමණ වූ ගිනිගෙන දිලෙන යකඩ මුගුරුවලින් ගසා දෙකකුල් බිඳ බිම හෙළා ලෝදිය වත්කිරීම පෙවීම ආදී වූ වධ කරති. මෙහි උපදින්නේ සුපිළිපන් මහසඟනට දොස් නැගූ, අපහාස කළ, බැණවැදුණු හා තැලීම් පෙළීම් කළ අයයි.
පුණ්ඩරික නරකය
මෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ සිරුරුද ගව් තුනක් පමණ උසවෙති. යම පල්ලන් විසින් නහඹු තල්කඳන් පමණ වූ ගිනිගෙන දිලෙන යකඩ මුගුරුවලින් ගසා තළා පෙළන කල්හි මහ හඬින් හඬ හඬා ගොස් ගිනිගෙන දැවෙන යකඩ භූමියෙහි වැටෙති. එයින් ම මරණයට පත්වන අය නැවත අකුසල කර්මය ගෙවී යනතෙක් එහිම උපදිති. නැවතත් යමපල්ලෝ එසේම කරති. මෙහි උපදින්නේ ගුණවතුන්ට සිල්වතුන්ට අපහාස කළ අය, ඒ අය තළා පෙලා දුක් දී මරණයට පත් කළ අයයි.
පදුම නරකය
පදුම නරකයෙහි ද දිග පළල පෙර නරකයන්හි මෙනි. මෙහි උපන් සත්වයන්ට ද යමපල්ලන් විසින් ගිනිගෙන දැවෙන දඬුමුගුරුවලින් තැලීම් පෙළීම් කිරීම ද ලෝදිය පෙවීම ද සිදු කරයි. එයින් මරණයට පත්වන අය අකුසල කර්ම ගෙවෙන තෙක් නැවත එහිම උපදිති. මෙහි උපදින්නේ අන් අයගේ නියෝගවලින් යම් යම් අයට තැලීම්, පෙළීම් සිදුකිරීම හා වධ බන්ධන ආදිය පැමිණ වූ අයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤


free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X